ජාතික ජනබලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවත්, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මෝසම කරුණු තහවරු කිරීම සඳහා මාර්තු මස 04 වැනි දා කැඳවන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළේය.
මෙම මෝසම අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්නප්පුලි, අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නාගානන්ද කොඩිතුවකු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ මෝසම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ මෝසම සලකා බැලීම සඳහා මාර්තු මස 4 වනදා කැඳවන ලෙස නියෝග කෙළේය.
විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සමකට අදාළව නාගානන්ද කොඩිතුවක්කු විසින් මෙම මෝසම ඉදිරිපත් කර තිබේ.
එම මෝසම තුළින් නාගානන්ද කොඩිතුවක්කු කියා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.
ඒ අනුව ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීති විරෝධී බවට කරුණු දැක්වීම සඳහා අවසර ලබාදෙන ලෙසත් නාගානන්ද කොඩිතුවක්කු එම මෝසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත



