spot_img
spot_img
spot_imgspot_img

ඩයනාගේ ගංජා වගාවට, කැබිනට් මණ්ඩලය ම රැවටෙයි. ගංජා නිසා ආර්ථිකය සහ ජීවිත වැනසෙන හැටි මෙන්න

පුවත්

විදෙස්

ගංජා වගාකිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට අද (05) කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ. මෙයට අදාල කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසිනි.
විදේශ විනිමය ගෙනෙන ඩොලර් මැෂිම මෙම කැබිනට් අනුමැතිය සමග තමා ලංකාවේ සවි කරන බව ඊට කැබිනට් අනුමැතිය ලැබුණු බව පවසමින් ඩයනා ගමගේ කීවාය. ජනතාවාදී තීරණ ගැනීමේදී කිසිම බලවේගයකට යටත් නොවන රනිල් වික්‍රමසිංහ රොබින් හුඩ් වැනි වීරයකු බවද ඇය සඳහන් කළාය.
ඖෂධීය ශාකයක් ලෙස ගංජා වගා කිරීමට ආයුර්වේද පනතින් 1964 දී ශ්‍රී ලංකාව ඇතුළු ආයුර්වේද ක්ෂේත්‍රයට ප්‍රමාණවත් ලෙස වගා කිරීමට ආයුර්වේද කොමසාරිස්වරයාට නෛතික බලය දී තිබුණද එමගින් විදේශීය ආයෝජන ලබා ගැනීමට සහ ඩොලර් ඉපයීමට කිසිම උපක්‍රමයක් නොතිබූ බව ගමගේ පවසයි.
එසේ වුව ද ලෝක ආර්ථික දත්තයන් සහ විද්‍යාත්මක කරුණු පරිශීලනයේ දී පෙනී යන්නේ ගංජා වගා කිරීමෙන් ඩයනා ගමගේ කියන ආකාරයේ ආර්ථික ප්‍රතිලාභයක් ශ්‍රී ලංකාවට අත් නොවන බවයි.


ගංජා, කංසා, තෛලෝක විජය පත්‍ර, යන නම්වලින් හඳුන්වන ශාකයේ විද්‍යාත්මක නම Cannabis sativa යන්නයි.
මේ වනවිට ගංජා යනු අපේ රටේ ඉතාමත් සංවාදශීලී මාතෘකාවක් බවට පත්ව අවසන්.
ගංජා වගාකිරීමට ඇති නීතිමය බාධා ඉවත්කරන ලෙස එක් කොටසක් ඉල්ලා සිටින අතර එමගින් විදේශ විනිමය උපයාගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා. අනෙක් පිරිස පවසන්නේ අන්තරායකර ඖෂධයක් නිදවන ගංජා සම්පූර්ණයෙන් ම පිටුදැකිය යුතු බවයි.
පසුගිය දිනවල එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ද ගංජා නීතිගත කළ යුතුයැයි විශාල හඬක් නැගූ අතර ගිහි පැවිදි දෙපිරසම මේ ගැන විවිධ මත ප්‍රකාශ කරති. නමුත් ගැටලුව වන්නේ ඔවුන් ගංජා සම්බන්ධ නිවැරදි විද්‍යාත්මක තොරතුරු සහ සැබෑ තත්වය දන්නේ ද යන්නයි.
ගංජා ශාකයේ ඇති Tetrahydrocannabinol (THS) යන සංයෝගය මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වයට අහිතකර ලෙස බලපාන නිසා බොහෝ රටවල් ගංජ ශාකය අන්තරායකර මත්ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.
නමුත්, ගංජා ශාඛයෙන් නිස්සාරණය කරගත හැකි Cannabidiol නමැති සංයෝගය වෛද්‍ය ප්‍රතිකාර සඳහාද ඉවහල් වීම එහි ඇති තවත් විශේෂත්වයක්.
ශ්‍රී ලංකාවේ ආඥා පනත් තුනකින් ගංජා ශාකය සම්බන්ධයෙන් නෛතිකව ක්‍රියාකාරන ආකාර දැක්වෙනවා.
විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥා පනතට අනුව ගංජා හෙවත් කංසා ශාකයේ යම් කොටසක් හෝ එමඟින් කළ සැකසුමක් ළඟ තබා ගැනීම, බෙදා හැරීම, ගබඩා කිරීම හා අපනයනය කිරීම නීතියෙන් තහනම්.
මාදක ඖෂධ, මනෝ වර්ධකනීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුතියේ පනත ප්‍රකාරව කිසියම් තැනැත්තෙක් මාදක ඖෂධයක් නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගංජා වගාකරයි නම් එය නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්.
ශ්‍රී ලංකාවේ ආයුර්වේද පනතේ ගංජා ශාකයේ භාවිතය සම්බන්ධයෙන් යම් අවසරයක් ද දක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා‍වේ ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ නිර්දේශිත ප්‍රමිතියට අනුගත ව හා ආයුර්වේද කොමසාරිස්වරයාගේ බලපත්‍රයක් ලබාගැනීම මත පමණක් කංසා භාවිත කර ඖෂධ නිෂ්පාදනයට, නිෂ්පාදිත ලබාගැනීමට හා විකිණීමට අවසර හිමිවෙනවා.
මේ අතර කැනඩාව, උරුගුවේ, දකුණු අප්‍රිකාව, ජැමෙයිකාව සහ ස්පාඤ්ඤය යන රටවල් ගංජාවල අඩංගු අහිතකර රසායනිකයන් ගැන නොතකා එය වගාකිරීමට අවසර දී තිබෙනවා.


එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ගංජා ශාකය අන්තරායකර ඖෂධ ලැයිස්තුවෙන් ඉවත්කළ බව ගංජා භාවිතය ප්‍රවර්ධනය කරන ඇතැම් පිරිස් කියා තිබුණා. එය බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වූ කරුණක්. ඒ නිසා ම ශ්‍රී ලංකාවේ නිතිය ද ඊට ගැලපෙන පරිදි සංශෝධනය විය යුතුයැයි ඔවුන් නැගූ තර්කයක්.
නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වසර ගණනක් 1961 සිට මත්ද්‍රව්‍ය පළිබඳ සම්මුතියේ උප ලේඛන I සහ IV ට ගංජා සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ඇතුළත් කර තිබුණා. ඒ අනුව ගංජා සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කිසිදු ආකාරයකට භාවිතා කළ නොහැකි අන්තරායකර මත් ද්‍රව්‍යයක් ලෙසයි සැළකුණෙන්.
එහෙත් 2020 දෙසැම්බර් 02 වැනි දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය නාශක කොමිසම මඟින් ගංජා ශාකය ඖෂධ නිෂ්පාදනයට පමණක් යොදාගැනීමට නීතිමය අවසරය ලබා දුන්නා. ඒ අනුව 1961 දී මත්ද්‍රව්‍ය පිළිබඳ උප ලේඛන I න් ගංජා ශාකය ඉවත් වුවත් ඔවුන් එය උප ලේඛන IV න් ඉවත් කිරීමට කටයුතු කර නැහැ.
ඉන් පැහැදිලි වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අද වනතුරු ගංජා ශාකය අන්තරායකර මත්ද්‍රව්‍යයක් ලෙස සළකන බවයි.


ගංජා ආශ්‍රිතව නිෂ්පාදනයක් සිදුකරන ලෝකයේ විශාලතම සමාගම් තිබෙන්නේ කැනඩාවේ. ඒ නිෂ්පාදන සඳහා ගංජා වගාව වැඩිදියුණු කිරීමට ආයෝජන කළේ දුම්කොළ සමාගම්. ඒ කැනඩාවේ ඖෂධ නිෂ්පාදනයට සහ ගංජා නිදහස් භාවිතය නීතිගත කළ (2013 දී) උරුගුවේ රාජ්‍යයට ගංජා අපනයනය කිරීමේ අරමුණෙන්.
ව්‍යාපාරය ආරම්භ කළ සමාගම් කෙටි කාලයක දී විශාල වශයෙන් ලාභ ඉපයීම නිසා තවත් ආයෝජකයන් මිට එකතුවුණා. ප්‍රතිඵලය වුණේ ගංජා ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩි වූ නිසා මිල පහළ ගොස් ආදායම් අඩුවීම. සමාගම් පාඩු ලැබුවා. මේ නිසා ගංජා වෙළෙඳ පොළ ව්‍යාප්ත කිරීමට ව්‍යාපාරිකයන්ගේ වුවමනාව මත 2018 දී එවකට බලයේ සිටි පාලකයන් අවශ්‍ය නීති සංශෝධනය කළා. ඒ නිසා ඔවුන් ඖෂධ නොවන භාවිතයන් සඳහා ගංජා යෙදවීමනේ ද ආදායම් ලැබුවා. ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තය සහ වොෂින්ටනය සිය නීති කෙටුම්පත් සං‍ශෝධනය කළා. එය වාණිජ අරමුණකින් කරන ලද දෙයක්.


වර්තමානයේ මේ සමාගම් වගාකරන ගංජා ශාකයේ ඇබ්බැහිකාරකය THS සාන්ද්‍රණය 17%-18% වැනි ඉහළ අගයක් ගන්නවා. මෙය ජාන විකෘති කරලා එය ඉහළ දැමා තිබෙන බව විද්‍යාත්මකව සත්‍යයක්. මේවායේ මුල් බීජ බහුජාතික සමාගම් සතු දේපලක් කරගෙන. දැන් ඔවුන් අධික ලාභ උපයනවා. නමුත් මානවයාගේ යහපත් සෞඛ්‍ය පැවැත්මට ඉන් ඇතිවන්නේ දැඩි හානියක්.


මෙවැනි බහුජාතික සමාගම් ශ්‍රී ලංකාව වැනි රටවල ගංජා වගාව ආරම්භයට මූල්‍යාධාර සැපයීමට එකඟතාව පළකරනවා. මේ සමාගම්වල ඒජන්තවරු විදෙස් රටවල මහජන නියෝජිතයන්, සිවිල් ක්‍රියාකාරිකයන් ඒ සඳහා පොළඹවා ගන්නවා. ගංජා ශාකය ලෝකයේ විශාල ඉල්ලුමක් ඇති රන් උල්පතක් ලෙස පෙන්වා දෙනවා. ඔවුන්ටත් වගා කිරීමට ආරාධනා කරනවා. ඵලදාව මිල දී ගන්නා බවත් පවසනවා.
මතුපිටින් මෙය අපට හිතවත් විදේශ විනිමය ගෙන ආ හැකි ව්‍යාපෘතියක් ලෙස පෙනුනත් එය බහුජාතික සමාගම් වල කූඨ උපායක්.


ලෝකයේ කොටස් වෙළෙඳ පොළ දත්ත අනුව 2019,2020 සහ 2021 වර්ෂවල ගංජා වගාකරන සමාගම් ඩොලර් බිලියන ගණනින් පාඩු ලබා තිබෙනවා. 2021 නොවැම්බර් 15 වැනි දා New York Times පුවත්පත වාර්තා කර තිබුණේ කැනඩාවේ ගංජා මිල 2019 වසරේ සිට 40%කින් පහළ වැටී ඇති බවයි.


බහු ජාතික සමාගම්වලට අවශ්‍ය වන්නේ ගංජා සඳහා ගෝලීය වෙළෙඳ පොළක් නිර්මාණය කිරීම. ශ්‍රී ලංකාවත් ඔවුන්ගේ නිෂ්පාදන අළෙවි කිරීමට හැකි වෙළෙඳ පොළක් බවට පත්කිරීම. මේ බව තේරුම් නොගන්නා ඇතැම් පුද්ගලයන්ගේ වුවමනාවට කවදා හෝ ශ්‍රී ලංකාවත් ගංජා අපනයනය කිරීමේ අරමුණින් නීතිමය තත්වය වෙනස් කරලා ඒ සඳහා අවසර ලබාදුන්නොත් අපට සැළකිය යුතු ලාභයක් ලබන්න වෙන්නේ නැහැ. ලෝකයේ සමාගම් සියල්ල පාඩු ලබද්දී අපට එය කරන්න බැහැ. එවිට ගංජාවලට මේ සමාජයේ වැඩි පිරිසක් ඇබ්බැහිවෙලා සිටීවි. එවිට අපට කරන්න වෙන්නේ අර බහුජාතික සමාගම්වල නිෂ්පාදන මිල දී ගැනීම. ඒ තමයි ඔවුන්ගේ උගුල.
මේ රටේ ආර්ථිකය, දේශපාලනය, සමාජය සියල්ල ඒ බහුජාතික සමාගම්වල රූකඩයක්. ඒ නිසා ගංජා අපනයනය කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට සිදුවෙන්නේ සමාගම්වල නිෂ්පාදිත ගංජා ලබාගන්න. අපි එවිට ඔවුන්ගේ වෙළෙඳ පොළක් බවට පත්වෙනවා. සිගරැට් සඳහා ශ්‍රී ලංකාව තුළ විශාල වෙළෙඳ පොළක් නිර්මාණය වෙලා තියෙනවා වගේ මේ සමාගම්වලට ලාභ ලබාදෙන තැනක් බවට ශ්‍රී ලංකාවත් පත්වෙනවා. ජෝර්ජියාව, මෝල්ටා, මෙක්සිකෝව වැනි රටවල් ඒකට හොඳම උදාහරණ. ගංජා වොළෙඳ පොළෙන් ලාභ උපයන්න සැළසුම් කළ ඒ රටවල් දැන් ගංජා ආනයනය කරනවා.


1968 දී Andrew T. Weil, Norman E.Zinberg සහ Judith M. Nelsen යන විද්‍යාඥයන් මේ ගැන පර්යේෂණ කළා.
ඔවුන්ගේ පර්යේෂණයට පුද්ගල කණ්ඩායම් 03ක් යොදා ගැණුනා. එක්වරක් හෝ ගංජා පානය කර ඇති, නැති සහ දීර්ඝ කාලීන ව භාවිතා කරන පුද්ගලයන් අහඹු ලෙස කාණ්ඩ ගත කළා. මෙම එක් එක් කණ්ඩායමට පිළිවෙළින් ගංජා නොමැති දුම් කොළ සුරුට්ටු, ගංජා අධි මාත්‍රා සහිත සුරුට්ටු සහ ගංජා සුළු මාත්‍රාවක් සහිත සුරුට්ටු ඉරීමට දුන්නා. එනමුත් ඔවුන් කිසිවෙක් තමන්ට ලැබුණු සුරුට්ටුවේ අන්තර්ගතය ගැන දන්නේ නෑ. සුරුට්ටුවේ අන්තර්ගතය ගැන භාවිතයෙන් අදහස් ප්‍රකාශ කිරීමට අවකාශ තිබුණා.
මේ පරීක්ෂණයේ ප්‍රතිඵලය අනපේක්ෂිත දෙයක් වුණා. කාලක් පුරාවට ගංජා භාවිතා කළ අය තමන්ට ලැබුණේ ගංජා සුරුට්ටුවක් බව අත්දැකීමෙන් දැන ගත්තා. ඊට හේතුව ගංජාවල ඇති THS සංයෝගයේ ඇබ්බැහිකාරක ගුණය. ගංජා පානය කළ සැණින් එය මොළයේ යම් යම් ස්ථානවල ක්‍රියාකාරී වන අතර දීර්ඝකාලීන ව ගංජා පනය කරන පුද්ලයන්ගේ මොළයේ ස්නායු ප්‍රතිග්‍රාහක ‍අදාළ සංයෝගය අත්දැකීමෙන් හඳුනා ගන්නවා.
එහෙත් අනෙක් පුද්ගල කොට්ඨාශ දෙකම අතරින්න අධි මාත්‍රා ගංජා සුරුට්ටුව භාවිතා කළ පිරිසක් තමා දුම් කොළ සුරුට්ටුවක් භාවිතා කළා යැයි විශ්වාස කළ අතර ගංජා අඩු මාත්‍රා සහිත සුරුට්ටු පානය කළ පිරිසක් ද එම මතය ම ප්‍රකාශ කළා. හොඳම කාරණාව නම් දුම් කොළ සුරුට්ටු පානය කළ පුද්ගලයන්ගෙන් බහුතරයක් තමන් ගංජා සුරුට්ටුවක් පානය කළ බව සිතා තිබීමයි.
ඒ අනුව පෙනී යන්නේ ගංජා මත්ද්‍රව්‍යයට මිනිසාගේ භාවයන් තිරණනය කළ නොහැකි බව සනාථ වන බවයි. පර්යේෂණයේ අවසාන නිගමනය වී ඇත්තේ ගංජා හෝ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයක් ඔවුන්ට නොකියා ම පුද්ගලයකුට ලබාදුන් විට ඔවුන් විස්තර කරන අත්දැකීම සාමාන්‍යයේන අප දන්නා දේ සමඟ නොගැළපෙන බවයි.
මනෝ විද්‍යා වාර්තාවලට අනුව ගංජා හෝ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයකින් ලැබෙනවා යැයි කියන මනෝභාවයට හේතුව ලබාගත් මත්ද්‍රව්‍ය මාත්‍රාව නොවේ. පුද්ගලයන් විසින් ලබාගන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති මානසිකත්වය සහ පරිසරය වෙනස්වීම මත එය තීරණය වෙයි.


බොහෝ දෙනෙක් ජිවිතයේ ප්‍රථම වතාවට ගංජා අත්හදා බලන්නේ තවත් කෙනෙකුගේ පෙළඹවීම මත. මේ පෙළඹවීම මත ගංජා හොඳයි කියන දේ ඔවුන් පිළිගන්නවා. මෙය තමයි ගංජා භාවිතයට කෙනෙකුගේ මනස සූදානම් කරන පළමු අවස්ථාව වන්නේ.
එහෙම අත්හදා බැලූ පළමු ගංජා මාත්‍රාව ඕනෑම අයකුට අපහසු අප්‍රසන්න අත්දැකීමක් වනවා. නමුත් ඒ පොළඹවන පුද්ගලයා හෝ කණ්ඩායම දවස් කිහිපයක් භාවිතා කරන විට ඒ අපහසුතා මඟ හැරී යන බව. ඔව් එය සත්‍යයක්. දින කිහිපයක් යනවිට THS සංයෝගයේ ප්‍රමාණය වැඩි වනවිට ඔවුන් නොදැනුවත්ව ම ගංජා බීමට ඇබ්බැහිවෙලා.
මෙම සමස්ත ක්‍රියාලියම මනෝ විද්‍යාත්මකව ප්ලැසෙබෝ එෆෙක්ට් (Plasebo effect) යන ඉගෙනීමට බලපානවා. වෙනත් විදියකින් කියනවානම් ක්‍රියාකාරී ගුණාංග නොමැති ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් කෙනෙකුට ඇති කරන ඕනෑම ආකාරයක කායික හෝ මානසික බලපෑමක් සඳහා මේ ප්ලැසෙබෝ එෆෙක්ට් භාවිතා කරන්න පුළුවන්.
මෙවැනි භාවිතයන් සිදුවන්නේ තමන් ප්‍රියකරන පුද්ලයන් හා කණ්ඩායම් සමඟ තමන් ප්‍රියකරන පරිසර හෝ ස්ථානවල දී. එය ඕනෑම අයකුට උත්තේජනයක් වනවා. එය සැබැවින්ම පුද්ගල මනස සූදානම් කිරීමක්.
Ivan Pavlov නමැති විද්‍යාඥයා වරක් බල්ලන්ගේ ඛේට ස්‍රාවය පිළිබඳ කරන ලද පර්යේෂණයක දී සීනු හඬ සහ ආහාර ලබාදීම අතර සම්බන්ධයක් පැහැදිළි කළලා.
බල්ලන් කෑම දැකීමටත් පෙර සීනු හඩ ඇසෙන්නට සැලැස්වූ අතර දින කිහිපයකට පසු කෑම නොලැබුණ ද නොදැක්ක ද සීනු හඬ ඇසුණු විට බල්ලන් කෙළ හැලීමට පටන් ගත්තා.
ඒ වගේ ම ගංජා භාවිතයට තවෙකකු පොළඹවන පිරිසත් අනෙකා ගංජා භාවිතය ජීවතිය කරගන්නා තෙක් ම එය ආනන්දනීය යැයි කියා මනසට ඒත්තු ගන්වනවා. අවසානයේ ඔහුගේ මානසිකත්වයත් ගංජා නැතිව ම බැරි තත්වයට පත්වනවා.
ඇතැම් අය කැමතියි යම් යම් දේ අත්හදා බලන්න. නමුත් සාමාන්‍ය ආහාරයක්, බීමක් අරගෙන එහිි හොඳ නරක තිරණය කරනවා වගේ ගංජා වැනි මත්ද්‍රව්‍යයකින් ලැබෙනවා යැයි කියන තෘප්තිය භාවිතා කරලා තේරුම් ගන්න බැහැ. ඇබ්බැහි වුණාට පස්සේ සිදු වෙන්නේ සෙක්කුවේ බැඳපු ගොනා වගේ මුළු ජිවිත කාලයම මත්ද්‍රව්‍ය කේන්ද්‍ර කරගෙන ජීවත් වීම.


විවිධ නිර්මාණ තුළින් ද අපේ මානසිකත්වය වෙනස් කරන්න උථ්සාහ ගන්නවා. බොබ් මාලේ ගේ රූප රාමු ගංජා පත්‍රවල රූප රාමු හා මුසු කරමින් චිත්‍ර ආදිය නිර්මාණ්‍ය කරනවා. ගංජා භාවිතයට අවසර දී ඇති රටවල විවිධ උත්සව අළෙවි ප්‍රවර්ධන වැඩසටහන් සිදුකරනවා පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමට පරිසරය ඔවුන් නිර්මාණය කරනවා. ඒ සඳහා උප සංස්කෘතීන් ආකාරයේ විවිධ දේ හඳුනාවදීමට කටයුතු කරන බව ද පැහැදිලියි.
සිගරට් සහ මත්පැන් සිරුරට අහිතකර නමුත් ගංජා එසේ නොවේ යැයි කිව හැකි ද ?
ගංජා යනු කිසි‍සේත් ම සිගරට් හෝ මත්පැන් මට්ටමේ තැබිය හැකි මත්ද්‍රව්‍යයක් නොවෙයි. ගංජා නිදහස් භාවිතයට අවසර දී ඇති රටවල් කිහිපයක මත්ද්‍රව්‍ය ප්‍රතිකාර සායනික වාර්තා පිරිික්සූ විට ඒ බව පැහැදිළි වනවා.
නෙදර්ලන්තය 2019 වර්ෂයේ මත්ද්‍රව්‍ය ප්‍රතිකාර සායනවලට සහ මධ්‍යස්ථානවලට පැමිණි පුද්ගලයන්ගෙන් 47%ක මූලික මත්ද්‍රව්‍ය වී ඇත්තේ ගංජා
‍ඉතා නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගැනෙන ඩෙන්මාර්කයේ 2019 වර්ෂයේ දී මත්ද්‍රව්‍ය සායනවලට පැමිණි අයගෙන් 63%ක පිරිසකගේ මූලික මත්ද්‍රව්‍ය වී තිබෙන්නේ ගංජා.
පෘතුගාලයේ 2019 වර්ෂයේ මත්ද්‍රව්‍ය සායනික වාර්තා අනුව පෙනී යන්නේ හෙරොයින් මත්ද්‍රව්‍ය මිනිස් මොළයට කරන බලපෑම හා සමාන බලපෑමක් ගංජා මගින් ඇතිවන බව. එම වර්ෂයේ එරට මත්ද්‍රව්‍ය සායනවලට පැමිණි පුද්ගලයන්ගෙන් 39%ක් මූලික වශයෙන් හෙරොයින් භාවිතා කරන්නන් වූ අතර 37%ක් ගංජා මූලික වශයෙන් භාවිතා කරන්නන් බව තහවුරු වී තිබුණා.
එපමණක් නොවෙයි ගංජාවල අඩංගු ඇතැම් රසායනික ද්‍රව්‍ය මොළයට පමණක් නොව දුම්කොළවල ඇති නිකොටීන් හා සමානව ම හෘදය වස්තුවට සහ පෙනහළුවලට බලපෑම් කරන බව කැනඩාවේ මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහිවීම පිළිබඳ මධ්‍යස්ථානය (Canadian Centre on Substance Use and Addiction) අවධාරණය කරනවා.


ගංජා අති භයානක මත්ද්‍රව්‍යයක්. ඒවා භාවිත කරන්නන්ට දුක සහ පිරිහීම මිස සැපතක් සතුටක් ජීවිතයෙන් ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ සමාජයීය වෙනස්ක ඇති කිරීමට එහෙම නැත්නම් ආර්ථික පීඩනය වළක්වාගැනීමට ගංජා වගා කිරීමෙන් රුකුලක් ලැබෙන්නේ නැහැ. දිරි දීමෙන් ඊට වඩා ලාභ ඉපයිය හැකි ක්ෂේත්‍ර ගණනාවක් අපට තිබෙනවා. අපේ රට දියුණු කරන්නට ඇබ්බැහිකරවන සුළු මත්ද්‍රව්‍යයක් විකිණීම සුදුසු යැයි යන්න ඉතාමත් අනුවණ අදහසක්.


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේ වෛද්‍ය පීඨයේ මනෝ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජයමාල් ද සිල්වා සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරින් සහශ්‍රිකා දෙව්මිණි (විදුසර) විසින් සකසන ලද ලිපියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles

error: Content is protected !!