spot_img
spot_img
spot_imgspot_img

“බෙහෙත් කියා, ඇල්වතුර දුන් හැටි” අධිකරණයේ දී එළියට පනී

පුවත්

විදෙස්

සති තුනක් තුළ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට බොරු භීතියක් ඇතිකළ  සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2022 මැයි 30 වැනිදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් බාල බෙහෙත් රජයේ රෝහල්වලට දීමට අවස්ථාව දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ වෙත දැනුම් දුන්නාය.

2022 අගෝස්තු 18 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට සහභාගි වී ඇති සැකකාර රඹුක්වැල්ල ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල් හැකි ඉක්මනින් පාවිච්චි කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී ඇතැයිද කී ලක්මිණී ගිරිහාගම ඖෂධ සැපයීමේ සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ‘අභිලාෂයන් කැඳවමින් ඖෂධ කැඳවීමේ ක්‍රමවේදයක් නොතිබූ බැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇමතිවරයාගේ උපදෙස් ප්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව ඔහු කැබිනට් මණ්ඩලයට මෙම බොරු භීතිය මවා පා ඇතැයිද ඇය කියා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගෙන ඇති සියලු ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගම 2022 වර්ෂයේ සිට සපයා ඇති සියලු ඖෂධ සම්බන්ධයෙන්ද වහාම විමර්ශනයක් කිරීමටද නියම කළ මහෙස්ත්‍රාත්වරිය ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ශරීරගත කිරීමෙන් පසු රෝගීන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙන්ම ඉන් මහජනතාවට වූ අගතිය සම්බන්ධයෙන්ද වහාම විමර්ශනයක් කර සුදුසු පියවර ගන්නා ලෙස ද වැඩිදුරටත් නියම කළාය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය 03 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම සිද්ධියට අදාළව පෙනී සිටි නීතිඥවරුන් පැය 4 විනාඩි 15ක කාලයක් පුරා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ලට ඇප නියම කිරීම ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත්වරිය ඔහු ලබන 15 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමටද නියෝග කළාය.

මෙම නඩුව මීට දින 20කට පමණ පෙර කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම සිද්ධිය පිළිබඳව මුලින්ම පැමිණිලි කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බව කියමින් මෙම නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවකු වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියත් මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ සිට පහළ දක්වා වූ නිලධාරීන් සිටින අවස්ථාවක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දුන්නොත් අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු වීමට හැකියාව ඇතැයි පෙන්වා දෙමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් නීතිඥවරුන්ට පෙනී සිටීමට අවසර දීම ප්‍රතික්‍ෂෙප කළාය.

එසේ තිබියදී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට පසුගිය 31 වැනිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස කෙහෙළිය රඹුක්වැල්ලට දැනුම්දී තිබුණත් ඔහු රහස් පොලිසියට නොපැමිණි බවත් ඔහු අසත්‍ය කරුණු දක්වමින් රහස් පොලිසියේ පෙනී සිටීම මඟහරින බව පෙනෙන්ට ඇතැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය කෙහෙළිය රඹුක්වැල්ලට රටින් පිටව යෑම තහනම් කළ අතර පසුගිය 02 වැනිදා උදෑසන 9.00ට රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දීමටද ඔහුට නියම කළාය.

ඒ අනුව ප්‍රකාශයක් දීම සඳහා රහස් පොලිසිය හමුවේ පසුගිය 02 වැනිදා පෙනී සිටි කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගත් රහස් පොලිස් නිලධාරීහු රාත්‍රී 7.40ට පමණ ඔහු අත්අඩංගුවට ගත්හ.

එලෙස අත්අඩංගුවට ගැනුණ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එදින රාත්‍රියේ රහස් පොලිස් බාරයේ රඳවා තබාගත් නිලධාරීහු පසුගිය 03 වැනිදා සෙනසුරාදා දිනයක් වුවත් එදින පෙරවරු 9.15ට පමණ සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවාගෙන පැමිණියහ.

ඒ වන විටත් ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥවරුන් මෙන්ම කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය ඇතුළු ඥාති හිතවත්හු පිරිසක්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ. එසේම මෙම අපරාධය පිළිබඳ මුලින්ම පැමිණිලි කළ ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ සංවිධානයේ කාමන්ත තුෂාර ඇතුළු නඩුවේ අතෘප්තියට පත් පාර්ශවකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති කෞෂල්‍ය නවරත්න ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, නීතිඥ අකලංක උක්වත්ත ඇතුළු පිරිසක්ද අධිකරණයට පැමිණ සිටියහ.

පෙරවරු 10.50ට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ විනිශ්චයාසනාරූඪවීමෙන් අනතුරුව අධිකරණ කටයුතු ආරම්භ වූ අතර ඒ අවස්ථාවේදී යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විත්ති කූඩුවට නංවනු ලැබීය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කාමන්ත තුෂාර ඇතුළු පිරිසක් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් සමඟ ඇමුණුම් 13ක් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ටී.ඒ.එන්.බී. තිබ්බටුමුණුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

රහස් පොලිසිය සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම කරුණු දක්වමින් මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කරමින් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ‘ඉමියුනුග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා වෛද්‍ය සැපයුම් අංශයට දීමට කුමන්ත්‍රණය කිරීම මෙන්ම ඒ සඳහා ආධාර අනුබල දී ඇති බව රහස් පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇතැයි කීවාය.

ස්නායු රෝගීන් සඳහා ලබාදෙන අති සංවේදී ඖෂධයක් වන ‘ඉමියුනුග්ලෝබින්’ නමැති ඖෂධය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් හෝ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිලදී ගත යුතු බවට කොන්දේසියක් පනවා තිබූ බවත් ඒ අනුව අනාදිමත් කාලයක් පුරාම වෛද්‍ය සැපයුම් ඒකකයට එම ඖෂධය ඇතුළු සංවේදී ඖෂධ සපයා ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් වුවත් මෙම සැකකරු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී එම කොන්දේසි ලිහිල් කිරීම නිසා මෙම නඩුවට පාදක වූ සිද්ධිය වී ඇතැයි ලක්මිණී ගිරිහාගම වැඩිදුරටත් කීවාය.

ජනාධිපතිවරයා විසින් කෙහෙළිය රඹුක්වැල්ලට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදෙන විට ‘නිරෝගිමත් ජනතාවක් බිහිකිරීම’ නමැති වගකීම ඔහුට ලිඛිතවම පවරා ඇති බවත් ව්‍යවස්ථාවෙන් පනවා ඇති නීතිරීතිවලට අනුව අදාළ වගකීම කළ යුතු බව ඔහුට දැනුම් දී ඇති බවත් කී ලක්මිණී ගිරිහාගම සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් යොදවා සැකකරු ‘නිරෝගිමත් ජනතාවක් බිහිකිරීම’ නමැති වගකීම ඉටු කළාදැයි රහස් පොලිසිය විමර්ශන කළත් සැකකරු කටයුතු කර ඇත්තේ අසද්භාවයෙන් බවට තොරතුරු හෙළි වීම නිසා මෙම සිද්ධියේ 08 වැනි සැකකරු වශයෙන් ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි කීවාය.

කොවිඩ් වසංගතයෙන් රට වෙළී ගිය පසු ඉන් ජනතාව බේරා ගැනීම හා සාමාන්‍ය ජීවන තත්වයක් පවත්වාගෙන යෑම සඳහා ලංකාවට ඖෂධ ගෙන්වීමේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලිහිල් කළේ යැයි ද ඒ අනුව ආරම්භ කළ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයිද කී ලක්මිණී ගිරිහාගම මෙම හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රයෝජනයට ගෙන ස්නායු රෝගීන් සඳහා ලබාදෙන අති සංවේදී ඖෂධයක් වන ‘ඉමියුනුග්ලෝබින්’ නමැති ඖෂධය වෙනුවට පළමු සැකකරු වෛද්‍ය සැපයුම් අංශයට ලබාදී ඇත්තේ ඖෂධයක් යැයි කිව නොහැකි ද්‍රාවණයක් යැයි ද කීවාය.

2022 අගොස්තු 18 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට සහභාගි වී ඇති සැකකාර රඹුක්වැල්ල ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල් හැකි ඉක්මනින් පාවිච්චි කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී ඇතැයිද ඒ බව සාමාන්‍යාධිකාරිවරයා විසින් සැප්තැම්බර් 02 වැනිදා රහස් පොලිසියට ප්‍රකාශයක් දෙමින් හෙළි කර ඇතැයිද ලක්මිණී ගිරිහාගම කීවාය. ඖෂධ සැපයීමේ සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ‘අභිලාෂයන් කැඳවමින් ඖෂධ කැඳවීමේ ක්‍රමවේදයක් නොතිබූ බැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇමතිවරයාගේ උපදෙස් ප්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව සති තුනක් තුළ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට බොරු භීතියක් කැබිනට් මණ්ඩලයට මවාපාමින් සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2022 මැයි 30 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද ගිරිහාගම සඳහන් කළාය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරීන්ගේ උපදෙස් අනුව බවට සැකකරු වෙනුවෙන් කරුණු දැක්වුවොත් ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – “ජනාධිපතිවරයා කෙහෙළිය රඹුක්වැල්ලට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදෙන විට ‘නිරෝගිමත් ජනතාවක් බිහිකිරීම’ නමැති වගකීම ඔහුට ලිඛිතවම පවරා ඇති නිසා ‘මට මතක නැහැ’ ‘මං දන්නේ නැහැ’ ‘මට කිව්ව දේ මං කළා’ වගේ විත්ති වාචක ඔහුට ඉදිරිපත් කරන්න බැහැ. සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ ඔහුට ලබා දී තිබුණා.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙසේද කීවාය.

රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරන විට ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සියළු කැබිනට් පත්‍රිකා ඔහුට පෙන්වා දුන්නා. එසේ පෙන්වා දෙමින් ප්‍රශ්න කරන විට ඖෂධ හා පාරිභෝජන ද්‍රව්‍ය මිලදී ගන්නා අවස්ථාවේ සිට ඒවා රෝගීන්ට ලබාදෙන අවස්ථාව දක්වා සියළු කටයුතු අධික්‍ෂණය කරන බව ඔහු පිළිගත්තා. 2022 සැප්තැම්බර් 26 වැනිදා වන විට ඖෂධ වර්ග 182 කට අදාළ තොග රට තුළ අඩු මට්ටමක තිබූ බවටත් තවත් ඖෂධ වර්ග 17ක් ‘බින්දුව’ මට්ටමේ තිබූ බවටත් ඔහු කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තිබුණා. ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණු නිසා කැබිනට් මණ්ඩලයට ඊට අවසර දී තිබුණා.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – ඖෂධ වර්ග 182 කට අදාළව ඔහු කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමට ඇති හේතුව කුමක්ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ ඔහු කීවේ ‘වෛද්‍ය සැපයුම් අංශය මට කියපු නිසා මං කළා’ කියලයි.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – රහස් පොලිසිය ඔහුගෙන් එසේ ප්‍රශ්න කළේ ඔහු අත්අඩංගුවට ගත් පසුද? අත්අඩංගුවට ගැනීමට පෙරද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – අත්අඩංගුවට ගැනීමට පෙර.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙසේද කීවාය.

රටකට අවශ්‍ය ඖෂධ ‘අත්‍යාවශ්‍ය’ ‘ඉතා අත්‍යවශ්‍ය’ වශයෙන් වර්ග තියෙනවා. ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළත් ඒ පිළිබඳ කිසිවක් දන්නේ නැති බව ඔහු පිළිගෙන තියෙනවා. ඒ රට තුළ ‘බින්දුව’ සීමාවට පැමිණ ඇතැයි ඔහු කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් ඖෂධ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කළ විට ඔහු පවසා ඇත්තේ ‘ඒ ගැන මට කියන්න බැහැ’ යනුවෙන්. ඖෂධ නොමැතිකම නිසා ජනතා ජීවිතවලට හානි පැමිණෙන බවට ඔහු කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇති නිසා තමයි අදාළ ඖෂධ මිලදී ගැනීමට අවසර දීමට ඔහුට හැකියාව ලැබී ඇත්තේ. මේ පිළිබඳව රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළ විට ‘මං කරන්නේ කැබිනට් මණ්ඩලයට සංදේශ ඉදිරිපත් කරන එක. මං ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණා. ඒ ගැන දන්නේ (මේ නඩුවේ 06 වැනි සැකකරු) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා. ඒ නිසා මං ඒ ගැන දන්නේ නැහැ’ යනුවෙන් සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල පවසා ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නැති අර්බුදයක් මවා පාමින් සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා කැබිනට් මණ්ඩලයට පත්‍රිකා ඉදිරිපත් කර ලියාපදිංචියක් හෝ නොමැති කෙනකුගෙන් ඖෂධ මිලදී ගැනීමට අවසර ගෙන ඇත්තේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ආරක්‍ෂා කරන්න නෙමේ. පළමු සැකකරුට ඖෂධ ගෙන්වීමට අවසර දීමේ අපේක්‍ෂාවෙන්.

වෛද්‍ය සැපයුම් අංශයක් ඇත්තේ ලංකාවට අවශ්‍ය ඖෂධ තොග මිලදී ගැනීමට හා ඒවා බෙදා හැරීමටයි. 2022 සැප්තැම්බර් මාසයේ සිට 2023 ජුලි මාසය දක්වා ලෝක බැංකු ණය ආධාර යටතේ ලංකාවට අවශ්‍ය ඖෂධ ප්‍රමාණයටත් වඩා වැඩි ඖෂධ තොග ලංකාවට ලබාදෙන බව දැනුම් දී තිබිය දී ඒ බව නොසළකා හරිමින් මෙම ඖෂධ මිලදී ගැනීම් කර තියෙනවා. රහස් පොලිසිය ඒ ගැන සැකකාර රඹුක්වැල්ලගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා ඇත්තේ අදාළ ඖෂධ තොග ලැබීමේ අවිනිශ්චිතභාව නිසා ඖෂධ මිලදී ගැනීමට කටයුතු කළ බවයි.

ඒ අනුව මෙම නඩුවේ පළමු සැකකරුට රුපියල් බිලියනයක මුදලක් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙවීමට කටයුතු කර තියෙනවා. ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවේ දී ඉන්දියාව දී ඇති මෙම ණය මුදල් වසර තුනක කාලයකට පසු අපි යළි ඉන්දියාවට ගෙවිය යුතුයි. කැබිනට් ඇමතිවරයකු වශයෙන් ජනතා බදු මුදල් නියමිත පරිදි යෙදවීමේ වගකීමෙන් මිදීමට සැකකාර අමාත්‍ය රඹුක්වැල්ලට හැකියාවක් නැහැ. රෝගී ජීවීත ආරක්‍ෂා කිරීම සඳහායි සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සැකකාර රඹුක්වැල්ල කටයුතු කළ යුත්තේ. ඒත් ඔහු එසේ කටයුතු කර තියෙනවා ද?

මෙම ඖෂධ 182ට අදාළව ප්‍රසම්පාදන කටයුතු සිදුවුණා ද කියා රහස් පොලිස් නිලධාරීන් විමර්ශන කළත් එවැනි ප්‍රසම්පාදන සිදුවීමක් පිළිබඳ තොරතුරු හෙළි වී නැහැ.

කැබිනට් පත්‍රිකා සකස් කිරීමට අදාළ ගොනු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සැකකරුට දැනුම් දුන්නත් එවැනි කිසිදු ගොනුවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ පවත්වාගෙන ගොස් නැහැ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කළාද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – ඔව් නමුත් ඔහුට පිළිතුරු දීමට නොහැකි වුණා. මේ සම්බන්ධයෙන් සාධාරණ හේතුවක් විමර්ශන නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට සැකකරුට හැකි වුණේ නැහැ.

මාස 02 සිට මාස 03 දක්වා ප්‍රමාණවත් ඖෂධ තොග රට තුළ ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සැප්තැම්බර් 05 වැනිදා සැකකාර අමාත්‍යවරයාට දැනුම් දී තිබියදී සැකකාර අමාත්‍යවරයා විසින් සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඖෂධ නොමැති බව දැනුම් දී තියෙනවා.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – ඒ ඖෂධ 182 ලැයිස්තුව කෝ?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – ඒකට වෙච්ච දෙයක් අද වනතුරු හොයා ගන්න නැහැ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – ඒ ලැයිස්තුවේ ඇතුළත් වෙලා තියෙන්නේ මොනවාද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – ඒ බව දන්නේ ඒ ලැයිස්තුව හදපු කෙනත් ඒකට අත්සන් කළ මේ නඩුවේ 08 වැනි සැකකරු වශයෙන් නම් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලත් පමණයි.

ලෝක බැංකු ණය ආධාර යටතේ ලංකාවට මසකට එන්නත් 9500 බැගින් මාස තුනක කාලයකට නොකඩවා එන්නත් සැපයීමට එකඟ වී සිටි බවත් ඒ වන විටත් ලංකාව තුළ අවශ්‍ය එන්නත් තොග තිබූ බවත් වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් 16 දෙනකුම පැවසුවා. එසේ තිබියදී තමයි සැකකාර රඹුක්වැල්ල සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට බොරු අර්බුදයක් මවා පාමින් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර තියෙන්නේ. මේ ආකාරයෙන් තමයි සැකකාර රඹුක්වැල්ල බෙහෙත් බවට පවසා ව්‍යාජ ද්‍රාවණ සැපයීමට පළමු සැකකරුට අවස්ථාව නිර්මාණය කර දී තියෙන්නේ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන බවට සැකකාර රඹුක්වැල්ල කී කරුණු සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනය කළාද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – ඔව්. ඒත් සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය කඩා වැටෙන ආකාරය ගැන හෙළි කර ගැනීමට රහස් පොලිසියට හැකියාව ලැබුණේ නැහැ. ඒ විතරක් නොවේ, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල නමැති මෙම සැකකරුගේ වගවීමක් නොමැති බවත් රහස් පොලිස් නිලධාරීන් හෙළි කර ගත්තා.

තාක්‍ෂණික ඇගැයීම් කමිටුවක් තිබුණා නම් පළමු සැකකරු සැපයූ ඖෂධ තොග බාර නොගෙන අනිවාර්යෙන්ම ප්‍රතික්‍ෂෙප කරනවා. ඒත් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල නමැති මෙම සැකකරු මගහැර යා යුතු සියළු තැන් මගහැර යාමට අවස්ථාව සලසා දී ඇති බව විමර්ශන නිලධාරීන් කරුණු අනාවරණය කරගෙන තියෙනවා. ලියාපදිංචියක් හෝ නොමැති ආයතනයකින් තමයි ඖෂධ වශයෙන් හඳුන්වා දුන් ද්‍රාවණ මිලදී ගෙන තියෙන්නේ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – ලංකාවට වාහනයක් ගෙන්වනවා නම් එල්.සී. එකක් විවෘත කළ යුතුයි. බැංකුවක් සමග ගනුදෙනු කළ යුතුයි. මෙම සිද්ධියට අදාළ ඖෂධ ගෙන්වීමේ දී එවැනි දෙයක් වෙලා නැද්ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – ඇල්වතුර දෙන්න එල්.සී. විවෘත කරන්න ඕනෑ නැහැ නේද?

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න – ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ එල්.සී. විවෘත කරන්න අවශ්‍ය වන්නේ නැහැ.

නීතිඥ කෞශල්‍ය නවරත්න – වරායට ගෙන්වන ඕනෑම දෙයක් ඉන් මුදා ගැනීමට අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍යයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ වුණේ ලංකාවේ තිබූ ඩොලර් සංචිත ලංකාවෙන් පිටතට යෑම වැළැක්වීම පමණයි.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – කැබිනට් සංදේශවලට අමාත්‍යවරයා අත්සන් කළ යුතුයි නේද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම– ඔව්, නිලධාරීන් සකස් කරන කැබිනට් සංදේශ ඇමැතිවරයා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඔහු ඊට අත්සන් කළ යුතුයි.

ඒ වකවානුවේ උග්‍ර හිඟයක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ ඖෂධ වර්ග 51 සම්බන්ධයෙන් විමර්ශන කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල නමැති මෙම සැකකරු පොදු දේපළ පනත යටතේ වැරැදි කර ඇති බවට කරුණු අනාවරණය වුණා.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – මෙම සැකකරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවට අනුමැතිය දී ඇත්තේ ඖෂධ සැපැයුම්කරුවන්ට මුදල් ගෙවිය යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ ලබාදෙමින් ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – ඔව්.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – එතකොට ඔබ කියන්නේ මෙම සැකකරු කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩා බිඳ දමා ඇති බව ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – ඔව්. සැකකරු අවස්ථා හතරක දී එක් එක් ඖෂධවල තොග ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කඩා වැටෙන බවට බොරු භීතියක් මවා පාමින් සැපැයුම්කරුවන්ට මුදල් ගෙවීමට අනුමැතිය ඉල්ලා තිබුණා. සති තුනෙන් කඩා වැටෙන බව කියමින් ඖෂධ ගෙන්වීමට සැකකරු 2022 මැයි මාසේ අවසර ඉල්ලා තිබුණත් 2023 පෙබරවාරි මාසය දක්වා මාස 9ක කාලයක දී ලංකාවට ගෙන්වා තිබුණේ ඖෂධ 9ක් පමණයි.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – ඒ බවට තොරතුරු තියෙනවා ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – ඔව්. මෙම සැකකරු ඖෂධ ගෙන්වීමට කැබිනට් මණ්ඩලයට පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ වැටෙන රට නගාසිටුවීමට නෙමේ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – මේ අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් ඉන්නවා ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – ඔව්. පැමිණිල්ල නොදත් අයත් ඉන්නවා.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – මෙම සැකකරු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වුණේ කවදා ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – 2022 මැයි මාසේ සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වී 2023 ඔක්තෝබර් 31 වැනිදා තෙක් එම ධුරයේ කටයුතු කළා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස කරුණු දක්වමින්, මෙම අපරාධයට අදාළ තොරතුරු හෙළි කරගැනීමට වෙහෙසීම සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන්ට සහ නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගමට ප්‍රණාමය පුද කළේය.

ලිපිගොනුවක් හෝ නොමැතිව කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම ඉතා භයානක තත්වයක් බවත්, සියලු වරප්‍රසාද දෙමින් ජනතාව විසින් නඩත්තු කරන ඇමැතිවරුන්ට පැවැරී ඇත්තේ ඉතාම බාරදුර වගකීමක් බවත්, ඔවුන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන කරුණු පැහැදිලි කිරීමට හැකියාව තිබිය යුතු බවත්, පෙන්වා දුන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස, අදාළ වගකීමෙන් මිදීමට මෙම සැකකරුට හැකියාවක් ලැබෙන්නේ නැතැයි ද කීය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – ඇමැතිවරයා වශයෙන් ව්‍යවස්ථාපිතව මෙම සැකකරුට පැවැරී ඇති රාජකාරි ඔහු පැහැර හැරියා ද යන්න සම්බන්ධයෙන් මෙන්ම ඔහු අපරාධමය වරදක් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් මෙම උසාවිය තීරණය කළ යුතුයි.

ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස – මේ තත්වය අනුව අපරාධවලට කොටු වන හැම ඇමැතිවරයෙක්ම ඇවිත් ‘මේ පත්‍රිකාව හැදුවේ මං නෙමේ. මගේ ලේකම්’ කියලා කියයි. එතකොට රාජ්‍ය මුදල් මෙයටත් වඩා අවභාවිත කිරීමට පටන්ගනී.

පළමු සැකකරු සැපැයූ එන්නත්වල බැක්ටීරියා තිබුණා ද? ඉන් මනුෂ්‍ය ජීවිතවලට තර්ජන වුණා ද? මෙම ඖෂධ හේතුවෙන් සංකූලතා ඇති වූ රට පුරා සිටින රෝගීන් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන මෙහෙයවිය යුතුයි. එමෙන්ම පළමු සැකකරුගේ ගිණුම්වලට ගිය මුදල් ගියේ කාට කාට ද කියා වෙනම විමර්ශනයක් පැවැත්විය යුතුයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කෞශල්‍ය නවරත්න සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම කරුණු දක්වමින්, ව්‍යවස්ථාවෙන් පැවැරී ඇති විධායක බලය පැවැරී ඇති කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරමින් ඔහු එම අපරාධය කර ඇති බවක් පෙනෙන්නට ඇතැයි ද, විධායකය සතු බලය යෙදවිය යුත්තේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා යැයි ද කීය.

‘වෝටර්ස් එජ්’ නඩු තීන්දුව ඉදිරිපත් කරමින් මහජන නියෝජිතයින්ට මහජන විශ්වාසය කඩ කළ නොහැකි බව එහි සඳහන් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, මෙම සැකකරුවන් පොදු දේපළ පනතට එහා ගිය අපරාධමය වරදක් කර ඇතැයි ද, ඒ බව යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී අනතුරක් කළ පෞද්ගලික බස් රථ රියැදුරාට එරෙහිව මිනී මැරුම් චෝදනා යටතේ නඩු පැවැරීම මගින් පැහැදිලි වන්නේ යැයි කියමින් එම නඩු තීන්දුව ද අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙතෙක් වේලා විත්තිකූඩුව තුළ සිටගෙන සිටි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පස්වරු 12.50ට පමණ වාඩි වීමට අසුනක් සැපැයීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කෞශල්‍ය නවරත්න කරුණු දක්වමින්, පාර්ලිමේන්තුවේ සිටින 225න් කී දෙනකුට හෘදයක් හෝ සාක්කියක් තියෙනවා ද කියා දන්නේ නැතැයි කීය.

මේ ‘පුන්නක්කු’ ගෙන ඒමට අදාළ නඩුවක් නොවන බවත්, නීරෝගී ජනතාවක් බිහි කිරීමේ වගකීම පැවැරී ඇති සෞඛ්‍ය ඇමැතිවරයා විසින් රෝගීන්ට බෙහෙත් කියා ‘ඇල්වතුර’ සැපැයීමේ සිද්ධියකට අදාළ නඩුවක් යැයි ද, මෙය සුළුවෙන් තැකිය හැකි තත්වයක් නොවන හෙයින්, මෙම අපරාධයට සම්බන්ධ සියලු දෙනා උසාවිය හමුවට ගෙනා යුතු යැයි කී කෞශල්‍ය නවරත්න, කාට කොයි වේලාවේ කොපමණ මුදලක් ගියා ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු යැයි ද, සපයා ඇති ඖෂධ කුප්පිවල අලවා ඇති ලේබල් මුද්‍රණය කළ තැන සිට සියලු කරුණු සෙවිය යුතු යැයි ද කීය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – සුදු කර පටි හොරුන් හොරකම් කළ මුදල් බෙදාගත් ආකාරය සෙවීම ඉතාම අපහසුයි. මෙවැනි ආකාරයෙන් සොයන මුදල් ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කරගන්නේ නැහැ. ඒත් මේ මුදල් රජයේ වැය ශීර්ෂය හරහා පළමු සැකකරුගේ ගිණුමට ගිය බව නම් පැහැදිලියි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු දක්වමින්, 2022 සැප්තැම්බර් සිට රටේ පැවැතුණේ අවිනිශ්චිත කාලයක් යැයි ද, තෙල්, ගෑස්, ඖෂධ නොමැතිව රටේ ජනතාව දින ගණන් පෝළිම්වල සිටියේ යැයි ද කීය.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මෙසේ ද කීය.

“ඖෂධ 182 ලැයිස්තුව අත්සන් කළේ වෛද්‍ය සැපැයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයායි. කැබිනට් මණ්ඩලය එයට අනුමැතිය දී තිබුණා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ වන මුදල්වලින් ඖෂධ ගෙන්වීමට තීරණය කළේ එවකට හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂයි. මෙම ඖෂධ සැපැයූ සැපැයුම්කරු නිවැරැදි ඖෂධ සැපැයූවා නම් මෙම සැකකරු කළ වරද කුමක් ද? ඖෂධ සැපැයුම්කරු වැරැදි ඖෂධ සැපැයුවාට මෙම සැකකරු මොනවා කරන්න ද? ඖෂධ 182න් ඉතිරි ඖෂධ සම්බන්ධයෙන් මට නඩුවක් නැහැ නේද?

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – මේ විමර්ශනය කරන්නේ හියුමන් ඉමියුනොග්ලොබියුලින් සම්බන්ධයෙන් පමණයි. ඉතිරි ඖෂධ සම්බන්ධයෙන් වෙනම විමර්ශන කරනවා.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න – එක්කෙනෙක් කළ වරදකට මගේ සේවාදායකයා ඇතුළු අනිත් අය අල්ලාගෙන තියෙනවා.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – මෙම සැකකරුගේ නියෝජිතයකු බව පවසමින් අයෙක් මෙම සිද්ධියට අදාළ මුල් පැමිණිල්ල කිරීමට ඉදිරිපත් වුණා. ඒත් උසාවියේ නියෝගය අනුව කළ විමර්ශනවලදී තමයි ඇත්ත අපරාධකරුවන් හෙළි වුණේ.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න – ලිපි ගොනුවක් නැති වූ බව කීවා. ඒක හැංගුවේ කවුද කියා පොලිසිය සෙවිය යුතුයි. ඒකටත් මෙම සැකකරු වගකියන්න ඕනෑ ද? මගේ සේවාදායකයාට එරෙහිව බැලූ බැල්මට නඩුවක් නැහැ. මේ අපරාධය කරන්න මං ආධාර අනුබල දීලා තියෙනවා ද? ග්‍රාමීය රෝහල් හැරෙන්න ලංකාව පුරා රෝහල් 1008ක් තියෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් මගේ සේවාදායකයාට ඒ ගැන සොයා බැලීමේ වගකීම තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න 225ට මාත් අයිති වුණා කියලා මං වැරැදිකාරයෙක් නෙමේ. මං ඒ 225න් කෙනකු වුණේ මේ රටේ මිනිස්සු මට ඡන්දේ දුන්න නිසයි. මං 225න් කෙනකු වුණා කියලා මං දිහා වැරැදි විදිහට බලන්න එපා.

මෙම නඩුවේ පළමු සැකකරුට මුදල් ගෙවන්න එපා කියලා මං දැනුම් දුන් පසු 2023 ඔක්තෝබර් 10 වැනිදා ඔහු මට තර්ජනය කරලා ලිපියක් එව්වා. මගේ සේවාදායකයා රෝගියෙක්. ඔහු දිනපතා ඖෂධ පෙති 8ක් බොනවා. ඔහුලේ කකුලේ ශල්‍යකර්මයක් කර තියෙනවා. ඔහුට හෘදයාබාධ තත්වයක් තියෙනවා. ඒ නිසා ඔහුට ඇප නියම කරන්න.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – සැකකරු ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ ඉන්දියාණු ණය යෝජනා ක්‍රමයේ මුදල්වලින් හෝ වෙනත් අරමුදල්වලින් අදාළ ගෙවීම් කරන්න කියලා සටහනක් දැම්මේ ඇයි?

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න – ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මුදල්වලින් සැපැයුම්කරුවන්ට මුදල් ගෙවීම ප්‍රමාද වෙනවා. ඒ නිසා සැපැයුම්කරුවන් ඉදිරිපත් වීමට අකැමැති වෙනවා. ඒ නිසයි වෙනත් අරමුදල්වලින් අදාළ ගෙවීම් කරන්න කියලා සටහනක් දැම්මේ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – ඒ බව කැබිනට් පත්‍රිකාවේ දැම්මේ නැත්තේ ඇයි?

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න – සියලු කරුණු කැබිනට් පත්‍රිකාවේ දාන්න බැහැ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ – මෙය ඉතාම අත්‍යවශ්‍ය කරුණක්.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න – ඒ බව මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – ඖෂධ වර්ග 182ක් ලැබුණේ නැත්නම් ඉදිරි සති 3 තුළ ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කඩා වැටෙන බවට කැබිනට් මණ්ඩලයට ගිහින් මෙම සැකකරු බොරු බිල්ලෙක් මවා පෑවා.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න – පිස්සු බල්ලන්ට ගහන බෙහෙතක් හෝ ලංකාවේ තිබුණා ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම – පිස්සු බල්ලන්ට ගහන බෙහෙත් නැති වුණත් බාල බෙහෙත් නම් ලංකාවේ තිබුණා. බෙහෙත් කියලා මිනිසුන්ට දීලා තිබුණේ ඇල්වතුර.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න – ඒකට ඇල්වතුර දීපු කෙනා අල්ලගන්න. ඇල්වතුර ගේන්න මං කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළේ නැහැ.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය, පාර්ලිමේන්තුව හරහා ජනතාවට වගකියන කැබිනට් ඇමැතිවරයකු වශයෙන් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළාය.

මෙම නඩුවට පාදක වූ ප්‍රධානම සිද්ධිදාමය වී ඇත්තේ, මෙම සැකකරු සැප්තැම්බර් 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව බවත්, අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට අදාළ තොරතුරු ඇතුළත් මුල් ගොනුව සොයා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇතැයි ද, එක්කෝ අදාළ මුල් ගොනුවේ අංකය ව්‍යාජ එකක් බවත්, නැත්නම් මුල් ගොනුව අස්ථානගත කර ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රහස් පොලිසියට නියම කළාය.

ඉන් අනතුරුව සවස 3.10ට පමණ සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය, සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය.

මෙම සිද්ධියට අදාළව මේ වන විටත් බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපැයුම් අංශයේ හිටපු අධ්‍යක්‍ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපැයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපැයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපැයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් රිමාන්ඩ් බාරයේ පසුවන අතර, වෛද්‍ය සැපැයුම් ඒකකයේ තොග පාලක සුජිත් කුමාර නමැත්තා ඇප මත මුදාහරිනු ලැබීය.

අධිකරණය විසින් රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යෑමෙන් අනතුරුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි, සැරයන්වරුන් වන (35124) ප්‍රනාන්දු, (61823) මනෝජ් සමග ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා පෙනී සිටියේ

(ලංකාදීප – මනෝප්‍ර්‍රිය ගුණසේකර විසිනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles

error: Content is protected !!