spot_img
spot_imgspot_img

උසස් පෙළ දරුවන්ට නිදහස් අධ්‍යාපනය අහිමි කරන රිච්මන්ඩ් විද්‍යාලය

පුවත්

විදෙස්

සජීව විජේවීර

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලැබූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර අධ්‍යාපනය ලැබූ ගාල්ල රිච්ම්නඩ් විද්‍යාලය නැවත වතාවක් නිදහස් අධ්‍යාපනය තුට්ටුවකට මායිම් නොකරමින් උසස් පෙළ සඳහා ඇතුළුවන දරුවන්ගෙන් මුදල් ගැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

2024/2025 අධ්‍යයන වර්ෂ සදහා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීම සඳහා පාසලේ ලියාපදිංචි වන එම පාසලේම සාමාන්‍ය පෙළ හැදෑරූ සිසු දරුවන්ගෙන් නීති විරෝධී ලෙස මුදල් එකතු කිරමින් විදුහල්පතිවරයා මෙම කාර්යයේ නිරත වෙයි.

පාසලෙන් උසස් පෙළ හැදෑරීම සඳහා මූලික සුදුසුකම් සපුරා ඇති සිසු දරුවනට බදාදා (24) උදෑසන 8.00 සිට 1.30 දක්වා කාලයේ දී පාසලට පැමිණ ලියාපදිංචිවන ලෙස දන්වා සිටිමින් විදුහල්පතිවරයා එම සිසුන්ගේ දෙමාපියන් වෙත වට්ස් ඇප් පණිවිඩයක් යොමුකර ඇත.

එහි දැක්වෙන්නේ හිටපු අධ්‍යාපන අමාත්‍ය නිදහස් අධ්‍යාපනයේ පියාගේ නමින් පවත්වාගෙන යන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශාලාවට පැමිණ ලියාපදිංචිවන ලෙසයි.

විදුහල්පතිවරයා විසින් දන්වා ඇත්තේ පාසල් සංවර්ධන සමිති ගාස්තු වසර 02ක සඳහාම රුපියල් 11,500.00ක් රැගෙන ආ යුතු බවයි. නමුත් විදුහල්පතිවරයාගේ පණිවිඩයේ ම දක්වා ඇත්තේ 2024 අයවැය ඇස්තමේන්තුවෙන් එක වසරක් සඳහා රුපියල් 5,750.00ක් පාසල් සංවර්ධන සමිති ගාස්තු සඳහා අනුමැතියට යොමුකර ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමේ දී අපට දැනන්නට ලැබුණේ එවැනි මුදලක් එකතුකිරීමට රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයාට අනුමැතියක් ලබා දී නොමැති බවයි. පාසල් සංවර්ධන සමිතිය විසින් යෝජනා කරන මුදලක් සඳහා අනුමැතිය ලැබීමට පෙර තම යෝජනාවට අනුව එලෙස මුදල් එකතු කිරීම නීති විරෝධී කාර්යයකි.

එමෙන් ම පාසල් සංවර්ධන සමිති සාමාජික ගාස්තුව වසර දෙක ම සඳහා රුපියල් 1,200.00ක් ද රැගෙන එන ලෙස විදුහල්පතිවරයා විසින් දෙමාපියන් වෙත යැවූ වට්ස්ඇප් පණිවිඩයේ දක්වා ඇත. පහසුකම් සහ සේවා ගාස්තුව රුපියල් 120.00ක් ද රැගෙන එන ලෙස දන්වා තිබේ.

මෙහි දී අවදානය යොමුවිය යුතු තවත් කරුණක් වන්නේ උසස් පෙළ පන්තියට ඇතුළුවන සියලුම සිසුන් විසින් රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරඟයේ ප්‍රවේශ පත්‍රයක් ද මිල දී ගැනීමට සිදුවීමයි. එහ මිල රුපියල් 500.00කි. එපමණක් නොව දෙමාපියන් විසින් ද එම තරඟය සඳහා වූ රුපියල් 2,000.00ක එක ප්‍රවේශ පත්‍රයක් හෝ අවම වශයෙන් මිල දී ගතයුතු යැයි ද විදුහල්පතිවරයා නිකුත් කළ පණිවිඩයේ දැක්වේ.

විදුහල්පතිවරයා විසින් මෙම පණිවිඩය නිකුත් කර ඇත්තේ 2024 ජනවාරි මස 20 වැනි දා ය.

මෙම නීති විරෝධී මුදල් එකතුකිරීම් සහ ක්‍රිකට් තරඟයක ප්‍රවේශපත්‍ර අනිවාර්ය කිරීම පිළිබඳ කරුණු විමසීමට රිච්ම්න්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇමතීමට අප උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ විය.

මාධ්‍ය ආචාරධර්ම ආරක්ෂා කරන වෙබ් අඩවියක් ලෙස අපි ඔහු පසුව හෝ කරනු ලබන පැහැදිළි කිරීමක් මෙවැනි ම ඉඩක් ලබා දී පළකිරීමට බැඳී සිටින්නෙමු.

මේ නීති විරෝධී මුදල් එකතුකිරීම සම්බන්ධයෙන් අප අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසූ විට එහි උසස් නිලධාරියකු කීවේ එම මුදල් එකතුකිරීම නීති විරෝධී බවයි. කිසිම පාසලකට පාසල් සංවර්ධන සමිතියෙන් යෝජනා කර එයට අනුමැතිය ලබාදීමට පෙර මුදල් එකතු කළ නොහැකි බවත් පාසලේ වාර්ෂික සැළැස්මට අදාලව අනුමත කර ඇති මුදල් හැර වෙනත් කිසිම මුදලක් එකතුකළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.

රිච්මන්ඩ් විද්‍යාලයේ දිගින් දිගටම සිදුවන මෙවැනි අයථා මුදල් එකතුකිරීමේ ව්‍යාපාර හේතුවෙන් ආදි ශිෂ්‍ය සංගමයෙන් සහ පාසල් සංවර්ධන සමිතියෙන් ඔවුන්ගේ වාර්ෂික සැළසුම්වල පිටපත්, අනුමත මුදල් එකතුකිරීමේ ව්‍යාපෘති සහ එම මුදල් එකතුකිරීමේ ව්‍යාපෘති සම්බන්ධ අයවැය වාර්තා සහ විගණන වාර්තා මෙම ලේඛකයා විසින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත අනුව ඉල්ලා සිටියෙමි. ආදි ශිෂ්‍ය සංගමය එම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර පාසල් සංවර්ධන සමිතිය කිසිදු පිළිතුරක් එවා තිබුණේ නැත.

ඒ අනුව නම් කළ නිලධාරීවරයා වෙත අභියාචනා කළ ද නම්කළ නිලධාරීවරුන් විසින් ද ඒ සම්බන්ධ කිසිදු පිළිතුරක් ලබා  දී නොමැත. මේ වනවිට එම තොරතුරු ඉල්ලා මෙම ලේඛකයා විසින් තොරතුරු අයිතිවාසිකම පිළිබඳ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රිච්ම්න්ඩ් විද්‍යාලයේ මුදල් එකතුකිරීම් සහ වියදම් කිරීම් විනිවිද භාවයකින් සිදුවන්නේ නම් තොරතුරු ලබාදීමට බියක් ඇතිකරගත ‍යුතු නැත. ඔවුන් තොරතුරු සැඟවීමට ගන්නා උත්සාහයෙන් ම පෙනී යන්නේ අයථා මුදල් ගනුදෙනු රිච්මන්ඩ් විද්‍යාලය තුළ දිගින් දිගටම සිදුවන බවයි.

නිදහස් අධ්‍යාපනයේ පියාට අධ්‍යාපනය ලබාදුන් රිච්මන්ඩ් විද්‍යාලය දැන් දරුවන්ට නිදහස් අධ්‍යාපනය අහිමිකරන පුද්ගලික සමාගමක් බවට පත්ව තිබේ.

විදුහල්පතිවරයා විසින් යවා ඇති සම්පූර්ණ පණිවිඩය පහතින්

හිතවත් දෙමාපියනි,

ඔබ විසින් අ.පො.ස (උ.පෙළ) -2024/2025 අධ්‍යයන වර්ෂය සදහා ඔබගේ දරුවා ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍රය හා බැදේ.

දරුවා හැදෑරීමට බලාපොරොත්තු වන ව්ෂයය ධාරව හැදෑරීමට ඔබ වෙත යොමු කරන ලද නිවේදනයට අනුව අදාළ මූලික සුදුසුකම් ඔහු ව්සින් සපුරා ඇත්නම් සහ හැදෑරීමට අපේක්ෂිත විෂයය සංයෝජනය පාසලෙහි ක්‍රියාත්මක වන්නක් නම් ඔහුගේ කැමැත්ත අනුව එම අවස්ථාව ඔහුට ලබාදීමට ම විසින් තීරණය කර ඇත.

ඒ අනුව ඔබගේ දරුවාගේ ලියාපදිංචි කටයුතු සදහා 2024.01.24 වන බදාදා පෙ.ව. 8.00 සිට ප.ව. 1.30 දක්වා කාලය තුළ හැකිතාක් පහත වේලාවන්ට අනුගත ව විද්‍යාලයීය C.W.W. කන්නන්ගර ශාලාවට අනිවාර්‍ය්යෙන් පැමිණිය යුතු බව මෙයින් දන්වමි.

භෞතීය විද්‍යා විෂය ධාරාව/ සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය සංයෝජනය යටතේ ලියාපදිංචිය සදහා – පෙ.ව 8.00

ජෛවීය විද්‍යා විෂය ධාරාව යටතේ ලියාපදිංචිය සදහා – පෙ.ව. 11. 00

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ ලියාපදිංචිය සදහා – පෙ.ව. 11.45

වාණිජ විෂය ධාරාව යටතේ ලියාපදිංචිය සදහා – ප.ව 12.30

කලා විෂය ධාරාව යටතේ ලියාපදිංචිය සදහා – ප.ව. 1.30

එදින ලියාපදිංචි නොවන සිසුන් උසස් පෙළ පංති සදහා ඇතුළත නොවන බව සලකා අදාළ පුරප්පාඩු සදහා බාහිරින් සිසුන් බඳවා ගැනීම සිදුකෙරෙන බව සලකන්න.

* යම් හදිසි කරුණක් හේතුවෙන් ඔබට හෝ ඔබ නියෝජනය කරමින් වෙනත් අයකුට පැමිණිය නොහැකි වන්නේ නම් ඒ බව නියෝජ්‍ය විදුහල්පති (පාලන) වෙත දැනුම් දෙන්න.

ව්ශේෂයෙන් දැනගත යුතු දෙයක් වෙතොත් පමණක් දරුවාගේ  පැමිණීම අවශ්‍ය වන අතර එසේ නොමැති නම් දෙමාපියන්ගෙන් එක් අයකු/භාරකරු පමණක් පැමිණීම සෑහේ. දරුවා පැමිණෙන්නේ නම් පාසල් නිල ඇඳුමින් පාසලේ සම්මතයන්ට අනුකූලව පැමිණිය යුතු වේ.

** එදින විද්‍යාලය තුළ අ.පො.ස (උ.පෙළ) විභාග මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බැවින් උපරිම නිශ්ශබ්දතාවය පවත්වා ගත යුතු ය.**කිසිදු වාහනයක් විද්‍යාලයීය ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළත් කිරීමට කිසිදු අවසරයක් නොලැබෙන අතර විද්‍යාලයීය ප්‍රධාන ගේට්ටුව ඉදිරියෙන් වූ මාර්ගයේ ද අධික වේලාවක් නවතා තැබීමෙන් මාර්ගය අවහිර වන බැවින් ඒ සදහා ඔබ විසින් පෞද්ගලිකව සුදුසු වැඩපිළිවළක් සකසා ගත යුතු වේ.**

එදින පහත පරිදි ගාස්තු/ ගෙවීම් කිරීමට සිදුවන බැවින් ඒ සදහා ද සූදානම් ව පැමිණෙන්න.

1. පාසල් සංවර්ධන සමිති අනුමත ගාස්තු වසර දෙකම සදහා  – රු. 11 500 ( 2024 අයවැය ඇස්තමේන්තුවෙන් එක් වසරක් සදහා රු. 5 750ක මුදලක් යෝජනා කොට අනුමැතියට  යොමු කර ඇත.)

2. පාසල් සංවර්ධන සමිති සාමාජික ගාස්තු වසර දෙකම සදහා – රු. 1200

(එක් පවුල් ඒකකයක් සදහා – පාසලේ ඉගෙනුම ලබන වැඩිමහල් ම දරුවාගෙන් අයකෙරේ.)

3. පහසුකම් සහ සේවා ගාස්තු වසර දෙක ම සදහා – රු. 120

4. 119 වන රිච්මන්ඩ් – මහින්ද මහා ක්‍රිකට් තරගයේ පාසලේ ඉගෙනුම ලබන සිසුන් සදහා නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍රය – රු. 500

5. 119 වන රිච්මන්ඩ් – මහින්ද මහා ක්‍රිකට් තරගයේ පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් සදහා නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍රය – රු. 2 000 (අවම වශයෙන් එක් ටිකට් පතක් හෝ මිල දී ගනු ඇතැයි අපේක්ෂා කෙරේ)

6. ශිෂ්‍ය වාර්තා පොත රැගෙන එන්න. ශිෂ්‍ය වාර්තා පොත අස්ථානගතව ඇත්නම් දරුවාගේ පාසලට ඇතුළත්වීමේ අංකය නිවැරදිව සටහන් කරගෙන පැමිණිය යුතු වේ.

*** 2024 අයවැය ඇස්තමේනතුව සදහා 2024.01.24 වන දිනට ප්‍රථම අධ්‍යාපන අමාත්‍යාංශ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම නිවේදනය නිකුත් කරන අතර පැමිණිය යුතු දිනයෙහි යම් වෙනසක් වෙතොත් ඒ පිළිබද ව මෙම සමූහය හරහා 2024.01.23 වන දින ප.ව. 6.00 ට ප්‍රථම ඔබ ව දැනුවත් කරන බැවින් අවධානයෙන් පසුවන්න.

විදුහල්පති

රිච්මන්ඩ් විද්‍යාලය

2024.01.20

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!