spot_img
spot_imgspot_img

ජපානයෙන් ශ්‍රී ලංකාවට, කනේ පහරක්

පුවත්

විදෙස්

ජපානය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරමින් සිටි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ (LRT) වියදම් ආපසු ගෙවන්නේ නම් පමණක් ජපානය මෙරට සිදුකරගෙන ආ ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ජපානය විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.

දින දෙකක නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායකවරයා හමු වූ අවස්ථාවල දී මේ බව කියා ඇත.

ජපානයෙන් ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක සහනදායී ණය ක්‍රමයක් යටතේ  කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ රජය විසිනි.

ඉන්පසු බලයට පත් වූ ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මෙය කොළඹ තදබදයට ලාභදායී විසදුමක් නොවේ යැයි කියමින් ඒකපාර්ශ්විකව අහෝසි කර දැමිණි.

සැහැල්ලු දුම්රිය මාර්ගයේ දුර කිලෝමීටර් 15.7 ක් වූ අතර දුම්රිය ස්ථාන 16 ක් ඇතුළත්ව සැලසුම් කර තිබුණි.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියරට අමෙරිකානු ඩොලර් මිලියන 285ක ණය ගිවිසුමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JAICA) හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අත්සන් තැබුවේය. 

මෙම ණය සියයට 0.1ක සහන පොලී අනුපාතයකට අවුරුදු 12ක සහන කාලයක් සමඟින් වසර 40කින් ආපසු ගෙවිය යුතු බව ගිවිසුම්වල සඳහන්ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ මැයි මස දී ජපානයේ සිදුකළ සංචාරයේදී ද ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවී මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වූයේ ය.  

ඒ අනුව මෙම ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීම සඳහා යෝජනාවක් ඉකුත් ජුනි 03 වැනිදා ජනපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය.

කෙසේවෙතත් දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි ඊයේ (12) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය දැනුම් දී තිබේ.

ජපන් මුදල් අමාත්‍යවරයා මෙසේ කීවේය.

“සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ගය, නාගරික සංවර්ධනය වැනි ව්‍යාපෘති ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් බව අපට වැටහෙනවා. මා මීට පෙර පැවසූ ආකාරයට ම දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති නැවත ආරම්භ කළයුතු වෙනවා. ඒ වගේ ම නව ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර ගෙවීම් ප්‍රශ්නය විසඳිය යුතුයි”.

එම අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද එයට එකඟතාව ප්‍රකාශ කරමින් මෙසේ කියා තිබිණි.

“ඒ කරුණුවලට මමත් එකඟ වෙනවා. අප පළමුව හිඟ ගෙවීම් සහ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති අවසන් කළ යුතුයි. 2017-2019 කාල‍ේය දී එකඟතාවට එළැඹුණු ව්‍යාපෘති සම්බන්ධයෙන් ඒ දේ කළ යුතුයි. විශේෂයෙන් ම මියගිය අගමැති අබේගේ කාලසීමාවේ දී ආරම්භ කළ ඒ ව්‍යාපෘති අපේ රටේ කලින් තිබූ රජයෙන් ඉදිරියට ක්‍රියාත්මක කළේ නැහැ. ඒ නිසා මම පිළිගන්නවා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපි හිඟ ගෙවීම් සිදුකළ යුතු බව”.

අනතුරුව ජපාන මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හමුවිය.

එම සාකච්ඡාවේ දී ජපාන මුදල් අමාත්‍යවරයා කරුණු තුනක් ගැන අවධාරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව ජපානයෙන් ලබාගෙන ඇති ණය නැවත ආපසු නිසි පරිදි ගෙවිය යුතු බව සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා ජපානය වියදම් කර ඇති මුදල නැවත ආපසු ගෙවි යුතු බවත් අවධාරණය කළ බවයි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාව විශ්වාසය දිනාගෙන ඇති බැවින් එය කඩාකප්පල් කර නොගෙන දිගටම පවත්වාගෙන යා යුතු යැයි ද ජපාන මුදල් අමාත්‍යවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවේ පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!