spot_img
spot_imgspot_img

අවලෝකිතේශ්වර සම්බන්ධයෙන් උසාවිය නියෝගයක් දෙයි

පුවත්

විදෙස්

නුදුරු දිනයක තමන් බුදුවන බවත්, අව‍ොල්කිතේශ්වර බෝධිසත්වයන් තමන් බවත් කියමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයාට රටින් පිටවීමට නොහැකිවන පරිදි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (12) තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඔහු රටින් පිටවීම වළක්වමින් නියෝගයක් නිකුත්කරන ලෙස ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

කටුනායක ගුවන්තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණි මෙම පුද්ගලයාට ඔහුගේ අනුගාමිකයන් වැඳුම් පිඳුම් කරන ආාකරය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඉන් පසු සුඛෝපභෝගී වාහනයකින් කැලණි විහාරයට පැමිණි පසු විවිධ පුද්ගලයන් සහ සිල්මාතාවන් පවා වැඳ වැටෙන ආකාරය ද ප්‍රචාරය වියි.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කරන්නැයි ඉල්ලා බොද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. ඒ් අනුව, අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන කළ එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්, විමර්ශනවල ප්‍රගතිය ඊයේ (12) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එහි දී විමර්ශන නිලධාරින් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දැක්වීය, 

ස්වාමිනි, ඊජිප්තුවේ වසර 12කට වැඩි කාලයක් රැඳී සිට ඇති අවලෝකිතේශ්වර නාමයෙන් හඳුන්වන මෙම තැනැත්තාගේ සැබෑ නම මහින්ද කොඩිතුවක්කු. මොහු ඉකුත් ජනවාරි 01 වැනිදා දිවයිනට පැමිණ පළමුව කැලණිය රජමහා විහාරයට ගොස් තිබුණා. දැන් තැනින් තැන නිවාසවලට යමින් දේශන පවත්වනවා. මොහුගේ ක්‍රියාකලාපය ගැන පරීක්ෂණයක් කරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව 04ක් පැමිණිලි කර තිබෙනවා. ඒ මතයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේ. ස්වාමිනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම බුදුදහමට ප්‍රමුඛස්ථානය දීලා තියෙන වටපිටාවකයි ජෙරම් සහ මෙවැනි අය බුදුදහමට පහර ගහන්නේ. මොහු පවත්වාගෙන යන YOUTUBE නාලිකාවේ දේශනවල තියෙන්නේ ශරීරයට ගිනි තියාගෙන බුදුන්ට පූජා කරන්න කියලා. ඒක හරියට අර පසුගිය දිනවල එක් පුද්ගලයෙක් සයිනයිඩ් කා සියදිවි නසාගන්න කියා දේශන පැවැත්වුවාට සමානයි. මොවුන් සේරම මානසික රෝගින්. ඒ වගේම ස්වාමිනි මොහුගෙන් නීතිපතිවරයාට පවා පරිස්සම් වෙන්න වෙනවා. මොකද මොහු කියනවා නඩුහබ තියනවානම් අරගෙන එන්න විසඳනවා කියලා. මොහු හිතාගෙන ඉන්නේ තෙවැනි විනිසුරුවෙක් කියලා. මෙම තැනැත්තා බුද්ධ චරිතය තුළ විශේෂ තැනක් හිමි යශෝධරා දේවියට “ඒ ගෑනිගේ කාලකණ්ණිකම” යනුවෙන් පවසා  තිබෙනවා. යශෝධරා  දේවියට මන්ද මානසිකයෙක් කියලාත් කියලා තියෙනවා. කොහොමද ස්වාමිනි මේ වගේ මන්ද මානසිකයෙක් තවත් කෙනෙක්ට මන්ද මානසිකයෙක් කියන්නේ”

අවලෝකිතේෂ්වර නැමැති මෙම නැතැත්තාට ආධාර අනුබල සපයන්නන් සම්බන්ධයෙන්ද දිලීප පිරිස් කරුණු අනාවරණය කළේය.

ස්වාමිනි මොහු තනිකරම රංගන ශිල්පියෙක්. ගමන් කරන්නෙ ලිමොසින් වර්ගයේ මෝටර් රථයක. කැලණිය රජමහා විහාරයේ මොහු එතැන සිටි පිරිසට හඳුන්වාදෙන්නේ බඩල්කුඹුර පොලීසියේ පුන්‍යසිරි නැමැති සාජන්වරයෙක්. එතැන සිටි සිල්මෑණි කෙනෙක් කියනවා  රුපියල් 10,000.00ක් දීලයි ගෙන්වාගත්තේ කියලා. ඒ නිසා ස්වාමිනි මොහුගේ යට ඉන්නේ කවුද කියලා  විමර්ශනය කළ යුතුයි. මොහු සිය දේශනයක කියනවා  තමන්ගේම දුවට අතවර කරලා  අභිනිෂ්ක්‍රමණය වුණා කියලා. එයම ඇති ස්වාමිනි ළමා අපයෝජන චෝදනාව යටතේ මොහු අත්අඩංගුවට ගන්න.”    

ඒ අනුව මෙම පුද්ගලයාට විදෙස්ගමන් තහනමක් පනවන ලෙසත්, ඔහුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවසර දෙන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහෙස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා තිබුණි.

ඊට අවසර දුන් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ, ලබන 17 වනදා විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!