spot_img
spot_imgspot_img

ගාලු අධිකරණය නීති විරෝධී කැණීම් කරයි. පුරාවිද්‍යාවට නීතියක් නෑ

පුවත්

විදෙස්

ගාල්ල අධිකරණයේ ලේඛකාධිකාරීගේ ඉල්ලීමක් මත ලෝක උරුම ගාල්ල කොටුවේ පිහිටි ගල කඩා පොළොව හාරා තිබේ.

1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත සහ 1998 අංක 21 දරණ පුරාවස්තු සංශෝධන පනත අනුව පුරාවිද්‍යා භූමියක හෝ එහි ප්‍රේරණ කලාපය තුළ මෙවැනි හෑරීමක් සිදුකරන්නේ නම් එය කළ හැකි වන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරයක් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පමණි.

නමුත් ගාල්ල මහාධිකරණය සහ ගාලු කොටුවේ පළමුවෙන් ම ඉදිකරන ලද බව කියන පෘතුගීසි බළකොටුව හෙවත් කළු කොටුව අතර වැසිකිළි වළක් ඉදිකිරීමට බව පවසමින් එම ස්ථානයේ ඇති පිහිටි කල යන්ත්‍ර සූත්‍ර යොදා කඩා දමා තිබේ. එම වළ හරා ගාල්ල කොටුව ඉදිකර ඇති පිහිටි ගලෙහි කොටසක් කඩා ඉවත්කළ පසුගිය සෙනසුරාදා (06) සහ ඉරිදා (07) එම කාර්යය අධීක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියකු සම්බන්ධ වී සිටියේ නැත.

ඒ අනුව මෙය නීති විරෝධී කැණීමක් වන අතර ඇප ලබාදීමට නොහැකි වරදක් ද වේ. පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව මෙම කැණීම් කළ පුද්ගලයන් එම උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.

එසේ වුව ද මෙම නීති විරෝධී කැණීම සිදුකර ඇත්තේ යුක්තිය ඉටුකිරීමට කටයුතු කිරීමේ වගකීම පැවරෙන ගාල්ල අධිකරණය විසින් වීම විශේෂත්වයකි.

කළකට ඉහත, ගාල්ල වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය පවා අතහැර දමන ලද්දේ ගාලු කොටු බැම්මට එයින් හානිවනු ඇතැයි ලැබුණු නිර්දේශ හේතුවෙනි.  එසේ වුව ද ගාල්ල පැරණි පෘතුගීසි පල්ලිය අසළම මෙම කැණීම සිදුකර පිහිටි ගලට හානිකර එහි කොටස් ඉවත්කර ඇති අතර එයින් පෘතුගීසි කොටුවට ද හානි සිදුවන්නට ඇතැයි පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විද්වත්හු කියති.

මෙම ගල කෑඩූ ස්ථානයේ පෘතුගීසි කොටුව ඇතුළේ ගාල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පිහිටා ඇති අතර එම නීති විරෝධී කැණීම සිදුවන අවස්ථාවේ දී නිකුත් වූ අධික ශබ්දය එම කාර්යාලයට ඇසෙන්නට ඇත. නමුත් ලෝක උරුම ගාලු කොටුවේ ගල් කඩා ඉවත් කළ ද පොලිසිය ද එය නොදැක්කා සේ සිට තිබේ.

මීට පෙර ගාල්ල කොටුවේ පිහිටි තම නිවසේ වැසිකිළි වළක් හෑරූ තරුණයකු මාස කිහිපයක් බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳ අප කළ විමසීමක දී එම දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂ වසන්තා අලහකෝන් කියා සිටියේ මෙම වැසිකිළි වළ ඉදිකිරීම සඳහා අධිකරණයේ ලේඛකාධිකාරී විසින් අවසර ඉල්ලූ බැවින් අවසර ලබාදුන් බවයි.

නමුත් මෙය නීති විරෝධී කාර්යයක් නොවේදැයි විමසූ විට ඇය කියා සිටියේ එම වැසිකිළි වළ දැන් ඉදිකර අවසන් බවයි. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සිදුනොවන්නේ මන්ද යනුවෙන් විමසූ විට ඇය කියා සිටියේ ඒ ගැන සොයා බලන බවයි.

මේ අතර ගාල්ල කොටුවේ පොදු වැසිකිළියක් ඉදිකිරීම සඳහා වළක් හෑරීමට ගාලු උරුමය පදනම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මාස ගණනක් තිස්සේ අවසර ඉල්ලා ඇති අතර මෙම සතියේ ඊට අවසර ලැබී තිබේ. එහෙත් ඒ අවසරය ලැබී ඇත්තේ කැණීම සිදුකරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් බැවින් ඒ සඳහා අදාළ ඇස්තමේන්තු ඉදිරිපත් කළ පසු ඊට අදාළ ගෙවීම් කළ යුතු බව ද සඳහන් කරමිනි.

ඒ අනුව පැහැදිළි වන්නේ ගාල්ල කොටුවේ වැසිකිළි වළක් ඉදිකිරීමේ දී ඊට අදාළ කැණීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරන බවයි.

මෙයින් පැහැදිළි වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තම අණ පනත් සහ නීති රීති විවිධ අවස්ථාවල දී වෙනස් කරන බවයි. ගාලු උරුමය පදනමට වැසිකිළි වළක් හෑරීමට නම් එම කැණීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළ යුතුයැයි පවසන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගාල්ල අධිකරණයට හිතුමතයේ ගාලු කොටුවේ වළවල් හාරා පිහිටි ගලේ කොටස් කඩා ඉවත්කිරීමට අවසර දී ඇත්තේ තම අධීක්ෂණයකින් ද තොරවය.

මේ පිළිබඳ විස්තර දැනගැනීමට ගාලු උරුමය පදනමට කතා කළ විට එහි කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ එවැනි වැසිකිළි වළක් ඉදිකිරීම පිළිබඳ තම ආයතනය කිසිවක් නොදන්නා බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසීමට ගාලු උරුමය පදනමේ සභාපති ආචාර්ය නිලාන් කුරේ මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත වී ඇත. ඔහු කාර්යාලයේ ද සිටින් නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!