spot_img
spot_imgspot_img

කෙහෙළිය සමඟ නිරුවත් වූ රහස් පොලිසිය

පුවත්

විදෙස්

“ ඇමැති කිව්වා මං කළා ” යැයි ප්‍රමතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජිවිත අනාරක්ෂිත කත්වයකට පත් කිරීමේ සිද්ධියේ පළමු සැකකාර, ‘ අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුගේ නීතිඥ ජාලිය සමරසිංහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝවනි අබේවික්‍රම වීරසිංහ හමුවේ ඊයේ (27) කී‍වේය.

මෙම සිද්ධියට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඇති සම්බන්ධතාව ඖෂධ ගෙන් වූ සමාගමේ හිමිකරු රහස් පොලිසියට කීවත් ඔවුන් ඒ පිළිබඳ සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කළ බව නීතිඥ ජාලිය සමරසිංහ කළ දැනුම් දීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුගෙන් ප්‍රශ්න කර බන්ධනාගාරය තුළදී සවිස්තරාත්මක ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රහස් පොලිසියට නියම කළාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ කැඳවීම මත රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීම දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මින් ඉදිරියට මෙම සිද්ධියට අදාළව යම් පුද්ගලයකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීම පිළිබඳව සැලකිලිමත් වන ලෙස රහස් පොලිසියට දැනුම් දුන්නාය.

සිද්ධිය සම්බන්ධයෙන් පැය 05ක පමණ කාලයක් පුරා දෙපාර්ශවයේ නීතිඥවරුන් දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය සැකකකරුවන් ලබන වසරේ ජනවාරි මස 10 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් කළ අතර සැකකරුවන්ට ඇප නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නාය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටි බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේටර් බයෝටෙක් සාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්කිනි සොලමන්, ගණකාධිකාරී ( සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර සහ සෞඛ්‍ය අමාශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන අයවලුන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, මෙම සිද්ධියේ දෙවැනි සැකකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යය වෛද්‍ය කපිල වික්‍රමනායක රෝගාතූරව කොළඹ ජාතික රෝහලේ 80 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වෛද්‍ය වාර්තාවක්ද ගොනු කරමින් බන්ධනාගාර අධිකාරිවරයා විසින් දැනුම් දෙන ලදී.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ඉමියුනෝලෝබියුලින් නමැති මානව ප්‍රතිදේහ එන්නත ප්‍රමිතියෙන් තොරව ආනයනය කර දිවයිනේ රජයේ රෝහල් වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් අල්ලස් දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකමුතුව කළ පැමිණිල්ලත් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් සොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී

සිද්ධියට අදාළව කළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 07 කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත සමඟ පෙනී සිටි උපපොලිස් පරීක්ෂක යාළේවන්න අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසිය සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම කරුණු දක්වමින් එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට තවත් කැබිනට් සංදේශ තුනක් ඉදිරිපත් කර ඇති බවත්, එම සංදේශ 06 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංගයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ගේ අවධානයට ලත් කර ඇති බවත් කියමින් කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාන්වරිය අදාළ සියලු අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඇමුණුම හා තීරණ රහස් පොලිසියට බාර දීමට අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට නියම කළාය

අයුසුලේට් ‍ බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දුට අයත් සීදුවේ පිහිටි පරීක්ෂණාගාරය පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළ නියෝගයකට අනුව එම ස්ථානය පරික්ෂා කිරීමට අධිකරණය නියම කර තිබුණත් පසු ගිය කාලයේ තිබූ තත්වය අනුව එම ස්ථානය පරීක්ෂා කිරීමට නොහැකි වූ බව දැනුම් දෙමින් ලක්මිණි ගිරිහාගම කළ ඉල්ලීමකට අනුමැතිය දුන් මහෙස්ත්‍රාක්වරිය අද (28) සිට ලවන 09 වැනිදා දක්වා කාලය තුළ අදාළ ස්ථානය යළි පරීක්ෂා කිරීමට ද ඒ සඳහා අවශ්‍ය සහාය ගැනීම සඳහා සැකකරු එම ස්ථානයට ඉදිරිපත් කිරීමට ද නියම කළාය.

රෝගීන්ට එන්නත් ගෙන ඒමට දුන් අවසරය ප්‍රයෝජනයට ගෙන සැකකරු ජලය පිරිසුදු කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මෙරටට ආනයනය කර ඇතැයි ද, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙම භාණ්ඩ සැකකරුට මුදාහැරියේ කෙසේද යන්න හෙළි කර ගැනීම සඳහා කරන විමර්ශනය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් ගැනීමට ද අවසර දුන් නමුත් ඔහු මෙතෙක් ප්‍රකාශයක් දී නැතැයි කියමින් කළ ඉල්ලීමකට අවසර දුන් මහේස්ත්‍රාක්වරිය ලබන මස 08 වැනිදාට පෙර ඒ පිළිබඳ හෙළිකර ගැනීම සඳහා රහස් පොලිසියට ප්‍රකාශයක් දීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කළාය.

ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ඉමියුනෝග්ලෝබියුලින්  එන්නත් ප්‍රමිතියෙන් තොරව රජයේ රෝහල් වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී ගුද මාර්ගයේ, මහ බඩවැලේ, පියයුරු, පෙනහලු,, ආමාශය ආශ්‍රිත පිළිකා රෝගීන් සඳහා මෙන්ම ඇසේ දෘෂ්ටි විතානය පැහැදිළි කිරීම සඳහා භාවිතා කරන ඖෂධ, රුධිරය කැටි ගැසීමේ රෝගීන්ට දෙනු ලබන ඖෂධ ශ්‍රී ලංකාවට ගෙන්වීමට වෛද්‍ය සැපයුම් ඒකකය විසින් පළමු සැකකරුට ඇණවුමක් නිකුත්කර ඇතැයි ද ලක්මිණි ගිරිහාගම කීවාය.

මෙම සිද්ධියේ 06 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාට ලිපියක් නිකුත් කරමින් තෝරාගත් සැපයුම්කරුවන්ට ඇණවුම් නිකුත් කිරීමට කළ දැනුම් දීමෙන් පසු මෙම ව්‍යසනකාරි තත්වය උද්ගතව ඇතැයි ද කීවාය

ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගැයුම් කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය ජයනාත් බුත්පිටියගෙන් ප්‍රකාශයක් යත් බවත්, ලේඛන පරික්ෂා කිරීමට අවශ්‍ය බවට ඔහු කළ දැනුම් දිමකට අනුව එම ලේඛන පරීක්ෂා කර බලා වැඩිදුර ප්‍රකාශයක් ගැනීමට නියමිතව සිටිය දී සෞඛ්‍ය අමාත්‍යසයේ ලේකම්වරයාගේ අවසරය මත පෞද්ගලික සංචාරයක් සඳහා ඔහු විදේශගත වී ඇති බවත් ලක්මිණි ගිරිහාගම සඳහන් කළාය.

ඔහු යළි ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කරන්නැයි ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරිය ඔහුට රටින් පිටවීම තහනම් කරමින් විදේශ ගමන් තහනමක් පනවා තිබුණා නේදැයි කළ විමසීමකට පිළිතුරු දුන් ලක්මිණි ගිරිහාගම ඒ වන විටක් ඔහු විදේශගත වී තිබුණේ යැයි ද අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගැයුම් කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය සුදර්ශන ඊට පෙර විදේශගත වී ඇතැයි ද කීඩාය.

එම අවස්ථාවේදී අධිකරණය ඇමතු මහේස්ත්‍රාත්වරිය මෙම කටයුත්තට මැදිහත් විමට අධිකරණයට අවශ්‍යතාවක් නැතැයිද ඔහු යළි ගෙන්වා ගැනීමට ආයතන සංග්‍රහය යටතේ කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙන්නැයි ද සඳහන් කළාය. ඔහු අවශ්‍ය සියවර නොගතහොත් ඒ අවස්ථාවේ දී අවශ්‍ය නියෝග දීමට හැකියාවක් ඇතැයි ඔහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය

පළමු සැකකාර අයුසුලේට බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තාගේ ගිණුමට ලැබුණු රුපියල් ලක්ෂ 1444ක මුදල වහාම යළි ලබාගැනීම සම්බන්ධයෙන් රහස් පොලිසියේ නීති වීරෝධී වත්කම් විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර ඇතැයි කියමින් ලක්මිණි ගිරිහාගම කළ ඉල්ලීමකට අනුව ලබන 09 වැනිදාට පෙර එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දීමට රහස් පොලිසියේ නීති වීරෝධී වත්කම් වීමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියම කළාය.

මෙම සිද්ධියට අදාළව ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් දීමට අවශ්‍ය බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය 25 වැනිදා ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගත්තේ යැයි ද, ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර අමාක්‍ය මණ්ඩල සංදේශ පිළිබඳ ප්‍රශ්න කළ විට එම අමාත්‍ය මණ්ඩල සංදේශ ඔහු සතුව නොතිබුණේ යැයිද ලක්මිණි ගිරිහාගම කීවා ය.

එහෙයින් ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණ කිරීමට නොහැකි වුයේ යැයිද කී ලක්මිණි ගිරිහාගම අදාළ ප්‍රකාශ සංක්ෂිප්ත වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළාය.

අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කාර්යාලයේ ඇති බව සඳහන් වූ බව කියමින් කළ ඉල්ලීමකට අනුව අදාළ සියලු අමාන්‍ය මණ්ඩල සංදේශ රහස් පොලිසියේ උපපොලිස් පරීක්ෂක ලක්සිරිට භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය ලේකම්වරයාට නියම කළාය.

ප්‍රශ්නගත ඖෂධ 182ක් සැපයීම සඳහා සැපයුම්කරුවන් තෝරාගෙන ඇත්තේ ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය (ඩබ්ලිව්. ඕ. ආර්.) සහතිකය දීමට යටත්ව යැයිද ඖෂධ සැපයූ සෙසු සැපයුම්කරුවන්ගෙන් ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය ලබාගෙන ඇති නමුත් පළමු සැකකරුගෙන් එම සහතිකය ගෙන නැතැයි විමර්ශන වලදී හෙළි වී ඇතැයි ලක්මිණි ගිරිහාගම කීවාය.

මහේස්ත්‍රාත් ලෝවනි අබේවික්‍රම වීරසිංහ – 02 සිට 05 දක්වා වූ සැකකරුවන් පවසා ඇත්තේ ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය සත්‍ය ලේඛන වශයෙන් ඔවුන් පිළිගන්නා බව නේද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම – ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය බාරගෙන ඇත්තේ කෙසේද යන්න ඖෂධ නියාමන අධිකාරියේ වාර්තාව සමඟ සසඳා බැලිය යුතුයි. මීගමුව අධිකරණයෙන් ගත් සෝදිසි වරෙන්තුවකට අනුව පළමු සැකකරුට අයත් ඖෂධ නිෂ්පාදනාගාරය පරීක්ෂා කර බැලූ නිලධාරීන් එම ස්ථානය ජීවානුහරණය කර හෝ ඖෂධ නිෂ්පාදනයට සුදුසු නොවන බව වාර්තා කර තියෙනවා එසේ තිබියදී අනුමැතිය දීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඉල්ලීමක් කර තියෙනවා.

මහේස්ත්‍රාත් ලෝවනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශය දෙමින් පළමු සැකකරු සැපයු එන්නත්වල සංකූලතා ඇති බව ඔහුගේ සම්බන්ධිකරණ නිලධාරිවරයා හෙළි කර ගැනීමෙන් පසු පැවැත්වූ කමිටු රැස්වීම් වල දී අවස්ථා කිහිපයකදීම ඒ බව හෙළි කළ බව සඳහන් කර තියෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය- එසේ තිබියදී වෛද්‍ය සැපයුම් අංශය පළමු සැකකරුට ගෙවීම කිරීමට සුදානම් වීම නිසා අදාළ ගෙවීම් වහාම නැවැත්වීමට ලිපි 03ක් නිකුත් කළ බවත් ඉන් පසු පළමු සැකකරු ඔහුට තර්ජනාත්මක ලිපියක් එවමින් මගේ සෙවීම නැවැත්වීමට ඔබට හැකියාව නැති බවත් සඳහන් කර තියෙනවා

මහේස්ත්‍රාහ් ලෝවනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය – ඇමැතිවරයා ස්වේඡාවෙන් දුන් ප්‍රකාශය අනුව පෙනී යන්නේ මෙම ඖෂධ සිද්ධිය පිළිබඳ ඔහුගේ දැනුවත් භාවයක් තිබූ බව නේද?

ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා – ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හෝ වෙනත් ක්‍රම වේදයක් යටතේ පළමු සැකකරුට ගෙවීම් කරන ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලෙස අත්සන් කර කැබිනට එකට දැනුම් දී තියෙනවා. මෙම සිද්ධිය පිළිබඳව අල්ලස දුෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකමුතුව පැමිණිලි කර තියෙන්නේ ඔක්තෝබර් මස 02 වැනිදා ඉන්පසු ඔක්තෝබර් මස 13 වැනි දා ඇමතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීවරයා පැමිණිලි කර තියෙන්නේ. මෙය කළේ කවුරු වුණත් මුදල් හොරා කැමේ කුමන්ත්‍රණය මෙය තමයි. මේ පිළිබඳ සොයා බැලිය යුතුයි”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම – රුපියල් බිලියනයකට තමයි සැකකරුට ටෙන්ඩරය දී ඇත්තේ නමුත් ඔහුට අවශ්‍ය කුප්පි සොයා ගැනීමට නොහැකිවීම නිසා මෙය මේ ගණනින් නැවතුණේ කුප්පි සොයා ගැනීමට හැකිවුණා නම් රුපියල් බිලියනයක්ම නැති වෙනවා ඒ සෑම රුපියලක්ම සෙවීමට සිදුවෙන්නේ මේ රටේ බදු ගෙවන අහිංසක මහජනතාවටයි. හදිසි ඖෂධ අවශ්‍යතාවක් කියා ඖෂධ ගෙන්වුවක් එම ඖධම ලැබී ඇත්තේ මාස 05කට පසුවයි.

දෙවැනි සැකකාර වෛද්‍ය කපිල වික්‍රමනායක වෙනුවෙන් නීතිඥ රිස්වාන් උවයිස් සහ අංජන රත්නසිරි සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම. එම සුහයිර් සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය පරික්ෂා නොකිරීම තම සේවාදායකයාට ඇති චෝදනාව යැයි කීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇති අවිධිමත් ක්‍රියාකලාපය නිසා මේ තත්වය උද්ගතව ඇති බවත් තම සේවාදායකයා මෙම අපරාධයට කිසිදු සම්බන්ධයක් නැති බවත් කී නීතිඥ අංජන රත්නසිරි ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලීමක්ද කළේය.

තුන්වැනි සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් ලියාපදිංවිය අත්හැරීමේ සහතිකය නිකුත් කරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිවකුත් මෙහි සැකකරුවන් වශයෙන් නම් කර නැතැයි කීහ.

මහේස්ත්‍රාත් ලෝටනි අබේවික්‍රම වීරසිංහ- පළමු සැකකරු පවසා ඇත්තේ කිසිම අවස්ථාවක ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය නිකුත් කර නැති බවයි. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිවකුත් මෙහි සැතකරුවන් විය යුතු නැහැ.

පස්වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අශෝක සේරසිංහ කරුණු දක්වමින් කැටිනට් පත්‍රිකා හදන්න කියා කීවේ තම සේවාදායකයාදැයි ප්‍රශ්න කළ අතර, මේ නඩුවට අල්ලන්නේ පොඩි උන් විතරද? ලොකු උන් අල්ලන්නේ නැද්දැ යි විමසිය

ලොකු උන්ගේ ගෙවල වලට ගිහින් පොලිසිය කට උත්තර ලියා ගන්නවා. නීතිය කාටක් එක හා සමාන විය යුතු යැයි කී නීතිඥ අශෝක සේරසිංහ වැඩ්ඩෝ ටික එළියේ පොඩ්ඩෝ ටික ඇතුලේ යැයි කීය.

පළමුවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කරුණු දක්වමින්, “මුදල ගෙවීමට එජා කියා ඇමැතිගේ ලියුම එන විට මුදල් ගෙවලා ඉවරයි. ඇමැති ඒකෙන් බෙරිලා. ඇමැති බේරන්න දැන් විවිධ දේවල් කරනවා” යැයි කීය.

ඇමැතිවරයා හරිම වාසනාවන්තයි. ඇමැතිගේ ගෙදරට ගිහින් කට උත්තර ගන්නවා. අපිව පාරේදී අල්ලා ගන්නවා. රහස් පොලිසිය ඇමැතිට සුදුහුණු ගාලා, අපිව රිමාන්ඩ් කරනවා. අද හෙටම ඇමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් නඩුවක් දාලා හරි රිට පෙත්සමක් දාලා හරි මෙම උපාවියට එන එක නවත්වා ගනීවි යැයි කී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පහත් තැනින් යයි ගලා ජලේ යැයි කීය.

පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ කරුණු දක්වමින් මෙම සිද්ධියට ඇමැතිවරයා සම්බන්ධ බව මුල් අවස්ථාවේදීම තම සේවාදායකයා කීවත් ඔවුන් එය ලියා ගැනීම ප්‍රතික්ෂේප කළේ යැයි කීය.

මහේස්ත්‍රාත් ලෝවනි අබේවික්‍රම වීරසිංහ – අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් පළමු සැකකරුව අධිකරණව ප්‍රකාශයක් දීමට හැකියාව තියෙනවා. නැත්නම් රහස් පොලිසියට වැඩිදුර ප්‍රකාශයක් දීමට හැකියාව තියෙනවා.

මේ අවස්ථාවේදී සැකකරු ඇමතු ඔහේස්ත්‍රාත් ලෝවනි අබේ වික්‍රම වීරසිංහ ප්‍රකාශයක් දීමට කැමතිදැයි වීමසූ අතර, ඊට ‘ ඔව් යනුවෙන් පිළිතුරු දුන් පළමු සැකකරු රහස් පොලිසියට ප්‍රකාශයක් දීමට කැමැති යැයි කිවේය.

නීතිඥ ජාලිය සමරසිංහ – මාව ඇල්ලුවේ කූඨ ලේඛන හැදුවා කියලා දැන් කූඪ ලේඛන නැහැ. මට විරුද්ධව ඉදිරිපත් කර ඇත්තේ බොරු චෝදහායි. ඇමැතිවරයකුට තර්ජනය කරලා අතක් පයක් කඩා ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියා දන්නේ දැනුයි

මහේස්ත්‍රාහ් ලෝවනි අබේවික්‍රම වීරසිංහ – මේ සිද්ධිය සම්බන්ධයෙන් කවුරු මොනවා කිව්වත් රහස් පොලිසිය හරියට විමර්ශනය කරයි කියා අධිකරණය හිතනවා.

නීතීඥ ජාලිය සමරසිංහ – මගෙන් හෙට ප්‍රකාශ ගනිද්දී, කවුද කිව්වේ? කොච්චර සල්ලි ගත්තද? මේ ඔකෝම සස නියන්නම්.

මහේස්ත්‍රාත් ලෝවනි අබේවික්‍රම වීරසිංහ – රජයේ මුදල් පිළිබඳව කොච්චර සහනශීලීව හිතන්නේ ?

නීතිඥ ජාලිය සමරසිංහ මහතා – ඔව් කෙහෙළිය තමයි කිව්වේ. මං කළා, විමර්ශන වලට  බාටා කරන්නේ නැහැ. මොකද බාල ඖෂධ පැපයීම සම්බන්ධයෙන් දඩය රුපියල් 100/-  මට විරුද්ධව නඩු දැම්මොත් මේ දඩ ගෙවල මම යන්නම්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම – මේ ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව රුපියල් මිලියන 1,444යි. මෙය පොදු දේපළ පනත යටතේ චෝදනාවක් ඊට වැරැදිකරු වුණොත් පාඩුව වගේ තුන් ගුණයක දඩයක් ගෙවිය යුතුව

නීතීඥ ජාලිය සමරසිංහ – ප්‍රශ්නයක් නැහැ. මට නඩුවක් දාන්න. මං ළඟ මුදල් තියෙනවා. රුපියල් ලක්ෂ 50ක් ම. ගෙවන්නම් මගේ රසායනාගාරය විතරක් රුපියල් කෝටි 1000ක් වටිනවා. කෙහෙළියගෙන් ප්‍රකාශ ගන්න විට ඔහුගේ දෙපැත්තේ නීතිඥවරුන් දෙදෙනෙකු සිටියා. ඔගේ සේවාදායකටත් ඒ වරප්‍රසාදය දෙන්න.

මහේස්ත්‍රාත් ලෝටනි අබේවික්‍රම වීරසිංහ – එය අධිකරණයේ කටයුත්තක් නෙමේ. ඔහුගේ ප්‍රකාශය බාර ගන්නවාද කියාවන් අධිකරණය තීරණය කර නැහැ

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාවරිය සැකකරුවන් ලබන මස 10 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ අතර, සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය.

(ලංකාදීප – මාණ්ඩලික වාර්තාකරු මනොප්‍රිය ගුණසේකර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!