spot_img
spot_img
spot_imgspot_img

බිහිසුණු මතකයක් ඉතිරි කළ, “සුනාමි”

පුවත්

විදෙස්

“මගේ පුතා බේරිලා ඇති කියල තිබුණු විශ්වාසයට මම අවුරුදු ගාණක් ලංකාව පුරාම ඇවිද්දා. සුනාමිය ඇවිත් අපේ සියල්ල විනාශ කරපු දවස්වල මම ගෙදරින් එළියට බැහැලා යනවා. පුතාව හොයාගෙන හම්බන්තොට, පානම, අම්පාර ත්‍රිකුණාමලය, පුත්තලම, මහනුවර අනුරාධපුරය හැමතැනම ඇවිදිනවා. අවුරුදු 10කට විතර පස්සේ තමයි මේ ගමන් නැවැත්තුවේ. මට සියලු සේසත ම නැති වුණා. මගේ බිරිඳගෙයි පුතාගෙයි මළ සිරුරයි හොයාගන්නවත් බැරි වුණා. මම අදටත් තනියම ජීවත් වෙනවා.”

ගාල්ලේ වෙරළ ආසන්නයේ ජීවත් වන වැඩිහිටියකු අප සමඟ කියන්නේ තවමත් සුසුම් හෙළමිනි. මම ඔහු හොඳින්ම දනිමි. ඔහු සුනාමිය ගැන මතක්කරනවාටවත් කැමති නැත. තමන්ගේ නම ගම විස්තර හෝ කියන්නට ඔහු කැමති නැත.

නමුත් අපි තවමත් වසරකට වරක් සුනාමි සමරන්නෙමු.

වෙරළබඩ ජීවත්වන මිනිසුන්ට මුහුද යනු අමුතු ආගන්තු දෙයක් නොවේ. ඔවුන්ගේ ජිවිතය ගොඩනැගෙන්නේ මුහුද සමඟ ‍බද්ධ වෙමිනි.

හැමදාමත් මහ මුහුදට ආදරය කළ මිනිසුට, සෑම අවස්ථාවක දී ම සොඳුරු දසුනක් මවා පෑ මහ මුහුද ගම් බිම් යටකරමින් ජීවිත දහස් ගණනක් මොහ‍ොතකින් බිලිගනිමින් බිහිසුණු වනු ඇතැයි කිසිවෙකු කිසිදා සිතුවේ නැත.

එහෙත් අදින් හරියටම වරස 19 කට පෙර දෙසැම්බර් 26 වැනි දා ඒ නොසිතූ නොපැතූ මහා විනාශය සිදුවිය.

ගාල්ල මාතර පාරට විටින් විට මුහුදු රළ ගැසීම ගාල්ලේ පදිංචි බොහෝ දෙනකුට සාමාන්‍ය දෙයකි. එදා මුලින්ම ආ පණිවිඩය වූයේ මුහුද ගොඩට ගහනවා යනුවෙනි. එයට කිසිවෙකුත් කලබල වන්නේ නැත. නමුත් තත්පර කිහිපයකින් මහ මහුදු සියල්ල යට කරමින් ගොඩබිම විනාශ කරමින් ඇදී යද්දී සිය දහස් ගණනක් ජනතාව හිස් ලූලූ අත දිව ගියහ.

බොහෝ දෙනකු ප්‍රමාද වැඩිය. තමන්ගේ ප්‍රාණය හා සම වූ දරුවන් බේරාගැනීමට ගිය බොහෝ දෙනකුටත්, වටිනා දෑ රැගෙන යාමට සැරසුණු බොහෝ දෙනකුටත් මොහොතකින් දිවි අහිමිවිය.

දකුණේ ජනතාව මෙතෙක් අත්විඳි දරුණුතම ස්වභාවික විපතේ බිහිසුණු බව අවබෝධ වූයේ ඒ නිමේෂයේ දී ය. ගාල්ලේ බස් නැවතුම්පොළ තිබූ ස්ථානයක් පෙනෙන්නට නැත. සෙල්ම් භාණ්ඩ ගොඩක් සේ ඒ මේ අත පෙරළා දැමූ බස් රථ සහ වෙනත් මෝටර් රථ රාශියක් ඒ ස්ථානයේ තිබේ. ඒ සෑම රථයක් තුළින්මේ අනේ මාව බේරාගන්න යැයි කිියමින් හයින් කෑ ගසන හඬ ඇසේ. බස් නැවතුමත්, දුම්රිය නැවතුමත් අතරින් ගලා යන ඇලේ ද බස් රථ කිහිපයක් පාවෙමින් තිබේ. සිදු වූයේ කුමක් දැයි වටහාගත නොහැකි වූ කිහිප දෙනෙක් විපතට පත්වූවන්ට උදව් කරති.

එදා ගාල්ල පොලිස් ස්ථානය අසළ දී මෙම ලේඛකයාට හමුවූ  ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙන්ඩිස් එදා මෙසේ කීවේය. අද ‍ඔහු පොලිස් සේවාවේ නැත.

“වැලිගමට මුහුදු වතුර ආවා කියලා මගේ දුරකථනයට ඇමතුමක් ආවා. කෝල් එක අරගෙන පහළට බහින්න ලැබුණේ නැහැ. මහා වතුර පාරක් ආවා. මම හිතන්නේ ලංකාවේ ගොඩක් ප්‍රදේශ හානි වෙලා ඇති. මේ විදියට මුහුද ගොඩ ගැලුවේ ඇයි ද කියා තවම දන්නේ නෑ.”

තැපැල් කාර්යාලයේ සේවකයකු අප සමඟ කීවේ වතුර ආපසු යනවිට ‌ගොඩක් අය මුහුදට ගසාගෙන යනු තමන් දුටු බවයි.

ලංකාවේ ප්‍රදේශ රාශියක් මෙලෙස විනාශ වී ඇති බවත් මුහුදේ සිදුවූ භූමිකම්පාක් නිසා මෙම මුහුදු ගොඩගැලීම වූ බවත් ලංකාව ඇතුළු රටවල් ගණනාවකට එය බලපා ඇති බවත් මෙය සුනාමි තත්ත්වයක් ලෙස හඳුන්වන බවත් ඉන් පැය කිහිපයකට පසු මාධ්‍ය මගින් ප්‍රචාරය වන්නට විය.

මෙම ලේඛකයාගේ පියා විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි. ඔහු දෙසැම්බර් 26 වැනි දා සෙනරත් පරණවිතාන මහතාගේ ගුණ සමුරුවට සහභාගී වීම සඳහා ගාල්ල මුහුදු වෙරළ ආසන්නයේ පරණවිතාන පිළිරුව අසළ සිටියේය. ඔහු සුනාමි රළ පහරට ගසාගෙන ගොස් දිවි බේරාගත්තේ කොටුව අසළ ඇති තල්ගසක එල්ලීගෙනය. අද ඔහු ජීවතුන් අතර නැත. එදා 65 වැනි වියේ පසු වූ ඩබ්.ජී.විජේවර නම් ඔහු කීවේ මෙවැනි කතාවකි.

“මම ඒ වතුර පාරත් එක්කම උඩ විසිවුණා. කෙටු තාප්පේ උඩ තණකොළ පවා පෙනෙන මට්ටම මාව විසිවුණා. මම දන්නේ නැහැ මොනවා වුණා ද කියලා. එක පාරටම මාව බිමට වැටෙනවාත් එක්කම තවත් වතුර පාරකට අහුවෙලා මාව වේගනේ කොටු දොරකොඩ පැත්තට ගසාගෙන යන්න පටන්ගත්තා. එතකොට හැමතැනම වතුර. ගාල්ලේ පිට්ටනියත් සම්පූර්ණයෙන් ම වතුරෙන් යටවෙලා තිබුණා. මට හිතුණා ලෝක විනාශය වෙනවා කියලා. පීනලා පුරුද්දක් තිබුණු නිසා මම වතුරේ නොගිලී ගසාගෙන ගියා. ඒ එක්කම ලොකු පොලිතීන් පාර්සලයක් වගේ දෙයක් වේගයෙන් මගේ දෙසට ආවා. මම ඒක අමාරුවෙන් අල්ලා ගත්තා. මම හිතුවේ වතුර පාරට මාව මුහුදට ගසාගෙන ගියත් ඒකේ එල්ලිලා ඉන්න පුළුවන් වේවි කියලා. මේ වෙනකොට මට පේන්නේ කොටු තාප්පයත් ධර්මපාල උද්‍යානයේ ගස් ටිකත් නගරයේ ගොඩනැගිලි කිහිපයකුත් විතරයි. බැලූ බැලූ හැම පැත්තෙම පෙන්නේ මහා ජල කඳක්. හැමදේම ජලයෙන් යටවෙලා.  ගඳ ගහන බොරපාට වතුර. මම අර පාර්සලයත් අල්ලගෙන කොටු තාප්පය පැත්තට පීනුවා. සමනල පාලම පැත්තෙනුත් වරාය පැත්තෙනුත් වතුර ආපු නිසා කොටුව ඉස්සරහා තටාකයක් වගේ හැදිලා. මම කොටු දොරකොඩ ළඟ තියෙන තල් ගහක් අල්ල ගත්තා. වතුර පාර සැර වැඩියි. මම ගසාගෙන යන්න හදනවා. එක අතකින් අර පාර්සලය අල්ලගෙන අනෙක් අතින් තල් ගහේ ඉති බදාගත්තා. ඒවයේ කටු වලට මගේ අත තුවාල වුණා. ඒත් මැරෙණවට වඩා තුවාල හොඳයි කියා හිටියා.”

එදා ඔහු සමඟ පරණවිතාන ගුණානුස්මරණ වැඩසටහනට සහභාගී වූ වැඩි දෙනකුගේ මළ සිරුරු හෝ සොයාගත නොහැකි විය. ඒ අතර මහාචාර්ය පරණවිතානගෙග් මුණුපුරකු ද විය.

පැය කිහිපයකින් කරාපිටිය ශික්ෂණ රෝහල මියගිය අයගේ මළ සිරුරු දහස් ගණනකින් පිරී ගියේය. කරාපිටිය රෝහල පමණක් නොව දකුණේ පිහිටි කුඩා ග්‍රාමීය රෝහල්වල පවා මළ සිරුරු ගොඩ ගැසෙන්නට විය. අනතුරට පත්වූ තම දරු මුණුපුරන්, සැමියා බිරිඳ මව පියා සොයාගෙන පැමිණෙන දහස් ගණන් ජනතාවගෙන් රෝහල් සහ වෙරළබඩ ප්‍රදේශ පිරීයද්දී සෑම තැනින් ම ඇසුණේ ලතෝනියක් පමණි.

ගැහැණු පිරිමි බේදයක්, උස් මිටි පහත් බේදයක්, ජාති ආගම් කුල ගොත් බේද කිසිවක් නොමැතිව සියලු මළ සිරුරු රෝහල්වල ඉඩ ඇති සෑම තැනකම ගොඩගසා ඇත. වරින් වර වෙරළට ගොඩගසන මළ සිරුරු ද, සුන්බුන් අතරින් සොයාගන්නා මළ සිරුරු ද තැන තැන තිබේ. මිය ගිය කුඩා ළමයින් සිය ගණනකගේ ද සිරුරු ඒ අතර තිබේ. සියලු දෙනා මේ දෙස බලන්නේ හැඬූ කඳුළිණි.

සෑම තැන ම අවිනිශ්චිත බව පමණි. විනාඩි කිහිපයකින් වෙරළබඩ සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සියලු දෑ අමි වී ඇත.

ශ්‍රී ලංකාවේ අවමංගල්‍ය චාරිත්‍ර අනුව සෑම මරණයක් වෙනුවෙන් ම ගෞරවාන්විතව සැළකීම පුරුද්දක් වුව ද අවසානයේ ඒ කිසිවක් සිදුවූයේ නැත. අවසානයේ මළ සිරුරු බහාලන්න ලී පෙට්ටි පවා නොමැතිව ඉටි කොළවල ඔතා අවසන් කටයුතු කෙරිණි. මියගිය අයගේ දේහයන් තැබීමට ඔවුන් පදිංචි නිවෙස් හෝ ඉතිරිව තිබුණේ නැත.

මියගිය සිය පියාත්, මවත්, සැමියාත්, දරුවන් සිව් දෙනකුගේත් සිරුරු හතක් පොලිතීන්වලින් ඔතා නිවසක තබාගෙ බිම වාඩිවී ඒ දෙස බලා සිටින කාන්තාවකගේ දර්ශනය මෙම ලේඛකයාට කිසි දා අමතක නොවන්නකි. ඒ අසළ පුංචි ඉටි පන්දමක් ආයාසයෙන් පත්තු වෙයි.

ඇය සමඟ අපි කතා කළෙමු.

“අනේ මම මොනවාට ඉතුරුවුණා ද?  හැමෝම මැරිලා. මේ ටික වළ දාලා මම මුහුදේ පැනලා මැරෙනවා. ජීවත් වෙන්නේ නම් නැහැ. ගෙයක් දොරක් නෑ ඔක්කොම විනාශ වෙලා. මම මේ කට්ටියව හොයාගෙන මෙතෙන්ට ගෙනාවා. ළමයි වගයක් ඇවිත් කිව්වා වළක් කපලා දෙන්නම් කියලා. ඊට පස්සේ වළ දානවා. හත් දොහේ දානේ දීලා මමත් මේ අය ගිය තැනටම යනවා.”

ඇය කීවේ තමන් බෞද්ධ කාන්තාවක බවයි. ඇගේ ඥාතීන්ගේ සිරුරු තැබා ඇත්තේ දෙවටේ මුස්ලිම් ව්‍යාපාරිකයකු සතුව තිබූ හෝටලයකය. එහි බිත්ති හතරින් දෙපස බිත්ති සහ උඩ ඇති කොන්ක්‍රීට් ස්ලැබ් එක ඉතිරිව ඇත. අන් සියල්ල විනාශ වී ගොසිනි. ව්‍යවසනය හමුවේ ජාති ආගම් බේද නැත. ඇයගේ පවුලේ සිරුරු මිහිදන් කරන්නට උදව් කරන්නේ අවට මුස්ලිම් සහෝදරවරුය.

ඥාතීන් විසින් හඳුනා නොගත් මළ සිරුරු දහස් ගණනක් දින ගණනකට පසු සමූහ මිනී වළවල් තුළ තැන්පත් කෙරිණි. එලෙස මියගය කවුරුන්දැයි කිසිවෙකුත් දන්නේ නැත.

අදටත් එවැනි සමූහ මිනී වළවල් අසළට පැමිණෙන පුද්ගලයෝ තම ඥාතියා හිතවතා එතැන මිහිදන්ව ඇතැයි සිතා අවසන් ගෞරව දක්වා ආපසු යති. නමුත් ඇතැම් විට ඔවුන් එතැන මිහිදන්ව නැතිවා ද විය හැකිය.

ගාල්ලේ පුද්ගලික බැංකුවක කළමනාකරුවකු ලෙස සේවය කළ ප්‍රේමලාල් සල්වතුර මහතා අදටත් සුනාමියේ බියකරු බව සිහිපත් කරන්නේ තරමක තිගැස්මකිනි.

ඔහුගේ පවුලේ 12 දෙනකුගේ ජීවිත සුනාමි රළට බිලි වූයේ හම්බන්තොට නගරය ආසන්නයේ දී ය. සුනාමි පැමිණි දිනයට පෙර දිනයේ හම්බන්තොට යාමට නියමිතව තිබුණ ද සල්වතුර මහතාගේ දියණිය අසනීප වීම හේතුවෙන් ඔහුගේ පවුලේ අය එම ගමනට එක් වූයේ නැත. නමුත් ඔහුගේ මවත්, පියාත්, පවුලේ අනෙක් සොයුරු සොයුරියනුත් දරැ දැරියන් සමඟ ඒ ගමනට එක්ව සිටියහ.

එදින නවාතැන් ගෙන තිබුණේ හම්බන්තොට නගරයේ ම මුහුද ආසන්නයේ සිටින ඥාතියකුගේ නිවසේය. එදින කතරගම යාමට ඔවුන් සූදානම්ව සිටිය දී සුනාමි රළ හම්බන්තෙට නගරය යට කරමින් ගලා ආවේය.

“මගේ අම්මයි, තාත්තයි, දෙවැනි නංගියි එයාගේ දුවයි පුතයි, අනිත් නංගිගේ මහත්තයා, ඒ මහත්තයාගේ නංගිලා තුන්දෙනා, එක නංගි කෙනෙකුගේ මාස දෙකක විතර පොඩි දරුවා  සහ අම්මයි තාත්තයි සුනාමියට අසුවුණා. අපිට අන්තිමේ දී හොයාගන්න පුළුවන් වුණේ මගේ අම්මගෙයි තාත්තගෙයි මළ සිරුරු විතරයි. මළ සිරුරු සොයමින් මම හැත්ප්ම ගණන් පයින් ඇවිද්දා. දවස් ගණනක් ඇවිද්දා. දරුවන් තැන් තැන්වල බේරිලා ඉන්නවා කියපු ආරංචියට රටේ හැම තැනම ගියා. ඒත් ඉතින් පස්සේ අපි තේරුම් ගත්තා ඒ සියලු දෙනා ම මිය ගිහින් කියලා.”

සල්වතුර මහතාගේ ඥාතීන් අනතුරට පත්වනේ හම්බන්තොට නගරයේ නිවසක සිටිය දී ය. මහල් නිවසක් වූ එතැනට වතුර එනවිට ඔවුන්ට උඩුමහළට දිවයාමට හැකි වූයේ නම් ඔවුන්ගේ ජීවිත අහමිවන්නේ නැත.

මේ පිරිස අතරින් දිවිගලවා ගත් එක් සොහොයුරකු මුහුදු ජලයට හසුවී ගසාගෙන ගොස් කරගම් ලේවායේ කටු පඳුරක එල්ලී දිවි ගලවාගෙන තිබිණි. ඔහු කියා තිබුණේ මීට පෙර එම නිවස තිබුණු ස්ථානය ඉදිරිපිට කුඩා නිවාස පේළියක් දක්නට ලැබුණු බවයි. එතැනට මුහුද කිසිදා නොපෙණුන ද එදා කතරගම යාමට සූදානම්ව තමන් මිදුලට එන විටම කොහේදෝ සිට පැමිණි මහා ජල කඳක් තමන් පෙරළාගෙන ගිය බව ඔහු පවසයි. කිසිවෙකුට මේ සුනාමි රළෙන් බේරීමට උඩුමහළට දිවයාමට හැකි වූ යේ නැත. ඔවුන්ට එය එ් තරමට ම අනපේක්ෂිත ආපදාවකි.

සල්වතුර මහතාගේ එක් නැගණියක් නිවස තුළ සිටිය දී දිවි බේරාගෙන ඇත්තේ පුදුම ආකාරයකිනි. ඇය පවසා ඇත්තේ එක විටම තමන් වතුර පහරට හසුවී පෙරළී ගිය බවයි. නිවසේ පහළ මහළේ ජනේලයේ ග්‍රිල් එක අල්ලාගත් ඇය ගසාගෙන යාමෙන් වැළකුණ ද කාමරය මුළු මනින් ම ජලයයෙන් පීරී ගොස් තිබිණි. තම හිස ස්ලැබ් එකේ වදින තරමට ඉහළට ගිය ද ජලයේ වේගයත් සමඟ එය නිවස තුළ කැරකැවෙද්දී ඇයගේ මුහුණ ජලයෙන් බේරී පවතින ආකාරයෙන් වායු රික්තයකට ඇය හසුවී සිටියාය. විනාඩි 20ක් පමණ එසේ සිටි ඇය දිවිගලවාගත් පසුව දැනගෙන තිබුණේ තමන් එවැනි වායු රික්තයකට හසුවී තිබුණේ ආශ්චර්යයකින් මෙන් බවයි. ඒ නිවසේ උඩුමහළ ද අඩි දෙකක් පමණ ජලයෙන් යටවී තිබිණි.

“එදා සිදුවූ විනාශය අපිට අදහා ගන්නවත් බෑ. හැමෝම හොරු අරන් ගියා වගේ. මගේ අම්මයි තාත්තයි එදා මට යන්න බැරි වුණු වෙලාවේ පරෙස්සමෙන් ඉන්න කියලා මගෙන් සමුගත්තේ හරියට ආපහු එන්නේ නෑ කියන හැඟීකින් වගේ. තවමත් ඒ අය ගැන සෑහෙන දුකක් තියෙනවා. අම්මයි තාත්තයි විතරක් නෙවෙයි, නංගිලා මල්ලිලා, පුංචි දරුවන් මතක් වෙනකොට ඒ දැනෙන වේදනාව තවමත් දරාගන්න බෑ. අපි ඉතින් අපේ ආගම් සහ විශ්වාසයන් අනුව ඒ අය මතක් කරලා හොඳ දේවල් කරනවා. පිනක් දහමක් කරනවා. අපිට වෙන කරන්න දෙයක් නැහැ.” සල්වතුර මහතා කීවේය.

එදා තම ඥාතීන් සොයා ඝන අඳුරේ වා වෙරළ තීරය පීරමින් යද්දී පය තබන තබන තැන මළ සිරුරු දක්නට ලැබුණු බවත් ඒ අවස්ථාවල දී තමන්ගේම හද ගැස්ම දැඩිව තමන්ට දැණුනු බවත් ඔහු කියයි. එය මතක්කිරීම පවා තවමත් දුක වේදනාව සහ බිය මුසු හැඟීමකි.

“දැන් මේවා ගැන මතක් කරලා කතා කරලා වැඩක් නෑ. හැමෝගෙම ජීවිත වෙනස් වෙලා. දැන් අවුරුදු 17ක් වෙනවා. ඇතැම් අය වෙනස් ආකාරයේ ජීවිත ගත් කරන්න පටන් අරගෙන. හැමදේම වෙනස් වෙලා. නමුත් අපිට ප්‍රශ්නයක් තිබෙනවා. මේ වගේ ආපදාවක් නැවත ආවොත් අපි රටක් විදියට මුහුණ දෙන්නේ කොහොමද ? ඒකට අපි සූදානම් ද කියන එක නැවත වතාවක් සිතන්න වෙලා තියෙනවා.” ඔහු අවසන් වශයෙන් කීවේය  

එදා සුනාමිය ගැන අද බොහෝ දෙනෙකුට මතක නැත සැබැවින්ම මේ සුනාමියට සෘජුව මුහුණ පෑ අපට එය බියකරු සිහිනයක් වැනිය. සෑම වසරකම සුනාමිය සමරමින් සමරු උත්සව සංවිධානය වෙයි. අද දිනයත් එවැනි තවත් සැමරුම් දිනයක් පමණි.

නමුත් සුනාමියෙන් අපට ඉගෙන ගත යුතු දේ බෙහොමයක් තිබේ.

(සජීව විජේවීර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles

error: Content is protected !!