spot_img
spot_imgspot_img

ආනන්දයේ කෝටි ගණනක ජාවාරමට, මාධ්‍ය ප්‍රචාරයක්

පුවත්

විදෙස්

පාසලේ දරුවන්ගේ දක්ෂතා එළිදැක්වීමට බව පවසමින් එක් පන්තියකින් රුපියල් 350,000.00ට වඩා වැඩි මුදලක් එකතු කරමින් මුදල් ගරන ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇති “ආනන්දා ගී රංගා” ප්‍රසංගය සම්බන්ධයෙන් ප්‍රචාරයක් ලබාදෙන්න යැයි කොළඹ ආනන්ද විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ඉල්ලීම් කර ඇත.

ඒ සඳහා දරුවන්ගේ ඡායාරූප පවා භාවිතා කරමින් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබාගනිමින් සිටියි.

මෙම ප්‍රසංගයෙන් ලැබෙන ආදායම් පාසල් සංවර්ධන සමිතියේ අරමුදලට බැරකරන බව පවසමින් එක් පන්තියකට රුපියල් 3,000.00 ටිකට් පත් 90ක් සහ රුපපියල් 2,000.00 බැගින් වූ ටිකට් පත් 30ක් ලබා දී ඇති අතර ප්‍රසංගය වෙනුවෙන් මුද්‍රණය කරනු ලබන සඟරාවට ද ප්‍රසංගය පැවැත්වෙන දිනයේ ඩිජිටල් පුවරු සඳහා ද දැන්වීම් එකතු කරමින් සිටියි. ඒ අනුව පන්තියකින් එකතුකර දිය යුතු මුදල අවම වශයෙන් රුපියල් 350,000.00ක් වන අතර ප්‍රාථමික අංශයේ පන්ති 30ක් ඇත. එම සියලු පන්තිවලට මේ ඉලක්කය ලබා දී තිබේ. එකතුකිරමට අපේක්ෂිත අවම මුදල රුපියල් 10,500,000.00කි.

මේ සම්බන්ධයෙන් සමූපූර්ණ තොරතුරු සහිත වාර්තාවක් අපි පසුගිය දා rata.lk වෙබ් අඩවියේ පළකරන ලදී. එම පුවත මෙතැනින්.

කොළඹ ආනන්ද විද්‍යාලයේ පාලන අධිකාරිය පවසන්නේ මෙම ප්‍රසංගය සංවිධානය කරන්නේ 10 වැනි වරට බවයි. ඒ අනුව දෙසැම්බර් 18 සිට 23 වැනි දින දක්වා විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්වෙයි.

මෙම ප්‍රසංගයෙන් නීති විරෝධී ලෙස මුදල් ගැරීමක් සිදුවන බවත් පාසල් දරුවන් සහ දෙමාපියන් පීඩාවට පත්කරමින් මෙලෙස මුදල් එකතුකිරීම වරදක් බවත් අප වෙබ් අඩවිය මගින් පෙන්වාදුන් අතර එම අවස්ථාවේ දී විද්‍යාලයීය පාර්ශවයෙන් අදහස් දැනැගැනීමට විදුහල්පති ලාල් දිසානායක සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද එම පාසලේ දුරකථනයට දින දෙකක් පුරා අප ගත් ඇමතුම් කිසිවකට කිසිම පුද්ගලයකු ප්‍රතිචාර දැක්වූයේ නැත.

නමුත් එම පුවත ප්‍රචාරය වූ පසු විද්‍යාලයීය ගුරුවරයකු අපගේ වෙබ් අඩවියට ප්‍රතිචාර දක්වමින් නිවැරදි තොරතුරු ලබාදිය හැකි බව සඳහන් කර තිබූ බැවින් අපි ඔහුට අමතා විදුහල්පතිවරයාගේ කරුණු පැහැදිළි කිරීමක් ලබාදෙන්නේ නම් එය පළකිරීමට අපි බැඳී සිටින බව ද ප්‍රකාශ කළෙමු. ඒ සඳහා කාලයක් ඉල්ලා ගත් එම ගුරුවරයා පසුව මෙම ලේඛකයා අමතමින් කියා සිටියේ විදුහල්පතිවරයා අදහස් දැක්වීමට අකමැති බවයි. නමුත් පාසලට පැමිණෙන්නේ නම් මෙම වැඩසටහනේ මුදල් එකතුකරන ආකාරය ඒවා ඵලදායී ලෙස යොදාගන්නා ආකාරය සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර ලබාගෙන ඇති ආකාරය ද පෙන්වා දිය හැකි බව ඔහු කීවේය.

නමුත් ඔහුගෙන් අප විවිධ ප්‍රශ්න ඇසූ විට ඔහු විටෙක “ඔයා මට කියන්න ඕන නෑ. මමත් හොඳට ගුරු සංගම් කරපු කෙනෙක්” කීවේය. අප දන්නා පරිදි පසුගිය අරගල කාලයේ දී සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඔහු ද පෙනී සිටියේය.

නමුත් ඔහු අමතමින් ආනන්ද විද්‍යාලයේ මෙලෙස මුදල් එකතුකිරීම අනුමත කරනවා දැයි විමසූ විට ඔහු කියා සිටියේ ආනන්දය නඩත්තු කිරීමට නම් මුදල් එකතුකිරීම අත්‍යාවශ්‍ය බවයි. ඒ අනුව පෙනී යන්නේ අවම වශයෙන් පානීය ජලය, ප්‍රමාණවත් වැසිකිළි පහසුකම්වත් නැති පාසල් මේ රටේ තිබිය දී ආනන්දය වැනි ප්‍රතිරූපධාරී පාසල් නඩත්තු කිරීමට මුදල් එකතු කිරීම ගුරු සංගම් පවා අනුමත කරන බව නොවේ ද ?

මේ ප්‍රසංගයේ සියලු අයිතම ඉදිරිපත් කරන්නේ සිසු දරුවන් 1500 දෙනකු බව විදුහල්පතිවරයා ම පවසයි. එම ප්‍රසංගය පැවත්වෙන්නේ ආනන්දයේ සිසු දරුවන්‍ වෙනුවෙන් එම පාසල් භූමියේ ම ගොඩනගා පවත්වාගෙන යන කුලරත්න ශාලාවේ දී ය.

අපට කතා කළ ගුරුවරයා (ගුරු සංගම් නියෝජිතයා) පැවසූ ආකාරයට ආනන්දයේ කුලරත්න ශාලාවට මේ ප්‍රසංගය සඳහා රුපියල් ලක්ෂයක් සිසුන්ගේ දෙමාපියන් විසින් ගෙවීමට සිදුව ඇත. ඒ දෙමාපියන්ට තමන්ගේ දරුවන් පාසලේ දී දක්වන දක්ෂතා නැරඹීමේ වන්දිය ද යන ගැටලුව අපට ඉතිරිව තිබේ.

නමුත් ආනන්දයේ විදුහල්පතිවරයා හෝ අපට කතා කළ ගුරු සංගම් නියෝජිතයකු බව කියූ ගුරුවරයා හෝ ඒවාට නිශ්චිත පිළිතුරක් දෙන්නේ නැත. ඔවුන් සිසු දරුවන්ට ඇති සම අධ්‍යාපන අයිතිය ගැන කතා කරන්නේ නැත. දෙමාපියන්ගෙන් කෝටි ගණනක් මුදල් අය කරමින් පාසල් පාලන අධිකාරිය මුදල් ගැරීමේ ක්‍රමවේදය පිළිබඳ කතා කරන්නේ නැත.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ වැඩසටහනට අනුමැතිය ලබා දී ඇත්නම් එහි පිටපතක් අප වෙබ් අඩවියට එවන ලෙස අපි එම ගුරු නියෝජිතයාගෙන් ඉල්ලා වෙබ් අඩවියේ ඊමේල් ලිපිනය සහ මෙම ලේඛකයාගේ වට්ස් ඇප් අංකය යැවූව ද ඊට තවමත් ප්‍රතිචාර ලැබී නැත.

නමුත් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය මාධ්‍යකරුවන් අතිවිශාල පිරිසක් බිහිකළ ආනන්දය සිසු දරුවන් තම විද්‍යාලයීය ශාලවේ රඟදක්වා දෙමාපියන්ගෙන් කෝටි ගණනක් මුදල් ගරන මේ ජාවාරම ගැන ඔවුන් ලවාම ප්‍රචාරය කරමින් සිටියි.

ආනන්දයෙන් බිිහි වූ ජනමාධ්‍යවේදීන් ද කිසිදු වගවිභාගයක් නැතිව මේ ජාවාරමට තම අනුග්‍රාහකත්වය ලබා දෙමින් සිටියි.

Rata.lk  අපි කොළඹ ආනන්ද විද්‍යාලයේ මෙම මුදල් ගැරීමේ ජාවාරම ගැන තවදුරටත් ගවේෂණය කිරීමට අපේක්ෂා කරන්නෙමු.

මෙම ප්‍රසංගය මගින් රටට දැයට හිතැති සෞන්දර්ය මිනිසෙකු බිහි කිරීම මෙන්ම කලාව සාහිත්‍ය හා රසවින්දනය පිළිබද අපූර්ව අත්දැකීම් ගොඩනැගීම උදෙසා ප්‍රාථමික අංශයේ දරුවන් යොමුකිරීම විදුහල්පති වරයා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ අපේක්ෂාව බව එහි සංවිධායක වරු වෙනත් මාධ්‍යයන්ට පවසා තිබේ.

“ආනන්දා ගී රංගා“ ප්‍රසංගයේ ආදායම පාසල් සංවර්ධන සමිති ගිණුම හරහා ප්‍රාථමික අංශය තුළ ඵලදායිතා සංකල්පය ක්‍රියාත්මක කරමින් සංවර්ධන කටයුතු සදහා යෙදවීම අරමුණ බව ද විදුහල්පති ලාල් දිසානායක පවසා තිබේ.

අපි මේ ගැන විමසිල්ලෙන් සිටිමු.

2 COMMENTS

  1. වැඩි කල් නොගොස් රජයේ පාසල්වලට විදුහල්පති වරුන් නොමැති වේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!