13.6 C
New York

කෝප් කමිටු සභාපතිගේ පුතා නිසා කතානායකගෙන් විශේෂ උපදෙස්

Published:

කෝප්, කෝපා කමිටු ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා පැවැත්වෙන අවස්ථාවල දී වෙනත් බාහිර පුද්ගනයන් එම රැස්වීම් කාමරතුළට ගෙන්වා නොගත යුතු යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (20) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ දැනුම් දීම කළේ කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාරගේ පුතා කෝප් කමිටු රැස්වීම් පවත්වන අවස්ථාවේ දී එම කමිටු රැස්වීම් ශාලාවේ රැඳී සිටි බවට එල්ල වූ චෝදනාව හේතුවෙනි.

එමෙන්ම කාරක සභා සභාපතිවරුන් තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩකටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් තමා වෙත විවිධ අවස්ථාවලදී කරුණු වාර්තා වී ඇතැයි ද පැවසු කථානායකවරයා පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් පුරා පැවති සාම්ප්‍රදායන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් ස්ථාවර නියෝග අනුව බැඳී සිටින බව ද අවධාරණය කළේය.

පිටස්තර පුද්ගලයන් ගෙන්වා‍ගන්නේ නම් ඒ සඳහා තමාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බව ද කථානායකවරයා පැවසීය.

තවද කාරක සභාවල වැඩකටයුතු කරගෙන යන අවස්ථාවේ දී විවිධ අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත හෝ නොවන ආයතනවල රජයේ නිලධාරීන් කැඳවීමේ දී ඔවුන් අපහසුතාවයට පත් නොවන අයුරින් සහ අදාළ කාරක සභාව විසින් අනුමත කරන ලද කාරණා පමණක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීමටත් වගබලා ගන්නා ලෙස කථානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.

එමෙන්ම නිල ලිපි ශීර්ෂ කිසිදු අවස්ථාවක දේශපාලන හෝ පෞද්ගලික කාර්යයන් සඳහා භාවිත නොකළ යුතු බවත් කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.

Related articles

Recent articles

spot_img