spot_img
spot_img

ඕස්ට්‍රේලියානුවෝ ලෝක කුසලානය දිනති

පුවත්

විදෙස්

ලොව විශාලත ම ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැස්ව සිටි ලක්ෂයක පමණ ක්‍රීඩා ලෝලීන්ගේ ඇස් ඉදිරිපිට දී ම සමස්ත ඉන්දියානුවන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඕස්ට්‍රේලියාව එක්දින ක්‍රිකට් ලෝක ශූරතාව තමන් සතුකරගැනීමට අද (19) සමත්විය.

ඕස්ට්‍රේලියාව එක්දින ලෝක ශූරතාව දිනාගත්තේ හයවැනි වතාවට ය.

ඉන්දියාවේ අමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟයේ දී ඔස්ට්‍රේලියාව කඩුලු 06ක ඉතාමත් පහසු ජයග්‍රහණයක් ලබාගත්තේ තවත් පන්දුවාර 07ක් ඉතිරිව තිබිය දී ය.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීම ඇරඹූ ඉන්දියානු කණ්ඩායම වේගවත් ආරම්භයක් ලබාගත්ත ද රෝහිත් ෂර්මා (47) විරාට් කෝලි (54) සහ ලොකේෂ් රාහුල් (66) හැර සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් නොලැබීමේ ප්‍රතිඵලය වූයේ පන්දුවාර 50 අවසානයේ ඉන්දීය කණ්ඩායම ලකුණු 240කට දැවී යාමයි.

ලකුණු 241 ජයග්‍රාහී ඉලක්කයක් කරා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුලු 03 ලකුණු 47කට දැවී ගියේ ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරමිනි. නමුත් එතැන් සිට ට්‍රැවිස් හෙඩ් සමඟ එක් වූ මානස් ලැබුෂේන් ඉන්දියානුවන්ට කිසිදු අවස්ථාවක් නොදී ම ජයග්‍රහණය සොයා ගමන් ගත්හ.

පන්දු 120කට මුහුණ දුන්න හෙඩ් හයේ පහර 04ක් සහ හතරේ පහර 15ක් එල්ල කරමින් තම 05වැනි එක්දින ශතකය ලබාගත්තේ එක්දින ලෝකක කුසලාන අවසන් මහා තරඟයක දී ශතකයක් රැස්කළ 07 වැනි පිතිකරුවා බවට පත්වෙමිනි. ඔහු ලකුණු 137කට දැවී යාමත් සමඟ හතරවැනි කඩුල්ලේ සබඳතාව නිමා වූ අතර ඒ වනවිට ඕස්ට්‍රේලියානුවන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 02ක් පමණි. හෙඩ් සහ ලැබුෂේන් හතරවැනි කඩුල්ල සඳහා පැවැත්වූ සම්බන්ධතාව ලෝක කුසලාන අවසන් මහා තරඟයක දී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වී ඇති දෙවැනි ඉහළම සබඳතාව ද වෙයි.

හෙඩ් පිටියෙන් ඉවත්වීමත් සමඟ පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම ලකුණු 02ක් ලබාගනිමින් ලෝක කුසලානය 06 වැනි වරටත් ඕස්ට්‍රේලියාව සතුකර ගත්තේය.

මානස් ලැබුෂේන් ඒ වනවිට නොදැවී ලකුණු 58ක් රැස්කරගෙන සිටියේය.

තරඟයේ වීරයා සම්මානය ට්‍රැවිස් හෙඩ් හට හිමිවිය.

තරඟාවලියේ වීරයා ලෙස විරාත් කෝලි සම්මානයට පාත්‍රවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!