spot_img
spot_imgspot_img

“ආණ්ඩුවේ කෙරුවාව ගැන, ජනතා අප්‍රසාදය වැඩි වෙලා” සමීක්ෂණයකින් හෙළිවෙයි

පුවත්

විදෙස්

රටේ ජනතාව තුළ, ආණ්ඩුවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති අනුමැතිය වේගයෙන් පහළ වැටී ඇතැයි ද එය පසුගිය ජුනි මාසයේ දී 21% ක සිට ඔක්තෝබර් මස අවසානය වනවිට 9%ක් දක්වා පහළ වැටී ඇතැයි ද වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

එමෙන් ම රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳ ජනතාවගේ තෘප්තිය ද ජුනි මාසයේ සිට ඔක්තොම්බර් මාසය වනවිට හරි අඩකින් ම අඩු වී තිබේ.

ජුනි මාසයේ දී ජනතාවගේ තෘප්තිය 12%ක් ලෙස පැවති අතර එය ඔක්තෝබර් මාසයේ දී 06%ක් දක්වා පහත වැටී ඇත.

මේ බව අනාවරණය වන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදුකරන “රට හිතන හැටි” නමැති දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයෙනි.

එම සමීක්ෂණය අනුව රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ද ජුනි මාසයේ දී සෘණ 44ක් ව පැවති අතර එය තවදුරටත් අඩු වෙමින් මේ වනවිට සෘණ 62ක් දක්වා පහත වැටී තිබේ.

‘රට හිතන හැටි’ මත විමසුම වසරකට තුන් වතාවක් වෙරිටේ රිසර්ච් ආයතනය විසින් පවත්වනු ලබන අතර, එය දීප ව්‍යාප්ත, ජාතික වශයෙන් නියෝජනය වන ප්‍රතිචාර නියැදියක් මත පදනම් වේ.

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය: “වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය ඔබ අනුමත කරනවාද නැද්ද?” යන ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වා ඇති 09% ප්‍රමාණයක්,  එය අනුමත කරන බව පවසා ඇත. 07% ක් කියා ඇත්තේ ඔවුන්ට ඒ ගැන මතයක් නොමැති බවයි. මෙම වත්මන් අගය 2022 ජනවාරි සහ ඔක්තෝම්බර් මාසවල මෙන්ම 2023 පෙබරවාරි මාසවල පැවති 10% අගයට ආසන්න අගයක් පිළිබිඹු කරයි.

රට ගැන තෘප්තිය: ” පොදුවේ ගත් විට මේ මොහොතේ ශ්‍රී ලංකාවේ කාර්යයන් සිදුවෙන ආකාරය ගැන සෑහීමකට පත්වනවා ද? නැති ද?” යන ප්‍රශ්නයට, සෑහීමකට පත්වන බව පවතා ඇත්තේ 06%කි. මෙම අගය 2023 පෙබරවාරි මාසයේදී 04%ක් තරම් අඩු මට්ටමක පැවතිණ. එය ජුනි මාසය වනවිට 12%ක් දක්වා වර්ධනය වී නැවත එය මේ වනවිට 06%ක් දක්වා අඩු වී ඇත.

ආර්ථිකය ගැන විශ්වාසය

ආර්ථිකය ගැන විශ්වාසයේ අගය ජුනි මාසයේ පැවති සෘණ (-) 44 සිට ඔක්තෝබර් මාසයේ දී සෘණ (-) 62 දක්වා බරපතල ලෙස පහත වැටී ඇත. කෙසේවෙතත්, 2022 වර්ෂයේ ආර්ථිකය ගැන විශ්වාසය සම්බන්ධයෙන් සෘණ (-)96 සහ සෘණ (-)78 අතර පැවති අගයන් සළකන විට මෙය තරමක් යහපත් තත්ත්වයකි.

රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය ඇගයීමට බහුවර්ණ ප‍්‍රශ්න භාවිතා කර ඇත. එම ප‍්‍රශ්නවලට ලැබී තිබෙන ප‍්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත.

00 ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන සෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ. ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලුමදෙනා සිතන්නේ නම්, ලැබෙන අගය සෘණ (-)100ක් වේ.

ජනමත විමසුම ක්‍රියාත්මක කිරීම

රට හිතන හැටිදීප  ජනමත විමසුම සැලසුම් කර ඇත්තේ ආණ්ඩුව, රට සහ ආර්ථිකය කෙරෙහි ජනතාවගේ අනුමැතිය, තෘප්තිය සහ විශ්වාසය තක්සේරු කිරීම සඳහා ය. ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,029 දෙනෙකුගෙන් සමන්විත ජාතික මට්ටමේ නියෝජනයක් ඇති දීප ව්‍යාප්ත ප්‍රතිචාර නියැදියක් පදනම් කරගනිමින් 2023 ඔක්තෝබර් 21 සිට 29 දක්වා මෙම ජනමත විමසුම පවත්වා ඇත.

‘රට හිතන හැටි’ ජනමත විමසුම වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය එක්ව සිදුකරන syndicated survey නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සිදුකිරීම් වැඩසටහනේ කොටසක් වේ. syndicated survey හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලට ද, අවස්ථාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!