spot_img

තොරතුරු කොමිසම ඉදිරිපිට විරෝධතාවක්

පුවත්

විදෙස්

තොරතුරු පනත යටතේ තොරතුරු ඉල්ලා ඇතත් මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක් තොරතුරු ලබානොදීමට එරෙහිව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පිරිසක් අද (02) තොරතුරු කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වල දී පාරිසරික තක්සේරු වාර්තාව උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් හානි සිදුව ඇති නිවාසවලට වන්දි නොදීම නිසා ඊට අදාල තොරතුරු මෙම පිරිස විසින් ඉල්ලා තිබිණි. තොරතුරු ඉල්ලීම් 400කට අධික ප්‍රමාණයක් මාර්ග සංවර්ධන අධිකාරියට, මාගා ආයතනයට සහ ශ්‍රී ලංකා පොලිසියට යොමුකර තිබිණි.

එක් ඉල්ලීමකට අදාල අභියාචනා විභාගයක් අද (02) තොරතුරු කොමිසමේ දී පැවැති අතර නීතිඥ මනුෂිකා කුරේ එම අභියාචක වෙනුවෙන් පෙනී සිටියාය.

එම අවස්ථාවේ දී සිවිල් ක්‍රියාකාරිකයන්, ප්‍රදේශවාසීන් සහ මාධ්‍යවේදීන් 40ක පමණ පිරිසක් ද පැමිණ සිටි අතර අභියාචනා විභාගය වීඩියෝ කිරීම හෝ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කරන ලෙස මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඉල්ලා සිටිය ද එය කොමිසම විසින් ප්‍රතික්ෂේප කෙරිණි. එසේ වුව ද මාධ්‍යවේදීන් දෙදෙනකුට හැර අන් සියලු දෙනාට අභියාචනා කාමරයට පැමිණීමට ද අවසර ලැබිණි.

අභියාචනා විභාගයේදී මාර්ග සංවර්ධන අධිකාරිය කියා සිටියේ තොරතුරු ඉල්ලීම ඔවුන්ට නොලැබුණු බවයි. නමුත් එය අසත්‍ය ප්‍රකාශයක් බව කොමිසමේ දී හෙළිදරව් විය.

එහි දී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සහ තොරතුරු ඉල්ලුම්කරු සංජීව කුලතිලක යන දෙදෙනා පැහැදිළි කිරීමක් කරමින් කියා සිටියේ මෙම තොරතුරු ප්‍රගාමීව හෙළිදරව් කර තිබිය යුතු බවයි.

එම අවස්ථාවේදී තොරතුරු කොමිසමේ සභාපති උපාලි අබේරත්න “අපිට වෙන වැඩ තියනවා. මේවා වෙනස් කරන්න අමාරුයි. අවුරුදු 100ක් තිස්සේ ආපු විදිහ” යනුවෙන් ප්‍රකාශ කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ඊට තම දැඩි විරෝධය පළ කළහ.

ඉන් පසු අභියාචනා විභාග කිරීමේ කුටියෙන් පිටතට පැමිණි ප්‍රදේශවාසීන් සටන් පාඨ ලියා සකස් කරගත් පුවරු කිහිපයක් ප්‍රදර්ශනය කරමින් එහි විරෝධතාවක නිරතවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles