spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ කෙරුවාව ගැන, මොරොක්කෝවේ දී කතා කරයි

පුවත්

විදෙස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාර්ෂික රැස්වීම්වලට සමගාමීව, ‘ශ්‍රී ලංකාව: ණය තිරසාරභාවය සහ ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ අත්කරගැනීමේ මාර්ග’ යන මාතෘකාව යටතේ සංවිධානය කර ඇති වැඩසටහනක් අද (13)  මොරොක්කෝවේ මරකේෂ් නුවර දී, පැවැත්වේ.

මෙම වැඩසටහන සංවිධානය කර ඇත්තේ “දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් වන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ව්‍යාපාරය” හා සම්බන්ධව සිටින සිවිල් සමාජ සංවිධානයන් ය.

ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් මුදා ගැනීම අරමුණු කරගත් ප්‍රධාන ප්‍රමුඛතා දෙකක් කෙරෙහි මෙම වැඩසටහනේ දී අවධානය යොමු කරනු ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් වෙන් වෙන්ව ප්‍රකාශයට පත්කර ඇති විශ්ලේෂණ වාර්තා ද්විත්වය ඉන් පළමුවැන්න යි. දෙවැන්න වන්නේ රටේ ණය සාර්ථකව සහ තිරසාරව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ IMF, රජය සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ කාර්යභාරය යි.

“දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් වන ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ව්‍යාපාරය” හා සම්බන්ධව සිටින සිවිල් සමාජ සංවිධානයන් එක්ව සම්පාදනය කරන ලද “ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබද සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාව” සැප්තැම්බර් මැද භාගයේ දී ප්‍රකාශයට පත් කෙරිණ. ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට මුල් වූ හේතුන් ආමන්ත්‍රණය කෙරෙන ශ්‍රී ලංකාවට ඔබින ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ නිර්දේශ 34ක් මෙහි අන්තර්ගත ය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ද, සැප්තැම්බර් මාසය අග භාගයේ දී, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ විශ්ලේෂණ වාර්තාව ප්‍රකාශයට පත් කළේ ය. ආසියාකරයේ රටක් සම්බන්ධව අන්තර්ජාතික මූල්‍ය අරමුදල එවැනි ආකාරයේ වාර්තාවක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව ද, එයයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිදුකර ඇති මෙම විශ්ලේෂණ වාර්තා ද්විත්වයට නීතියේ ආධිපත්‍යය, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීම සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමේ හැකියාව පවතී. මෙම වැදගත් කරුණු ද, සිවිල් සමාජ සංවිධාන එක්ව පවත්වන්නට යන මේ වැඩසටහනේ දී, සාකච්ඡාවට ලක් කෙරෙණු ඇත. ණය ගැනීමේ සහ පියවීමේ ක්‍රියාවලිය (ණය ආණ්ඩුකරණය) ක්‍රමවත් කිරීම නැවත නැවතත් ණය බරට වැටෙන රටවල් එම ගැටලුවෙන් ගලවා ගැනීමට ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති බාහිර පාර්ශවයන්ගෙන් ඉහළ ණය කප්පාදුවක් (Haircut) ලබාගැනීම ඇතුළු ණය තිරසරභාවය අත්පත් කරගැනීම සඳහා දැනට තිබෙනවාට වඩා දෘඩ ඉලක්කයන් තබා ගැනීම සම්බන්ධයෙන් ද, මෙම වැඩසටහනේ දී, අවධානය යොමු කෙරෙණු ඇත. එසේ කිරීම රට මත පැටවී ඇති සමස්ත ණය බර සැහැල්ලු කරනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා සහ ග්ලොබල් සවේරියන් උපදේශක ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විශ්ලේෂක තියෝ මාරෙට් යන යන මහත්ම මහත්මීහු මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දේ. තොම්සන් රොයිටර්ස් ආයතනයේ නැගී එන වෙළඳපලවල් (Emerging Markets) සම්බන්ධයෙන් වන වාර්තාකාරිනී ජෝර්ජලිනා ඩෝ රොසාරියෝ වැඩසටහන මෙහෙයවනු ඇත.

ආරාධිතයන්ට පමණත් සහභාගී වීමට අවකාශ ඇති මෙම වැඩසටහනේ ආරාධිතයන් අතර, IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු, බහුපාර්ශ්වික ආයතනවල කලාපීය ප්‍රධානීන්, ප්‍රධාන පාර්ශවකරුවන් සහ වෘත්තිකයන් ගණනාවක් සහ මාරකේෂ් නුවර පැවැත්වෙන IMF වාර්ෂික සමුළුව සඳහා සහභාගී වන ශ්‍රී ලංකික නියෝජිත කණ්ඩායමේ ඉහළ පෙළේ සාමාජිකයින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!