13.6 C
New York

“අනේ පුතේ යන්න එපා” අම්මාගේ කීම නොඇසූ පුතාට සිදු වූ දේ

Published:

“පුතා වතුරට බැහැපු ගමන් මෝයකට පැත්තට දුවගෙන ගියා. මම කෑ ගැහුවා යන්න එපා කියලා. එයා කියන දේ ඇහුවේ නෑ. ඒ ‍එක්කම ලොකු රැල්ලක් ඇවිත් එයා ගහගෙන ගියා” යැයි කොග්ගල මෝය අසළ මුහුදේ ගිලී මියගිය 14 හැවිරිදි පාසල් සිසුවකුගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් ඔහුගේ මව සදාසිවම් සරවනෙස් ඩේසි (51) කීවාය.

මෙලෙස මියගොස් සිටියේ  වරකාපොළ බාබුල් අසන් විද්‍යාලයේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි රවිච් චෙල්වම් සිවආකාශ් නමැති සිසුවෙකි.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය, ගාල්ල, මැටරඹ හදිසි මරණ පරීක්ෂක නිරෝෂා නිල්මිණි විසින් සෙනසුරාදා (30) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකරන ලදී.

මියගිය සිසුවාගේ මව එහි දී වැඩිදුරටත් සාක්ෂි දෙමින් මෙසේ ද කීවාය.

” අපේ පවුල්වල අය එකතුවෙලා ඊයේ ගාල්ලට විනෝද චාරිකාවක් ආවා. අපි සාම චෛත්‍යය, මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය සහ ම‍ඩොල්දූව බලන්න ගියා. පසුව  කොග්ගල පාලම ළඟින් බැහැලා නාන්න ගියා. එතන තව ගොඩක් අය නාමින් හිටියා. කට්ටියක් සෙල්ලම් කරමින් හිටියා.  පුතා මුහුදට බැස්ස ගමන් මෝයකට පැත්තටම දුවගෙන ගියා. මම කෑ ගැහුවා එන්න පුතා කියලා. එයා කියන දේ ඇහුවේ නෑ. මහත්තයා නාන්න බැහැලා හිටියේ නෑ. එයා උඩ හිටියේ. පුතා මුහුදේ මෝයකට අයිනටම යන කොට ලොකුවට ම රැළි ආවා. මගේ අක්කාගේ පුතා එක්ක තමයි එයා ගියේ. එකපාරට ලොකු රැළක් ඇවිත් පුතා මුහුදට ගියා. මම දැක්කා එයා ගහගෙන යනවා. මහත්තයා ගල්වැටිය උඩින් දුවගෙන ගියා. එතන සිටි කට්ටිය ඇවිත් මුහුදට බැහැලා හෙව්වත් පුතාව සොයාගන්න බැරි වුණා.”

මියගිය අයගේ ඥාති සොහොයුරකු වන මනි සරවනකුමාර් (26) සාක්ෂි දෙමින් මෙසේ කීවේය.

“මියගොස් සිටින්නේ මගේ පුංචි අම්මාගේ පුතා. අම්මලා එකතැනක නාද්දී මල්ලියි මමයි එයාලගෙන් ඈත්වෙලා ටිකක් මුහුද පැත්තට ගියා. ලොකු රළ පහරක් ඇවිත් මල්ලී ගසාගෙන යනවා දැක්කා. මම කෑ ගැහුවා. එයාගේ ඔලුව පෙනෙන්නට තිබුණා. ඊට පස්සේ පෙනුනේ එක කකුලක් විතරයි. මල්ලී නොපෙනී ගියා. අපි නාන්න බැහැපු තැන ගොඩක් කට්ටිය නාමින් සිටියා. කවුරුවත් එපා කිව්වේ නැහැ. අනතුරුදායකයි කියලා පුවරු සවිකරලා තිබුණෙත් නැහැ. මල්ලීව බේරාගන්න ජීවිතාරක්ෂකයන් හිටියෙත් නෑ. පැය භාගයකට විතර පස්සේ තුන්දෙනෙක් ඇවිත් හෙව්වා. නමුත් සොයාගන්න බැරිවුණා. අපි කිහිප දෙනෙක් කොග්ගල නැවතිලා අනිත් අය එදා ‍ගමට ගියා. පසුවදා උදේ අපි නාපු තැන කිට්ටුව වෙරළට මළ සිරුරක් ගොඩගහලා තියෙනවා කියලා කිව්ව නිසා අපි ගිහින් බැලුවා. ඒ මළ සිරුර මල්ලීගේ කියා අපි අඳුනාගත්තා. මේ මරණය ගැන සැකයක් නැහැ.”

ඉදිරිපත් වූ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරී අනුරුද්ධ උහන්ඕවිටගේ වාර්තාව සළකා බැලූ හදිසි මරණ පරීක්ෂක නිරෝෂා නිල්මිණි නිගමනය කළේ දියේ ගිලීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි

Related articles

Recent articles

spot_img