spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ කෙරුවාව ගැන, IMF සෑහීමට පත්වෙයි ද ?

පුවත්

විදෙස්

IMF එකඟතා සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනය සිදුකරන අවස්ථාව වනවිට ශ්‍රී ලංකාව විසින් ඉටුකර ඇත්තේ ඒවනවිට ඉටුකර තිබිය යුතු කැපවීම් 57ක් අතරින් 38ක් පමණක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි. ඒ අනුව ප්‍රගතිය 66.67%කි.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟ වී ඇති කැපවීම් සංඛ්‍යාව 100කි. පළමු ප්‍රගති සමාලෝචන අවස්ථාව වනවිට ඉන් කැපවීම් 57ක් සම්පූර්ණ කිරිමේ වගකීම ශ්‍රී ලංකා රජයට තිබිණි.

අද (14) IMF වැඩසටහනේ සමාලෝචනය ආරම්භ වූ අතර මේ වනවිට ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සෑහීමකට පත් නොවන්නේ නම් එම අරමුදන විසින් ලබාදීමට නියමත ඉදිරි වාරික ලබාගැනීමේ ගැටලුවක් මතුවීමට ඉඩ ඇත.

IMF වැඩසටහන ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසුමට ලක්කිරීම සඳහා වෙරිටේ රිසර්ච් හඳුන්වාදුන් මාර්ගගත වේදිකාව වන IMF මීටරය, අගෝස්තු මාසය අවසන් වන විට වැඩසටහනේ ඇති කැපවීම් 11 ක ප්‍රගතිය තවදුරටත් ‘නොදනී’ ලෙසත්, 8ක ප්‍රගතිය මේ වන විට ‘ඉටු නොකළ’ ලෙසත් වර්ග කර තිබේ.

2023 මාර්තු මස ආරම්භ වූ මෙම වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ දෙවන ණය වාරිකය අනුමත කිරීම මේ වනවිට සිදුවෙමින් පවතී.

IMF සමාලෝචනයේ දී, ජුනි මස අවසන් වන විට ඉටුකිරීමට නියමිතව තිබූ කැපවීම් කෙරෙහි අවධානය යොමුවීමට බොහෝ දුරට ඉඩ ඇත. එවැනි පසුබිමක, ශ්‍රී ලංකාව ආණ්ඩුකරණය හා සම්බන්ධ ප්‍රධාන කැපවීමක් ඉටුකිරීමට තවමත් අපොහොසත්ව තිබීම කැපී පෙනේ. එය නම් මූල්‍ය විනිවිදභාවය ප්‍රදර්ශනය කිරීම සඳහා වන මාර්ගගත වේදිකාවක් පිහිටුවීම යි. මාර්තු අග වන විට ඉටු කිරීමට නියමිතව තිබූ මෙම කැපවීම තවමත් ඉටු කර නොමැත.

මූල්‍ය විනිවිදභාවය ප්‍රදර්ශනය කරන වේදිකාවෙන් අපේක්ෂා කරන්නේ මොනවාද?

මෙම වේදිකාව යටතේ අර්ධ වාර්ෂික පදනමින් ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ තොරතුරු ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙ‍රයි.

  • රාජ්‍ය ප්‍රසම්පාදන පිළිබඳ සියලුම වැදගත් කොන්ත්‍රාත්තුවලට අදාළ තොරතුරු
  • ආයෝජන මණ්ඩලය හරහා බදු නිදහස් කිරීම් භුක්ති විඳින සියලු සමාගම්වල ලැයිස්තුවක්
  • සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම් භුක්ති විඳින පුද්ගලයන්ගේ සහ සමාගම්වල ලැයිස්තුවක්

මෙවැනි වේදිකාවක් හරහා රජයේ ක්‍රියාකාරකම් ජනතාවට අනාවරණය වන අතරම, මහජන මුදල් වියදම් කරමින් පුද්ගලික ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් බලය අනිසි ලෙස භාවිතා කිරීම ද, සීමා කරගත හැකි ය.

මෙවර ක්‍රියාත්මක වන IMF වැඩසටහන, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික පිබිදීමක් සහ ස්ථාවරත්වයක් ඇතිවීමට නම් ආණ්ඩුකරණයේ ඇති ගැටලු විසඳාගත යුතුව ඇතිවා මෙන්ම දූෂණයට පිළියම් සෙවිය යුතු බවත් හඳුනාගෙන තිබෙන පළමු වැඩසටහන වීම ද, විශේෂය. එහිලා, ඉහත කී මූල්‍ය විනිවිදභාවය ප්‍රදර්ශනය කරන වේදිකාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා රජය ලබා දී ඇති කැපවීමේ වැදගත්කම කැපී පෙනේ.

රජයට පාලනය කර නොහැකි තත්වයන් වල දී, කැපවීම් ඉටු කිරීමට නොහැකි වන අවස්ථා නොසළකා හැරීම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අලුත් දෙයක් නොවේ. නමුත්, මූල්‍ය විනිවිදභාවය තහවුරු කරන මෙම වේදිකාව පිහිටුවීම ශ්‍රී ලංකා රජය අත පවතින්නකි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයේ ගැටලු පවතින බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඔවුන්ම කළ ඇගයීම ප්‍රකාරව හඳුනාගෙන ඇති දෙයකි. එනිසා ඔවුන් ශ්‍රී ලංකා රජය මෙම කැපවීම ඉටුකර නොතිබීම නොසළකා හැරීම, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටු කිරීමේ වැදගත්කමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිසි වටිනාමක් ලබානොදෙන්නේ ය යන අදහස ඇති කරන්නක් විය හැකිය. එවැනි තත්ත්වයක, ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයේ පවතින ගැටලු විසදීමෙහි ලා අනාගතයේ ගැනීමට ඉඩ තිබෙන පියවරයන්ගේ තත්ත්වයත් එළෙසම වීමට ඉඩ තිබේ.

සමාලෝචන සාකච්ඡාව සති දෙකක කාලයක් පැවැත්වීමට නියමිත ය.  මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහභාගී වෙති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් , නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි කට්‍යා ස්වරිසෙන්කා , මයික් ලී,  සොෆියා ෂෑන්ග්,  ඩිමිත්‍රි රෝස්කෝව්, නෝඩා සෙලීම්, සන්දේශ් දුන්ගානා , නුයි මියාඕ , ජෝයි ටර්කෙවිට්ස්, නුඔන්ග් ලැන් වූ සාකච්ඡාවට සහභාගී වූ අතර මාර්ක් ඇඩම්ස් ඔන්ලයින් ක්‍රමයට ඊට එක් විය.

IMF මීටරය යනු 2023 මාර්තු 20 වන දින අනුමත කරන ලද වැඩසටහන යටතේ IMF වෙත යොමුකළ ශ්‍රී ලංකාවේ අභිප්‍රාය ලිපිය තුළින් වාර්තා කරන ලද හඳුනාගත් කැපවීම් 100ක් නිරීක්ෂණය කරන ශ්‍රී ලංකාවේ පළමු සහ එකම වේදිකාව වේ. මේ සඳහා manthri.lk වෙබ් අඩවිය ඔස්සේ https://manthri.lk/en/imf_tracker සබැඳිය හරහා මහජනතාවට ප්‍රවේශ විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!