spot_img
spot_imgspot_img

දිනේෂ් ෂාෆ්ටර්, මියගිය ආකාරය ගැන විශේෂ සාකච්ඡාවක්

පුවත්

විදෙස්

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාදුන් නියෝගය අනුව පුළුල් විශ්ලේෂණයක් සිදුකරන විශේෂඥ කමිටුව අද (11) දින දෙවැනි වරටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයට රැස්ව සිටියි.
අද (11) හෙට (12) සහ ඉරිදා (13) දින තුනක කාලයේ දී දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයෙන් ලබාගත් ජෛව සාම්පල් සම්බන්ධ ‍දත්ත විශ්ලේෂණය, පටක පරීක්ෂණ විශ්ලේෂණ සහ ස්කෑන් වාර්තා ඇතුළු සියලුම තොරතුරු තවදුරටත් විශ්ලේෂණය කිරීමට එම කමිටුව කටයුතු කරනු ඇත.
දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ තවමත් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ අධි ශීතකරණයක බහා තබා ඇත. රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර අද (11) උදෑසන එම පරීක්ෂණ කටයතු සඳහා අවශ සාමපල සහ දත්ත විශ්ලේෂණ රැගෙන පේරාදෙණිය බලා පිටත්ව ගියහ.
කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය අසේල මෙන්ඩිස් ද තවත් දත්ත විශ්ලේෂණ රැගෙන පේරාදෙණියට පැමිණෙන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ විද්‍යා අංශයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය දිනේෂ් ප්‍රනාන්දු, සහ මහනුවර ජාතික රෝහ‍ලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.ශිවසුබ්‍රමනියම් දෙදෙනා ද මෙම විශ්ලේෂණ කටයුතු සඳහා එක්වෙයි. ඔවුහු සියලු දෙනා අධිකරණ නියෝගය මත පත්කරන ලද විශේෂඥ කමිටුවේ ‍සාමාජිකයෝය.
ෂාෆ්ටර් මියගියේ සියදිවි නසා ගැනීමක් හේතුවෙන් යැයි ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තීරණය කර තිබිණි. නමුත් එම තීරණය පරස්පර විරෝධී කරුණුවලින් සමන්විත බවත් එය පිළිගත නොහැකි බවත් ෂාෆ්ටර්ගේ බිරිඳ නීතිඥයන් මගින් අධිකරණයට විරෝධතා ගොනුකිරීම හේතුවෙන් මෙම මරණය සියදිවි නසාගැනීමක් ද නැතිනම් ඝාතනයක් ද යන්න තීරණය කිරීම සඳහා අධිකරණය විසින් අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂඨ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත මෙම පංච පුද්ගල කමිටුව පත්කරන ලදී.
එම කමිටුවේ නිර්දේශය අනුව ෂාෆ්ටර්ගේ සිරුර නැවත ගොඩගෙන කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය අංශයට ගෙන එන ලදී. එහි දී එම සිරුර පරීක්ෂණ ගණනාවකට ලක්කළ අතර රසායනාගාර සහ පරීක්ෂණාගාර කිහිපයකට සිරුරේ විවිධ සාම්පල යොමුකරමින් ද ස්කෑන් පරීක්ෂණ සිදුකරමින් ද වාර්තා රැසක් ලබාගෙන ඇත.
විශේෂඥ කමිටු සාමාජිකයන් පවසන්නේ මෙවර පැවැත්වෙන්නේ දත්ත විශ්ලේෂණය කරන දෙවැනි සාකච්ඡාව බවයි. මීට පෙර දී ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ දී පසුගිය ජූලි මස 23 හා 24 දෙදින ද එම කමිටුව දත්ත විශ්ලේෂණ කටයුතුවල නිරතවිය.
මෙවර පැවැත්වෙන සාකච්ඡාවෙන් වැදගත් තීරණ කිහිපකට එළැඹීමට හැකිවනු ඇති බවත් නමුත් අවසන් තීරණයක් ලබාදීම පිළිබඳ කිව හැකිවන්නේ මෙවර පැවැත්වෙන විශ්ලේෂණයෙන් පසුව බවත් ඔවුහු කියති.
මෙම මරණය සම්බන්ධයෙන් අවසන් වාර්තාවක් සකස් කර එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ෂාෆ්ටර්ගේ දේහය නැවත භූමදාන කරනු ලබන්නේ අධිකරණයෙන් අවසර ලැබීමෙන් පසුව ය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයේ දී අභියෝගයට ලක්කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාදුන් අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් ගේ සේවය අත්හිටුවා තිබිය දී වකුගඩු සැත්කමක් අතරතුර මියගිය තුන්හැවිරිදි දරුවකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර ඇතැයි ඔහුට චෝදනා එල්ල විය. එම මරණ පරීක්ෂණයේ දී ඔහු කියා සිටියේ මියගිය දරුවාට තිබී ඇත්තේ එක් වකුගඩුවක් පමණක් බවයි. නමුත් සැත්කමට පෙර කරන ලද ස්කෑන් පරීක්ෂණවලින් වකුගඩු දෙකක් තිබූ බවට සාක්ෂි ඇතැයි ඥාතීහු කියති.

දැන් එම මරණ පරීක්ෂණය ද ආන්දෝලනයකට තුඩු දී තිබේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!