spot_img
spot_imgspot_img

යුද සෙබළාගේ අවයව කරාපිටිය රෝහලේ දී වෙනත් පුද්ගලයන්ට පරිත්‍යාග කරයි

පුවත්

විදෙස්

රිය අනතුරක් හේතුවෙන් මොළය මියගිය හිටපු හමුදා සාමාජිකයකුගේ අවයව පරිත්‍යාග කිරීම පසුගිය දා (28) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදුකෙරිණි.

මෙලෙස අවයව දන්දීම සිදුකර ඇත්තේ රමුසිං කාකානම්ගේ නලින් කුමාර නමැති 35 හැවිරිදි පුද්ගලයකුගේය. ඔහු පිටබැද්දර, ඉරුම්ගල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.

ක්‍රියාන්විත රාජකාරියේ යෙදී  සිටිය දී 2009 වර්ෂයේ දී පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී උදරයට වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි නලින් කුමාර ඉන් සුවය ලැබුව ද 2015 වර්ෂයේ දී විශ්‍රාම ලබා නිවසට වී සිටියේ ය.

ඔහුගේ බිරිඳ දසනායක මුදියන්සේලාගේ චලනි සූරියමැණිකේ පවසන්නේ තම සැමියාට 2016 වර්ෂයේ සිට දිගින් දිගටම අධික හිසරදයක් තිබුණු බවයි.

“එයා මේ හිසරදය නිසා දිගටම ප්‍රතිකාර ගත්තා. බෙහෙත් ගන්නේ යුද හමුදා රෝහලේ සායනයෙන්. පහුගිය 25 වැනි දා මහත්තයා ප්‍රතිකාර ගන්න සායනයට යන්න කියලා පාන්දර 12.30ට විතර ගෙදරින් පිටත් වුණා. එයාගේ කාර් එකේ මාතර ගිහින් වාහනේ මාතර දාලා බස් එකේ යනවා කියලා තමයි ගියේ. මට උදේ 5.00ට විතර මාලිම්බඩ පොලිසියෙන් කෝල් එකක් ආවා. ඇවිත් මහත්තයා පදවගෙන ගිය මෝටර් රථය මාලිම්බඩ පාලටුව පාලම අසළ දී බෝක්කු කණුවක වැදිලා මහත්තයාට තුවාලයි මාතර රෝහලට අරගෙන ගියා කියලා. මම අයියලා එක්ක රෝහලට යනවිට මහත්තයාව කරාපිටිය රෝහලට යවලා මම කරාපිටියට යනකොට දැඩි සත්කාර ඒකකයේ හිටියේ. පස්සේ වෛද්‍යවරු කිව්වා මහත්තයාගේ මොළයට  හානි වෙලා තියෙනවා. මොළයේ සැත්කමක් කරලා තිබුණා.‍ ඒ නිසා ජීවිතය බේරගන්න බැහැ කියලා.”

27 වැනි දින කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු විසින් ඇයට දැනුම් දී ඇත්තේ සැමියාගේ මොළය මියගොස් ඇති බවයි. ඒ නිසා කැමතිනම් ඔහුගේ අවයව වෙනත් පුද්ගලයකු ජීවත් කරවීම සඳහා පරිත්‍යාග කළ හැකි බව ද වෛද්‍යවරු කියා තිබිණි. 

මහත්තයා දැඩි සත්කාර ඒකකයේ හිටියේ සිහිය නෑ. මහත්තයාගේ ඔළුවේ සැත්කමක් කර තිබුණා. මට රෝහලේ වෛද්‍යවරු කිව්වා ජීවත් කරවන්න අමාරු වේවි කියලා ඊයේ රෝහලේ වෛද්‍යවරු කිව්වා මොළය මියගිහින් අවයව දන් දෙන්න කැමති ද කියලා ඇහුවා. කැමත්ත දුන්නා.

බිරිඳගේ සහ දරුවන් දෙදෙනා නලින් කුමාරගේ අවයව පරිත්‍යාග කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ බැවින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඔහුගේ වකුගඩු දෙක සහ ඇස් වෙනත් අයකුට ලබාදීමේ කටයතුු සඳහා වෛද්‍ය විද්‍යානුකූලව ඉවත්කර ගැණිනි.  

‍මියගිය නලින් කුමාර මහතාගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ දී ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදී

අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ඩී.වීරරත්න මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සළකා බැලී චන්ද්‍රසේන ලොකුගේ මහතා මෙම මරණය රිය අනතුරක් හේතුවෙන් හිසට සිදු වූ තුවාල නිසා සිදුව ඇති බව තීරණය කළේය

මියගිය පසු තවත් පුද්ගලයන් කිහිප දෙනකු වෙනුවෙන් සිය අවයව පරිත්‍යාග කළ හිටපු හමුදා සාමාජික නලින් කුමාර මහතාගේ දේහය බිරිඳ වෙත බාරදීමට හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!