spot_img
spot_imgspot_img

ෂාෆ්ටර්ගේ මරණය ගැන විශේෂ සාකච්ඡාවක් පේරාදෙණියේ දී, මළ සිරුර තවමත් කරාපිටියේ

පුවත්

විදෙස්

දිනේෂ් ෂා‍ෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකර මරණයට හේතුව නිශ්චිතව තීරණය කිරීම සඳහා පත්කළ කමිටුව මෙතෙක් අනාවරණය කරගත් කරුණු විශ්ලේෂණය කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ දී විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

ඊයේ (23) ආරම්භ කරන ලද මෙම සාකච්ඡාව අද (24) දිනයේ දී ද පැවැත්වෙන බව එම කමිටුවේ සාමාජිකයෝ කියති.

රුහුණ විශ්වවිදයාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා, කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර,  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ ‍විද්‍යා අංශයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය දිනේෂ් ප්‍රනාන්දු,  කොළඹ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය අසේල මෙන්ඩිස් සහ මහනුවර ජාතික රෝහ‍ලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.ශිවසුබ්‍රමනියම් මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

ෂාෆ්ටර් මියගියේ සියදිවි නසා ගැනීමක් හේතුවෙන් යැයි ඔහුගේ දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තීරණය කර තිබිණි. නමුත් එම තීරණය පරස්පර විරෝධී කරුණුවලින් සමන්විත බවත් එය පිළිගත නොහැකි බවත් ෂාෆ්ටර්ගේ බිරිඳ නීතිඥයන් මින් අධිකරණයට විරෝධතා ගොනුකිරීම හේතුවෙන් මෙම මරණය සියදිවි නසාගැනීමක් ද නැතිනම් ඝාතනයක් ද යන්න තීරණය කිරීම සඳහා අධිකරණය විසින් අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂඨ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුව පත්කරන ලදී.

එම කමිටුවේ නිර්දේශය අනුව ෂාෆ්ටර්ගේ සිරුර නැවත ගොඩගෙන කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය අංශයට ගෙන එන ලදී. එහි දී එම සිරුර පරීක්ෂණ ගණනාවකට ලක්කළ අතර රසායනාගාර සහ පරීක්ෂණාගාර කිහිපයකට සිරුරේ විවිධ සාම්පල යොමුකරමින් ද ස්කෑන් පරීක්ෂණ සිදුකරමින් ද වාර්තා රැසක් ලබාගෙන ඇත.

මෙම කමිටුව ඊයේ සහ අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ දී රැස්වී එම වාර්තා විශ්ලේෂණය කරනු ලබයි.

එම කමිටු සාමාජිකයන් පවසන්නේ මෙම සාකච්ඡාවෙන් සමාලෝචනය කරන කරුණු මත පදනම්ව පමණක් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධ අවසන් තීරණයක් ලබාදිය නොහැකි බවයි. ඒ හේතුවෙන් තවත් එවැනි ම සාකච්ඡා කිහිපයක් පවත්වා කරුණු විශ්ලේෂණය කර අවසන් තීරණයක් ලබාදීමට බලාපොරොත්තුවන බවත් ඔවුහු කියති.

මෙම මරණය සම්බන්ධයෙන් අවසන් වාර්තාවක් සකස් කර එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන තුරු දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ අධි ශීතකරණයක බහා තබා ඇත. ඊට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබේ.

පරීක්ෂණ වාර්තාව සකස්කර අධිකරණයට ලබාදීමෙන් අනතුරුව අධිකරණයේ අනුමැතිය යටතේ එම සිරුර යළි භූමදාන කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!