spot_img
spot_imgspot_img

රුහුණ වෛද්‍යපීඨයේ සිසු දත්ත හොරකම් කර, නවාතැන් විකුණන ජාවාරමක් හෙළි වෙයි

පුවත්

විදෙස්

රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පාඨමාලා සඳහා ලියාපදිංචිවන විදේශීය සිසුන්ගේ පුද්ගලික පුද්ගලික තොරතුරු සොරාගෙන ඔවුන්ට කාමර සහ නවාතැන් පහසුකම් විකිණීමේ ජාවාරමක් පිළිබඳ අනාවරණය වෙයි.
අපට අනාවරණය වන පරිදි මේ ජාවාරම සිදුකරන්නේ වෛද්‍ය පීඨයේ ඇති සිසුන්ගේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශවීමේ හැකියාව ඇති තැනැත්තියක විසිනි.
වෛද්‍ය පීඨයේ ලියාපදිංචිවන සිසුන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර එම සිසුන්ට නවාතැන් පහසුකම් සහ ඒවායේ මිල ගණන් සම්බන්ධයෙන් ඊමේල් පණිවිඩයක් ලැබෙයි. එම පණිවිඩය යවන්නේ [email protected] නමැති විද්‍යුත් තැපැල් ලිපිනයකිනි. එහි සඳහන් වන්නේ රෝහිණී අලහප්පෙරුම නමැති තමන් වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ සේවය කරන බවයි.
නමුත් තනතුරක් සඳහන් කර නැත. ඇය පෙනී සිටින්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයකු ලෙස බවත් එසේ වුව ද ඇය අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවිකාවක බවත් වෛද්‍යපීඨයේ නිලධාරීන් ම කියයි.
එක් විදේශීය සිසුවකුට නවාතැන් සඳහා දිනකට ඩොලර් 07ක මුදලක් අයකරන බවත් වායුසමනය කළ කාමරයක් සඳහා නම් එම මුදල දිනකට ඩොලර් 10ක් බවත් ඇගේ ඊමේල් පණිවිඩයේ සඳහන් කර ඇත. එමෙන් ම තමන් සතුව කාමර 10ක් ඇති බව ද දෙදෙනකුට නවාතැන් ගත හැකි කාමර 04ක් සහ තිදෙනකුට නවාතැන් ගත හැකි කාමර 06ක් ඇති බවත්, ගැහැනු සහ පිරිමි ළමුන් 26 දෙනකු සඳහා නවාතැන් ඇති බවත් ඇය විදේශීය සිසුන් ශ්‍රී ලංකාවට පැමිණීමටත් පෙර යවන ලද ඊමේල්වල සඳහන් කර ඇත.
මේ පිළිබඳ අප රෝහිණී අලහප්පෙරුමගෙන් විමසූ විට ඇය විදෙස් සිසුන් සඳහා නවාතැන් ලබාදෙන බව පිළිගත්තාය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් මාධ්‍යවල හැකිනම් පළ කරන්න යැයි ද එයින් තමන්ට ගැටලුවක් නැතැයි ද කීවාය.
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සිසුන් සදහා කාමර පහසුකම් සපයන තවත් වෛද්‍යවරියක් ගැන ද වාර්තා වෙයි. එම වෛද්‍යවරිය ද තම විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කරමින්, විදෙස් සිසුන්ට යවන බවට චෝදනා එල්ල වී ඇත.
නවාතැන් පහසුකම් ලබාදෙන එම වෛද්‍යවරිය පවසන්නේ තමන් පදිංචි නැති නිවසක් නවාතැන් පහසුකම් ලබාදීම සඳහා විස්තර ඇතුළත් වෙබ් අඩවියකට යොමුකර ඇති බවයි. එමගින් තමන්ගෙන් විස්තර ඉල්ලූ අයට තම නිවසේ විස්තර විද්‍යුත් තැපැල් මගින් යවා ඇති බවත්, නමුත් කිසිම අවස්ථාවක තමන්ගේ නිල නාමයන් හෝ තනතුරු හෝ භාවිතා කර නොමැති බවත් ඇය පවසයි.”
වෛද්‍ය පීඨයේ ලියාපදිංචිවන විදේශීය සිසුන්ගේ පුද්ගලික තොරතුරු සොරකම් කර මෙලෙස නවාතැන් පහසුකම් විකිණීම සම්බන්ධයෙන් මීට පෙර ද චෝදනාවක් එල්ල වී ඇති බව රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිලධාරීහු කියති. ඒ නිසාම විදෙස් සිසුන් සඳහා නවාතැන් පහසුකම් සැපයීමට කැමති සහ සුදුසු ඇායතන ලියාපදිංචිකර ඒ බව විදෙස් සිසුන්ට දැනුම් දීමේ ක්‍රමවේදයක් සකස් කර තිබී ඇත. නමුත් දැන් එම ක්‍රමය නැවත ඉවත්කර තිබේ. කෙසේ වෙතත් වෛද්‍යපීඨයේ සේවිකාවක විසින් මෙලෙස සිසුන්ගේ පුද්ගලික දත්ත සොරකම් කර ඔවුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධන කිරීම සම්බන්ධයෙන් තරයේ අවවාද කර ඇති බව ද වාර්තා වෙයි.
මේ පිළිබඳ අප රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය තිලක් වීරරත්නගෙන් විමසූ විට ඔහු කියා සිටියේ විදේශීය සිසු සිසුවියන් වරින් වර වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන බවයි. ඔවුන්ගේ දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන මෙවැනි දෙයක් කරනවා ද යන්න ගැන තමන්ට මෙතෙක් වාර්තා වී නැති බවත් ඒ පිළිබඳ සොයා බලන බවත් මහාචාර්යවරයා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!