spot_img
spot_imgspot_img

ව්‍යාපාරික හිමිවරුන් සහ දේශපාලන ඥාතීන් අලි-මිනිස් ගැටුම වැඩි කරන හැටි

පුවත්

විදෙස්

සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

රජය විසින් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී ඇති ණය කොන්දේසි මත පදනම් ව ඉඩම් සමාගම්වලට ලබා දෙන අතරතුර එම රාජ්‍ය ප්‍රතිපත්තිය භාවිත කර විශාල නින්දගම් ඉඩම් හිමි විහාර හා දේවාලවල නායක හිමිවරුන් හා බස්නායක නිලමෙවරුන් විසින් මහ පරිමාණයෙන් ඉඩම් සමාගම් සතු කිරීම සිදු කරමින් පවතී.

සොරගුනේ දේවාලයට අයත් නින්දගම් ඉඩම් හා නාකොලගනේ රජමහ විහාරයට අයත් නින්දගම් ඉඩම් වාණිජ වගාවන් සඳහා මහ පරිමාණයෙන් ලබා දීම ඊට හොඳ ම උදාහරණයකි.

එසේ ලබා දී ඇති ඉඩම් සියල්ල අලි – ඇතුන් ජීවත් වන වනාන්තර වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථාන හා වැව්වල ජලපෝෂක ප්‍රදේශ ලෙස පැවති රජයේ වනාන්තර ඉඩම් ඇතුළු ව ජනතාව ගේ වගා බිම් අක්කර 5000 කට වැඩි ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත් පත් කර ගෙන නාකෙළගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් යැයි සඳහන් කර ව්‍යාපාරිකයන්ට හා ඩෙල්මෝ සමාගම ඇතුළු විවිධ සමාගම්වලට බදු දීමේ මහා ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ ජාවාරම සඳහා දේශපාලන රැකවරණය දේශපාකයන් විසින් ලබා දෙන අතර අඹන්පොල, ඇහැටුවැව හා ගල්ගමුව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරී හා  ප්‍රාදේශීය ලේකම් විසින් මෙම ඉඩම් ජාවාරම සඳහා නීතිමය රැකවරණය ලබා දේ. රාජ්‍ය නිලධාරීන් විසින් මෙම ඉඩම් ජාවාරම සඳහා ව්‍යාජ සන්නස් පවා සකසා දී ඇති අතර එය භාවිත කර මෙම දැවැන්ත ඉඩම් ජාවාරම සිදු කරනු ලැබේ.

අලි – ඇතුන් ගේ සුවිශේෂී වාසස්ථානයක් වන පාලුකඩවල වැව් ඉහත්තාව හා ඒ ආශ්‍රිත වනාන්තර එළිපෙහෙළි කර වාණිජ වගාවන් සඳහා යොදා ගැනීම හේතුවෙන් පවුල් 76 ක් පමණ ජීවත්වන ඇතිනිමලේ ගම, පවුල් 7 ක් පමණ ජීවත්වන හිරිගොල්ලාගම, පවුල් 23 ක් පමණ ජීවත්වන ආඩිගම හා පවුල් 98 ක් පමණ ජීවත් වන ඒරියාව ගම ඇතුළු ගම්මාන රැසක් දරුණු අලි – මිනිස් ගැටුමකට ගොදුරු වී ඇත. 

හල්දුම්මුල්ල, සොරගුනේ දේවාලයට අයත් අක්කර 6245 ක් පමණ වන නින්දගම් ඉඩම් මෙම දේවාලයේ බස්නායක නිලමේ විසින් මහ පරිමාණයෙන් සමාගම්වලට, ව්‍යාපාරිකයන්ට හා දේශපාලකයන් ඇතුළු ධනවතුන්ට ලබා දී තිබේ. පුද්ගලික සමාගම්වලට, දේශපාලකයන්ට සහ ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ට, අලි – ඇතුන් ජීවත් වන මෙම වනාන්තර ඉඩම් ලබා දී ඇති අතර මේ වන විට එම ඉඩම් එළිපෙහෙළි කර වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම හා හෝටල් ඉදි කිරීම සිදු කර තිබේ. මේ නිසා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වෑඑළිය, පතහ, දඩයම්පොළ, අමිලගම, වැලිබිස්ස, කිරවනාගම, සොරගුනේ හා රන්වන්ගුහාව යන ගම්මානවල ජීවත් වන ජනතාව අලි – මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වී ඇත.

මීට අමතර ව රක්ෂිත වනාන්තර තුළ පිහිටි ඉඩම් වාණිජ වගාවන් සඳහා ලබා දීමට රජය විසින් ක්‍රියාත්මක කරන සැලැසුම් ඉතා ම සූක්ෂම ව සිදු කරමින් පවතී. ඒ අනුව වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පවතින වනාන්තරවල දීර්ඝ කාලයක් පදිංචි හා වගා බිම් පවත්වාගෙන යන ජනතාව ගේ ගැටළු විසඳීම සඳහා යාපනය, වවුනියාව, මුලතිව්. කිලිනොච්චි, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල රක්ෂිත ඉඩම් නිදහස් කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශය සඳහා 2023 ජනවාරි මස 23 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

ඒ මගින් ඩෝල් සමාගමට ඉඩම් ලබා දී ඇති ආකාරයට ම රක්ෂිත වනාන්තරවලට අයත් ඉඩම් ජනතාව විසින් සමාගම්වලට ලබා දීමේ ක්‍රියාවලියට මඟ පාදා දීම මේ මගින් සිදු කර ඇත. මේ මගින් රක්ෂිත වනාන්තර තුළ ජීවත් වන අලි – ඇතුන් ගම් වැදීම වර්ධනය වීමට පසුබිම ගොඩනැංවෙන බව අවබෝධ කර ගෙන නොමැති වීම කණගාටුවට කරුණකි. මේ සියල්ල ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ක්‍රියාත්මක වන ප්‍රතිපත්තිමය තීරණයන් ය.

ආණ්ඩුවේ මෙම ඉඩම් ප්‍රතිපත්ති භාවිත කර දැවැන්ත රක්ෂිත වනාන්තර කොල්ලයක් මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වත්තේගම – කැඹිලිත්ත වන රක්ෂිතය තුළ සිදු වේ.

ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ මෙහෙයවීම යටතේ රක්ෂිත ඉඩම් අත්පත් කර ගෙන පසුගිය කාලය පුරා ම වරින්වර මෙම වනාන්තර ඉඩම් එළි කර ඒක බෝග වාණිජ වගාවක් ලෙස බඩඉරිගු වගා බිම් පවත්වාගෙන ගිය ද ඊට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මේ වන විට ව්‍යාපාරිකයන් කණ්ඩායමක් හා නීතීඥවරු කිහිපදෙනෙකු එක් ව සංවිධානාත්මක ව මෙම වන රක්ෂිතයට අයත් ඉඩම් අත්පත්කර ගැනීම සිදු කරමින් පවතී.

ඒ හේතුවෙන් අලි – ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථානයක් අහිමි වීම නිසා අවට ගම්මාන රැසක් අලි – මිනිස් ගැටුමේ ගොදුරක් තත්ත්වයට පත් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!