spot_img
spot_imgspot_img

විදේශ ණය නිසා, අලි – මිනිස් ගැටුම වර්ධනය වෙලා ?

පුවත්

විදෙස්

සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවට ණය ලබා දීමේ දී එම ණය වාරික හා පොළිය නිසි පරිදි අය කර ගැනීමට හැකි වන පරිදි රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමේ ක්‍රමවේද පිළිබඳ ව වැඩි අවධානය යොමු කිරීමේ දී මෙරට ස්වාභාවික සම්පත් ඇතුළු පොදු දේපොළවලට හානි කර බලපෑම් එල්ල වන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට රජයන්ට සිදු වී ඇත.

ලෝක බැංකුව විසින් 1996 වසරේ දී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය වර්ධනය සඳහා සකස් කළ Sri Lanka Nonplantation Crop Secter Policy Alternatives නම් වාර්තාවේ සඳහන් වන්නේ ලංකාවේ සුළු පරිමාණ ගොවීන් සිදු කරන කුඩා පරිමාණ කෘෂිකර්මාන්තය ඉතා ම අවාසිසහගත බැවින් ඒ සඳහා විකල්පයක් ලෙස මහ පරිමාණ වාණිජ වගාවන් සඳහා ආයෝජනය කිරීමට එම ඉඩම් යොදා ගැනීම ඵලදායී වන බව ය.

ලෝක බැංකුව විසින් 2015 වසරේ දී ප්‍රකාශයට පත් කළ Sri Lanka Ending Poverty and promoting shared prosperity: A systematic country diagnostic නම් වාර්තාවට අනුව රජය විසින් මෙරට දුප්පත්කම දුරලීම සඳහා ගත යුතු උපායමාර්ග පිළිබඳ ව අවධානය යොමු කර ඇත. එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ මෙරට සංකීර්ණ වූ ඉඩම් නීති හා විදේශිකයන්ට ඉඩම් ලබා ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාවන් නීතියෙන් අහුරා තිබීම ආයෝජන අවස්ථා වර්ධනය නොවීමට ප්‍රධාන වශයෙන් ම බලපා ඇති බව ය. ඒ සඳහා පිළියම් වශයෙන් ඉඩම් නිදහස් වෙළෙඳපොළ යාන්ත්‍රණයට ලක් කළ යුතු බව පෙන්වා දී තිබේ.

මීට අමතර ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (International Monetary Fund – IMF) විසින් 2016 ජුනි 03 වන දින ශ්‍රී ලංකාවට වසර තුනක් සඳහා ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් අනුමත කිරීමේ දී ප්‍රධාන කරුණු 6 ක් යටතේ කෙටිකාලීන හා මධ්‍යකාලීන අසමතුලිතතා සහ අභියෝග ජය ගැනීම සඳහා උපායමාර්ගික ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ සඳහා කොන්දේසි ඉදිරිපත් කෙරිණ. ඒ සඳහා වන වාර්තාව 2016 මැයි 19 වන දින Staff report for the 2016 article iv consultation and request for a three year extended arrangement under the extended fund facility නමින් ඉදිරිපත් කර තිබුණි. ඒ යටතේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව, ආදායම් බලමුලුගැන්වීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය, මූල්‍ය ප්‍රතිපත්ති ඉහළ නැංවීම සහ වෙළෙඳ හා ආයෝජන පහසුකම් සැපයීම සිදු කළ යුතු විය.

ඉන් පසු ව මේ වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදල් වසර 4 ක් තුළ වාරික වශයෙන් ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සකස් කළ Request for an extended arrangement under the extended fund facility of Sri Lanka, 2023  වාර්තාවට අනුව ශ්‍රී ලංකා රජය විසින් ණය කොන්දේසි 10 ක් ඉටු කළ යුතු ව ඇත. ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගතකරන සැලැසුම් අප්‍රේල් මස අවසන් වන විට ඉදිරිපත් කිරීම, එක්සත් ජාතීන් ගේ ප්‍රමිතීන්ට අනුකූල ව දූෂණ විරෝධී නීතියක් හඳුන්වා දීම, රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර රජය ඉතා ඉක්මනින් ගැනීම, ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලැබෙන ධන බද්දක් අය කිරීම, දේපළ හා ධන හුවමාරු බද්ද 2025 වන විට හඳුන්වා දීම, 2023 වසර අවසන් වන විට උද්ධමනය 12% ත් 18% ත් අතර මට්ටමකට ගෙන ඒම, ජුනි මස අග වන විට දැනට පනවා ඇති ආනයන හා අපනයන සීමා ඉවත් කිරීම, විනිමය අනුපාත නම්‍යශීලීව පවත්වාගෙන යාම, මහ බැංකුව වඩා ස්වාධීන කිරීම සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් හඳුන්වා දීම ණය කොන්දේසි ලෙස ඉදිරිපත් කර ඇත.

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අප වෙත ලබා දෙන ණය කොන්දේසි නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රධාන අංගයන් වේ. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති තුළ අන්තර්ගත වන්නේ රටක සියලු ස්වාභාවික සම්පත් ඇතුළු පොදු දේපොළ සියල්ල වෙළෙඳපොල යාන්ත්‍රණයට ලක් කිරීම හා සමාජ සුබසාධනය අහෝසි කිරීම ය. ඒ සඳහා 1947 වසරේ දී ඔස්ටි්‍රයානු දේශපාලනික දාර්ශනිකයකු වූ ප්‍රීඩ්රිච් වොන් හයෙක් (Friedrich Von Hayek) ගේ නායකත්වයෙන් මොන්ට් පෙලෙරින් සමාජය (Mont Pelerin Society) පිහිටුවාගත් අතර එමගින් නව ලිබරල් චින්තනයේ ආරම්භය සිදු විය. නව ලිබරල් ආර්ථික ව්‍යුහයේ ප්‍රධාන අංග වන්නේ ආර්ථිකයේ රාජ්‍ය මැදිහත්වීම අවම මට්ටමකට පත් කිරීම, රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම, රාජ්‍ය අයවැය සමතුළිත තත්ත්වයට පත් කිරීම, වෙළෙඳ බාධක ඉවත් කිරීම, සුබසාධක රාජ්‍ය අහෝසි කිරීම හෝ අවම කිරීම, මූල්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා මහ බැංකු කාර්යභාරය සීමා කිරීම ය. මේ සියල්ල ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා දී ඇති ණය කොන්දේසි හා එකිනෙක ඉතා ම හොඳින් සමපාත වේ.

2016 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසිවල ඇතුළත් වෙළෙද හා ආයෝජන පහසුකම් සැපයීම සහ 2023 වසරේ ණය කොන්දේසිවල ඇතුළත් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට පියවර ගැනීම යන කරුණු තුළ අන්තර්ගත ව ඇත්තේ රජයට අයත් ඉඩම් වෙළෙදපොල යාන්ත්‍රණයට ලක් කිරීම ය. ඒ සඳහා වන සැලැසුම් ප්‍රතිපත්ති හා අණ පනත් වෙනස් කිරීම මගින් ක්‍රියාත්මක කිරීමට මෑත ඉතිහාසය තුළ බලයට පත් වූ සෑම රජයක් විසින් ම පියවර ගෙන තිබේ. ඒ සඳහා වන ප්‍රධාන සැලැසුම ක්‍රියාත්මක කෙරුනේ 05/2001 අංක දරන චක්‍රලේඛය ඉවත් කිරීම මගිනි.

ඒ සඳහා 2020 ජූලි මස 01 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ, ලේකම් විසින් නිකුත් කළ 2020 නොවැම්බර් මස 04 වන දින අංක MWFC/01/2020 දරන චක්‍රලේඛයේ සඳහන් කර ඇත්තේ මීට ප්‍රථම ප්‍රකාශිත 1998.07.01 දින අංක 05/98 දරන, 2001.08.10 වන දින අංක 5/2001 දරන හා 2006.05.17 වන දින අංක 02/2006 දරන චක්‍රලේඛ ත්‍රිත්වය අවලංගු කර වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් හා වනජීවී සංරක්ෂණ ජනරාල් විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති වනජීවී ප්‍රදේශ හැර අනෙක් රජයේ ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් භාරයේ තබා ගන්නා ලෙස ය.

මෙම චක්‍රලේඛයේ සඳහන් ඉඩම් මැනීම් කිරීම සඳහා ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, ආර්. ඒ. ඒ. කේ. රණවක විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා සියලූ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත “රජයේ ඉඩම් මැන වෙන් කිරීම” සඳහා වන චක්‍රලේඛයක් 2021 අගෝස්තු මස 6 වන දින අංක 02/2021 යටතේ නිකුත් කෙරින. මෙම චක්‍රලේඛය මගින් අවධානය යොමු කර ඇත්තේ ඉඩම් සංවර්ධන ආඥාපනතේ 8 වන වගන්තියට අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය හා විශේෂ විධිවිධානවලට යටත් ව ප්‍රාදේශීය ලේකම්වරුන්ට රජයේ ඉඩම් විවිධ කාර්යන් සඳහා මැන වෙන් කරනු ලැබිය හැකි බැවින් විවිධ සංවර්ධන කටයුතු, ගම් පුළුල් කිරීම හා අනාගත සංවර්ධන කටයුතු සඳහා ආරක්ෂා කිරීමට ඉඩම් මැනීම් කර හඳුනා ගැනීමට කටයුතු කරන ලෙස ය.

මෙම චක්‍රලේඛය ඉඩම් අමාත්‍යංශයේ ලේකම් විසින් ඉදිරිපත් කර ඇත්තේ 2020 ඔක්තොම්බර් මස 26 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා හා ඉඩම් අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් කණ්ඩායම විසින් ඒකාබද්ධ ව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව ය.

මෙම චක්‍රලේඛ දෙක ම වන සංරක්ෂණ ආඥාපනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරමින් ඉදිරිපත් කර ඇත. 2014 වසරේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළ යුතු යෝජිත රක්ෂිත හා රජයට අයත් වෙනත් කැලෑ ලෙස හඳුන්වන වන සංරක්ෂණ ආඥාපනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වන වනාන්තර 103 ක් ඇති අතර ඒවායෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 2,24,564 ක් නැතහොත් අක්කර 5,79,608 ක් පමණ වේ. එම සියලු වනාන්තර මෙම චක්‍රලේඛ මගින් සංවර්ධන භාවිතයන් සඳහා ලබා ගැනීමට නියමිත අතර එය වර්තමානයේ ලංකාවේ ඉතිරි වී ඇති වනාන්තර ප්‍රමාණයෙන් 11.5% ක් තරම් ඉතා ඉහළ ප්‍රතිශතයකි. මෙම වනාන්තර වලින් 60% ක් පමණ අලි – ඇතුන් ජීවත් වන වනාන්තර වීම විශේෂත්වයකි.

මෙම තත්ත්වයන් මත පදනම් ව එම චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමට එරෙහි ව පරිසර යුක්ති කේන්ද්‍රය මගින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබුණ ද සමහර දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම චක්‍රලේඛ අවභාවිත කරමින් අලි – ඇතුන් ජීවත්වන රජයට අයත් වනාන්තර ඉඩම් බෙදා දීම හා සමාගම් සතු කිරීම සිදු කරමින් පවතී. මේ නිසා රක්ෂිත වනාන්තරවලින් පරිබාහිර රජයට අයත් වනාන්තරවල ජීවත් වූ අලි – ඇතුන් වාසස්ථාන අහිමි වීම හේතුවෙන් ගම් වැදීම බහුල ලෙස සිදු වෙමින් තිබේ. මේ ආකාරයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගන්නා වැරදි තීන්දු තීරණවලට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු වී ඇත්තේ අලි – ඇතුන්ට හා මිනිසුන්ට ය.

ලෝක බැංකුව විසින් 1996 වසරේ දී හා 2015 වසරේ දී රජය වෙත ලබාදුන් නිර්දේශවලට අනුව මහ පරිමාණ වාණිජ වගාවන් සඳහා යොමු වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් තිබේ. මීට අමතර ව Millennium Challege Corporation (MCC) මගින් 2017 වසරේ දී සකස් කළ Sri Lanka Constraints Analysis Report නම් වාර්තාවේ ලංකාවේ සංකීර්ණ ඉඩම් නීති පද්ධතිය සංශෝධනයට ලක් කර පහසුවෙන් ආයෝජන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමට හැකි වන පරිදි නීති පද්ධතිය සංශෝධනය කිරීමට පියවර ගත යුතු ආකාරය පිළිබඳ ව මඟපෙන්වීම් ලබා දී ඇත. මෙහි දී භාවිත වන මූලික සිද්ධාන්තය වන්නේ පහසුවෙන් පැවරිය හැකි ඔප්පු ජනතාව වෙත ලබා දී වාණිජ කෘෂිකර්මාන්තය සඳහා සමාගම්වලට පහසුවෙන් ඉඩම් ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම ය. ඒ සඳහා විවිධ අණ පනත් හා චක්‍රලේඛ මෙන් ම ගැසට් නිවේදන සංශෝධනය කිරීම ද සිදු කළ යුතු විය. MCC ගිවිසුම අත්සන් තැබීම සිදු නොකළ ද එහි අරමුණු ක්‍රියාත්මක කිරීම පසුගිය හා වත්මන් රජයන් විසින් සිදු කරමින් පවතී.

මේ තත්ත්වයන් මත පදනම් ව පසුගිය කාලය තුළ දී සමාගම්වලට මහ පරිමාණ වාණිජ වගාවන් සඳහා රජයේ ඉඩම් ලබා දීම බහුල ව සිදු කෙරින. මොනරාගල හා අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකෙහි ගොවීන්ට හා වන සතුන්ට අයත් අක්කර 75,000 ක් පමණ ගිවිසුම් මගින් අත්පත් කර ගෙන ක්‍රියාත්මක වන කේ. එස්. ටී. එවර්ග්‍රීන් පුද්ගලික සමාගමට කන්තලේ ප්‍රදේශයේ බඩඉරිගු වගාව සඳහා තවත් ඉඩම් අක්කර 2000 ක් ලබා දීම, අම්පාර, පොල්ලෙබැද්ද-රඹකැන්ඔය ඉඩම් අක්කර 5426 ක් සමාගම් 15 කට බඩඉරිගු වගාව සඳහා ලබා දීම, මොනරාගල, අනුරාධපුරය හා බදුල්ල දිස්ත්‍රික්ක තුනේ වනාන්තර ඉඩම් අක්කර 80,000 ක් බඩඉරිගු වගාව සඳහා ලබා දීම, පැල්වත්ත සීනි සමාගම සඳහා දෙමලිය හා වන්දම ප්‍රදේශයෙන් වනාන්තර අක්කර 7000 ක් උක් වගාව සඳහා ලබා දීම, අයි. එම්. එස්. හෝල්ඩින් පුද්ගලික සමාගමේ හා ගැසල් වෙන්චස් පුද්ගලික සමාගමේ උක් වගා ව්‍යාපෘතිය සඳහා බිබිල ප්‍රදේශයේ අක්කර 62,500 ක් ලබා දීම, ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විස් පුද්ගලික සමාගම හා අනුබද්ධ ඇවන්ට් ඇග්‍රෝ පුද්ගලික සමාගමේ අක්කර 40,000 ක බඩඉරිගු වගා ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා අක්කර 5000 ක් ලබා දීම, ඇමෙරිකානු සමාගමක් හා අනුබද්ධ අව්රා ලංකා හර්බල් පුද්ගලික සමාගමේ කෝමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අක්කර ලක්ෂයක් ලබා දීම සහ පොළොන්නරුව, කන්දකාඩුව ප්‍රදේශයේ අක්කර 8500 ක් සමාගම්වලට ලබා දීම සිදු කර ඇත. මේ සඳහා කැබිනට් අනුමැතීන් ලබා ගැනීම හා සමහර ඉඩම් පවරා දීම ද මේ වන විට සිදු කර අවසන් ව තිබේ. බොහෝ ඉඩම් සමාගම්වලට පවරා දීමට එරෙහි ව ජනතාව විසින් සිදු කළ බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස එම ක්‍රියාවලීන් තාවකාලික ව අත්හිටුවා ඇත.

මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ දැනට ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල ඉඩම් ද මේ වන විට මහ පරිමාණයෙන් සමාගම්වලට වාණිජ වගාවන් සඳහා ලබා දෙමින් තිබේ. මාදුරු ඔය ජලාශයේ දකුණු ඉවුරු සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තොප්පිගල සිට කන්දකාඩුව, නෙලුගල ප්‍රදේශය ආවරණය වන පරිදි අක්කර ලක්ෂයකට වැඩි වනාන්තර භූමි ප්‍රමාණයක් සංවර්ධනය කරමින් පවතී. මේ වන විට විවිධ සමාගම්, සහල් මෝල් හිමිකරුවන්, ව්‍යාපාරිකයන් හා ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් විශාල ඉඩම් ප්‍රමාණයක් වාණිජ වගාවන් සඳහා අත්පත් කර ගෙන ඇත. මෙම වනාන්තර පද්ධතියේ අලි – ඇතුන් 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ජීවත් වන අතර එම භූමිය සම්පූර්ණයෙන් ම මෙම සතුන්ට අහිමි කර ඇත.

මේ ව්‍යාපෘතිය යටතේ අවතැන් වන අලි – ඇතුන් ගේ වාසස්ථාන සුරක්ෂිත නොකර වනාන්තර ඉඩම් සියල්ල ම එළිපෙහෙළි කර සමාගම්වලට ලබා දීමෙන් සංවර්ධනය හා සංරක්ෂණය එකිනෙකට සමපාත නොවීමෙන් ගම්මාන රැසක් අලි – මිනිස් ගැටුමේ දරුණු ගොදුරක් තත්ත්වයට පත් වී ඇත. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිදන්වල, අරුණපුර, දම්මින්න, කන්දේගම, අරලගන්විල, පන්සියතුන ගම්මානය, ගල්තලාව, දේවගල, දියපොකුණ, නෙළුම්වැව, බොරවැව, බෝවත්ත, වැලිකන්ද ඇතුළු ගම්මාන, මඩකලපුව දිස්ත්‍රික්කයේ කන්ඩිකුඩිච්චි ආරු, කරදියනාරු ගම්මාන සහ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ඇතුළු ගම්මාන දරුණු අලි – මිනිස් ගැටුමකට ගොදුරු කර ඇත්තේ මාදුරු ඔය දකුණු ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙනි.

මහවැලි ගංගාවේ පහළ නිම්නයේ රක්ෂිත වනාන්තර ජාලය හා සම්බන්ධ කන්දකාඩුව හා ත්‍රිකෝණමඩු වනාන්තරයේ හෙක්ටයාර 3415 ක් නැතහොත් අක්කර 8500 ක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට පවරා එම ඉඩම් වාණිජ කෘෂිකාර්මික හා සත්ත්ව පාලන ව්‍යාපෘති සඳහා මහ පරිමාණ සමාගම් වලට ලබා දීමට රජය විසින් පියවර ගෙන තිබේ. මේ සඳහා වන කැබිනට් අනුමැතිය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට 2018 නොවැම්බර් 21 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව අලි – ඇතුන් ගේ සුවිශේෂී වාසස්ථානයක් වූ මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන කන්දකාඩු ඔයේ පිටාර තැනි ආශ්‍රිත ව පිහිටි විල්ලු හා ජල පෝෂක වනාන්තර මෙලෙස සමාගම්වලට ලබා දීම සිදු කර තිබේ. 300 කට අධික අලි ගහනයක ගේ නිජබිම වූ මෙම ප්‍රදේශය විනාශ කිරීම නිසා දැනට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද, සේරුනුවර, ලංකාපුර, මැදිරිගිරිය, තමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගම්මාන වල පවතින අලි – මිනිස් ගැටුම උග්‍ර මට්ටමකට පරිවර්තනය වී ඇත. විශේෂයෙන් මහවැලි බී කලාපයට අයත් ගම්මාන 38 න් ගම්මාන 27 ක පමණ අලි – මිනිස් ගැටුම වර්ධනය වී තිබේ.

සමාගම්වල අවශ්‍යතාවන් සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ අලි – ඇතුන් ජීවත් වන වනාන්තර භාවිතයට අවස්ථාව ලබා දුන් එක් උදාහරණයක් වන්නේ ඩෝල් සමාගම ය. නීති විරෝධී ව රක්ෂිත ඉඩම් අත්පත් කර ගෙන අපනයනය සඳහා වාණිජ වගාවක් ලෙස කැවැන්ඩිස් කෙසෙල් ප්‍රභේදය නිෂ්පාදනය කරන ලෝකයේ අපකීර්තිමත් ඉතිහාසයක් හිමි බහු ජාතික ඩෝල් සමාගමට මහින්ද රාජපක්ෂ ජනපති ලෙස කටයුතු කළ සමයේ සිට අද දක්වා පැවති සියලූ ම රජයන් රාජ්‍ය අනුග්‍රහය ලබා දී තිබේ. අලි – ඇතුන් ගේ වාසස්ථාන, ජලපෝෂක වනාන්තර බිම් හා ගොවි බිම් විනාශ කර සීමාසහිත ඩෝල් ලංකා පුද්ගලික සමාගම ශෂේන්ද්‍ර රාජපක්ෂ ගේ පූර්ණ මඟ පෙන්වීම මත ක්‍රියාත්මක වෙමින් වියළි කලාපයේ ස්ථාන ගණනාවක නීති විරෝධී ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල වගා බිම් පිහිටුවීම සිදු කර තිබේ. එම නීති විරෝධී වගා බිම් ඉවත් කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණ නියෝග ලබා ගැනීම සිදු කර තිබුණ ද එම නියෝග අත්හිටුවා නැවත එම ඉඩම් අදාළ සමාගමට ලබා දීමට රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස කටයුතු කළ පසුගිය සමයේ දී පියවර ගැනින.

එහි පළමු පියවර වශයෙන් මෙම ඉඩම් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගෙන තිබේ. ඒ සඳහා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් 2016.09.15 වන දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක සී.පී.16/1934/752/023 යටතේ “සී/ස ඩෝල් ලංකා පෞද්ගලික සමාගම නමින් මොනරාගල දිස්ත්‍රික්කයේ කුඩා ඔය සහ දෙමෝදර පිහිටි කෙසෙල් වගා කරනු ලැබූ ඉඩම් නියමානුකූල කිරීම” මැයෙන් කැබිනට් මණ්ඩලය වෙත සන්දේශයක් ඉදිරිපත් කෙරින. එම සන්දේශය සඳහා එවකට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ මෙන් ම ඉඩම් හා මුදල් අමාත්‍යවරුන් ගේ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.

මෛත්‍රිපාල සිරිසේන ගේ අත්සනින් යුතු ව යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල නිරීක්ෂණ වල ප්‍රථමයෙන් සඳහන් කර ඇත්තේ ඩෝල් ලංකා පුද්ගලික සමාගම වගා බිම් ස්ථාපිත කිරීමට ප්‍රථම කිසිදු අවස්ථාවක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලීමක් සිදු කර නොමැති බව ය. මීට අමතර ව ඩෝල් සමාගම දෙමෝදර හා කුඩා ඔය පිහිටි වගා බිම් අනවසරයෙන් භුක්ති විඳින බවට අධිකරණය ඉදිරියේ පිළිගෙන ඇති බව ද සඳහන් කර තිබේ. නමුත් හිටපු ජනාධිපති ගේ නිරීක්ෂණ වාර්තාවේ අවසානයේ දක්වා ඇත්තේ ඩෝල් සමාගමට මෙම ඉඩම් ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමක් සකස් කර නීතිපති වෙත යොමු කර අනුමැතිය ලබා ගන්නා ලෙස ය. ඒ අනුව මේ වන විට නීතිපතිවරයා විසින් මෙම ඉඩම් ඩෝල් සමාගම වෙත කෙසේ හෝ ලබා දීමට ඇති හැකියාව පිළිබඳ ව අධ්‍යයනය කරමින් සිටී.

නමුත් ලංකාවේ පවතින ඉඩම් හා පාරිසරික නීති රීති වලට අනුව ඩෝල් සමාගම වෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ලබා දීමේ හැකියාවක් නොමැත. යම් කිසි සමාගමක් වෙත ආයෝජන ව්‍යාපෘතියක් සඳහා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඉඩම් නිදහස් කරනු ලබන්නේ එම ව්‍යාපෘතිය පිළිබඳ ව සිදු කරන ඉල්ලීමකට අනුව එහි ශක්‍යතාව අදාළ රාජ්‍ය ආයතන විසින් පරීක්ෂා කර අනුමැතිය ලබා දී තිබේ නම් පමණි. එම අනුමැතීන්ට යටත් ව රජයේ ඉඩම් ආඥා පනතේ 199 (උ) වගන්තියට අනුව දීර්ඝ කාලීන බදු ගිවිසුමක් යටතේ ඉඩම් නිදහස් කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා ඉඩම් අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන අතර ජනාධිපතිවරයා ගේ නිර්දේශ යටතේ ඉඩම් නිදහස් කිරීම සිදු කරනු ලැබේ.

නමුත් ඒ සියල්ල උල්ලංඝනය කර ඩෝල් සමාගම විසින් අලි – ඇතුන් ගේ වාසස්ථාන වන ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය මායිමේ පිහිටි ඉඩම් පමණක් නොව මැණික් ගගේ හා කිරිදි ඔයේ ජලය ද මහ පරිමාණ වගා බිම්වලට ලබාගැනීම හේතුවෙන් වෙහෙරගල ජලාශයට හා ලුණුගම්වෙහෙර ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය ද සීමා වී ඇත. ඒ තත්ත්වය අලි – ඇතුන් ගම් වැදීමට බලපාන ප්‍රධාන සාධකයක් වී ඇත. ඩෝල් සමාගම පමණක් නොව නෙල්නා සමාගම ද මේ ප්‍රදේශයේ අලි – ඇතුන් ගේ වාසස්ථාන අත්පත් කර ගෙන විදුලි වැටවල් සකස් කර වගා බිම් පවත්වාගෙන යන අතර වාසස්ථාන අහිමි වූ අලි – ඇතුන් ගම්මානවලට පිවිසීම හේතුවෙන් උග්‍ර අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!