spot_img
spot_imgspot_img

“මගේ නම විකුණන, ජාවාරම්වලට අහුවෙන්න එපා” ඇමති මනුෂ කියයි

පුවත්

විදෙස්

විදේශ රැකියා ලබාදීමට හැකියාව ඇති බව කියමින් තම සහෝදරයන්, ඥාතීන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් ගැරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත් එවාට නොරැවටෙන ලෙසත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර දැනුම් දෙයි.

විදේශ රැකියා ලබාදීමට හැකියාව ඇති බව පවසමින් මුදල් එකතු කරන කිසිම පුද්ගලයකුට  මුදල් ලබා නොදෙන ලෙසත් එවැනි ගනුදෙනු සම්බන්ධයෙන් තමන් හෝ අමාත්‍යාංශය හෝ වගකීම නොදරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත සඳහන් කළේය.

විදේශ රැකියා අවස්ථා මුදල්වලට ලබා දීමට හැකියාවක් නැති බවත්, මනූෂ නානායක්කාරගේ සහෝදරයන්, ඥාතීන්, කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ හිතවතුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන අය සමඟ තමන්ගේ සම්බන්ධයක් නැති බවත් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත්කරමින් කියා ඇත. තමන් හා සම්බන්ධ කිසිම අයකු විදේශ රැකියා නියෝජිත ආයතන පවත්වාගෙන යාමේ ව්‍යාපාරයට සම්බන්ධතා නොමැති බව ද එම නිවේදනයේ ඇමතිවරයා සඳහන් කර තිබේ.

“විදේශ රැකියා සදහා යොමු කරන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් රැස් කරන ජාවාරම් දිවයින පුරා විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වෙනවා. එවැනි ජාවාරම් වැළැක්වීම සදහා දැඩි නීතිමය පියවර ගැනීමට අපි සක්‍රීය ලෙස මැදිහත්වන වනවා. මේ ජාවාරම්කරුවන් මගේ නම පවා විකුණන බවට වාර්තා වෙනවා. ඒ නිසා ඒවාට රැ‍වටෙන්න එපා කියා මා ඉල්ලා සිටිනවා. මට ඒ සම්බන්ධ වගකීමක් ගන්න බැහැ.” අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමට හැකි වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනවලට පමණක් වන අතර, එම ආයතන සමග පමණක් සම්බන්ධවී කටයුතු කරන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

එමෙන්ම මෙවැනි ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හෝ ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!