spot_img
spot_imgspot_img

ඖෂධ සැපයීම් ඇණහිටී, රෝහල් පද්ධතියේ ම විශාල ගැටලුවක් ?

පුවත්

විදෙස්

සෞඛ්‍ය ආමත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ නව දත්ත පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රෝහල්වලට හදිසි අත්‍යාවශ්‍ය ඖෂධ හෝ ලබාගැනීමට නොහැකිවීමේ බරපතල ගැටලුවක් මතු වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කරයි.

රට පුරා රෝහල් ගණනාවකින් අද (19) කොළඹ ඖෂධ සැපයුම් අංශයට ඖෂධ ලබාගැනීම සඳහා පැමිණ ඇතත් මෙම දත්ත පද්ධතියේ එම රෝහල්වලින් ඇණවුම් කළ ඖෂධවල තොරතුරු පවා නොපෙන්වීම හේතුවෙන් ඖෂධ ලබාගැනීමට  නොහැකි වී තිබේ. දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් තොග සති කිහිපයකට පසු ඖෂධ සැපයීම් අංශයට ලැබී ඇති අතර ඒවා නිසි පරිදි ඇණවුම් කර ගෙන යාමට පැමිණි රෝහල් කාර්යමණ්ඩලවලට එම ඖෂධ පවා ලබාගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ආර්.එම්.ඒබී.රත්නායක මීට පෙර අවස්ථාවක දී මෙම නව දත්ත පද්ධතියේ ඇති අසාර්ථකත්වය පෙන්වා දී එම ගැටලුව කඩිනමින් නිරාකරණය නොකරන්නේ නම් රෝහල් පද්ධතියම බිඳ වැටෙනු ඇතැයි ප්‍රකාශ කර තිබිණි. නමුත් ඒ සඳහා මෙතෙක් පිළියම් යොදා නැත.

මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ ‍නිකුත් කිරීම, තොග පවත්වාගැනීම සහ බෙදාහැරීම සඳහා භාවිතා කරන ලද්දේ Medical Supplies Management Information System (MSMIS) නමැති දත්ත පද්ධතියකි. එම දත්ත පද්ධතිය ගැටලුවක් නැති ක්‍රියාත්මක වෙමින් තිබිය දී අමාත්‍යාංශයේ එක්තරා අතිරේක ලේකම්වරයකුගේ පුද්ගලික මැදිහත්වීම සහ විශේෂ බලකිරීම මත “ස්වස්ථා” නමින් නව දත්ත පද්ධතියක් නිර්මාණය කර හඳුන්වාදුන් බව ඖෂධවේදීන් චෝදනා කරයි. ඔවුන් පවසන්නේ මේ දත්ත පද්ධතිය සකසා ඇත්තේ එම අතිරේක ලේකම්වරයාගේ ඥාතියකුට අයිති පුද්ගලික සමාගමකින් බවයි.

මෙම දත්ත පද්ධතියේ දුර්වලතාව හේතුවෙන් රෝහලක ඇති ඖෂධ එම රෝහලේ වාට්ටු සඳහා නිකුත් කිරීමේ ගැටලුවක් ද ඇති බව ඖෂධවේදීහු කියති. මේ නිසා රෝහල් අතර ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය හුවමාරුකරගත නොහැකි බැවින් රෝගීන් දැඩි අසීරුතාවකට ලක්වන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ම බිඳවැටීමක් සිදුවන බවත් ඔවුහු පෙන්වාදෙති.

දැනට වාර්තාවන පරිදි මෙම “ස්වස්ථා” නමැති නව පද්ධතිය නිර්මාණය කර හඳුන්වා දී ඇත්තේ තාක්ෂණික ඇගයීමකින් තොරවය.

2023-06-09  දින සියලුම සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන අංශයේ අතිරේක ලේකම්  වෛද්‍ය ආර්.එම්.එස්.කේ.රත්නායක දැනුම් දී ඇත්තේ ජුනි මස 09 වැනි දා සිටි සජීවීව වෛද්‍ය සැපයුම් අශයේත්, ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශවල සහ රෝහල්වල ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බවයි. මෙම පද්ධතිය ක්‍රියාත්මක වන මුල් අවස්ථාවේ දී තොග මාරු කිරීම, තොග ඇතුළත් කිරීම, තොග ඇණවුම් කිරීම් ආදී ක්‍රියාකාරකම්වල දී අතපසුවීම් ගැටලු සහ දුෂ්කරතා ඇතිවිය හැකි බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.

එම සියලු අතපසුවීම් සහ ගැටලු නිවැරදි කිරීමට තාක්ෂණික කණ්ඩායමක් පැය 24 පුරා ක්‍රියාත්මමක වන පරිදි කටයුතු කිරීමට අනුයුක්ත කර ඇති බව ද ඒ අනුව මෙම තොරතුරු තාක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් පිළිගත් තත්ව පරීඛ්ෂණ ආයතනයකින් වාර්තාවක් ලබාගන්න තුරු ඇතිවන ගැටලු සහ අතපසුවීම් සම්න්ධයෙන් සියලු වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දරණ අතර අදාළ නිලධාරීන්ට ඒ සම්බ්නධයෙන් ගැටලු අති නෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බවත් දන්වා ඇත.

එසේ වුව ද ඖෂධවේදීන් චෝදනා කරන්නේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව පවසන තාක්ෂණික කණ්ඩායමට ඇමතුම් ගත් විට සංගීත් නාදයක් පමණක් ඇසෙන බවයි. එම කණ්ඩායමට මුල් දිනවල ගත් ඇමතුම්වලට තරුණ කාන්තාවන් කිහිප දෙනකු පිළිතුරු දුන් බවත් නමුත් තම ගැටලුවලට විසඳුම් නොලැබුණු බවත් ඔවුහු චෝදනා කරති. දැන් කිසිවෙකු මේ දුරකථනවලට පිළිතුරු නොදෙන බවත් රෝහල් පද්ධතියම බිඳවැටුනත් වගකිව යුතු අයකු නොමැති බවත් ‍ඖෂධවේදීන්ගේ චෝදනාවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට අපි ද එම තාක්ෂණික කණ්ඩායමට ඇමතුම් කිහිපයක් ම ගත්ත ද සංගීතය අසාගෙන සිටීමට සිදුවිය. කිසිවෙකු ඇමතුම සමඟ සම්බන්ධ වන්නේ නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇමතුම් 50ක් පමණ ගත් විට සම්බන්ධ වූ එක් නිලධාරියකු කියා සිටියේ ඖෂධ සැපයුම් අංශයේ ඇති පද්ධතියේ ගැටලුව හැකි ඉක්මණින් නිවැරදි කරන බවයි. ඊට වඩා යමක් තමන්ට කීමට නොහැකි යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!