spot_img
spot_imgspot_img

අන්තර්ජාල ව්‍යාපාර නියාමනයටත්, පුළුල්කිරීමටත් තීරණයක්

පුවත්

විදෙස්

අන්තර්ජාල ඔස්සේ ව්‍යාපාර සිදුකරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විදේශයන්හි බැංකු ගිණුම් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බවත් එම ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් නියාමනයක් අව්‍ය බවත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සඳහා කාරක සභාවේ දී අනාවරණය විය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මධුර විතානගේ පාර්ලමේන්තු මන්ත්‍රීවරයාගේ  සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේ දී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.

වර්තමානයේ දක්නට ලැබෙන සේවා යෝජකයා සහ සේවා දායකයා අතර පැවතී සාම්ප්‍රදායික ශ්‍රම සේවා සැපයීමෙන් බැහැරව, ශ්‍රම වෙළෙඳපොළේ නිදහසේ කටයුතු කරන ශ්‍රමිකයින් (Freelancer) පිරිසකගෙන් බහුලව විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ආශ්‍රිතව කටයුතු කරමින් සිටින ආර්ථිකයක් හෙවත් ගිග් ආර්ථික තත්ත්වය  (Gig economy) පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.

අන්තර්ජාල ඔස්සේ ව්‍යාපාර සිදුකරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විදේශයන්හි බැංකු ගිණුම් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලබාගන්නා බව මෙහිදී අනාවරණය විය.

ඒ අනුව අන්තර්ජාලය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන දේශීය සමාගම් සහ ජාත්‍යන්තර සමාගම් සඳහා සම ව්‍යාපාරික පරිසරයක් ඇතිකිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණි.  වාණිජ බැංකු ප්‍රධානීන්, අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරික කටයුතුවල නිරත දේශීය හා විදේශීය සමාගම් නියෝජිතයන්, ක්‍රෙඩිට් කාඩ් සමාගම් නියෝජිතයන්, මහ බැංකු නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම කමිටු රැස්වීමට සහභාගීවී සිටියහ.

ගිග් ආර්ථිකය (Gig Economy) වත්මන් තාක්‍ෂණික සංවර්ධනයට සමගාමීව ශීඝ්‍රයෙන් වර්ධනය වන බැවින් අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ව්‍යාපාරික කටයුතු දිරිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී. මෙම ව්‍යාපාර නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් මෙන්ම ඩිජිටල් සේවා බද්දක් හඳුන්වාදීම යෝග්‍ය බවද යෝජනා විය.

එසේම අන්තර්ජාල ව්‍යාපාරවලට සම්බන්ධ සමාගම් වැඩි වශයෙන් රට තුළට ආකර්ෂණය කරගැනීමට පරිසරයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය.

ආර්ථික ඩිජිටල්කරණය තුළින් පැන නගින බදු අභියෝග විසදීම සඳහා වන කුළුණු ද්විත්වයේ විසඳුම පිළිබඳ ප්‍රකාශයට අනුව (G20 /OECD) සාමාජික රටවල් 140 න් ගෝලීය ආයතනික බදු ගිවිසුමට අත්සන් කර නොමැතිව ඇත්තේ ශ්‍රී ලංකාව, පාකිස්තානය, කෙන්යාව සහ නයිජීරියාව යන රටවල් හතර පමණි. .

ඒ සමගම මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. 

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම සඳහා වාර්ෂිකව බිලියන 3.2ක් වැය වන බවත් ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව සකස් කළ සැලැස්ම පිළිබඳ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා උපදෙස් දී තිබේ.

ආයෝජන හා ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා සැපයීම කාරණා දෙකක් බව රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මෙම සාකච්ඡාව අතරතුර පෙන්වාදුන්නාය.

මෙරට ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා සපයන දේශීය සමාගම් රජයට බදු ගෙවන අතර එම ව්‍යාපාරයේම නියුතු ඇතැම් විදේශීය ආයතන රජයට නිසි අයුරින් බදු නොගෙවන බවද අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!