spot_img
spot_imgspot_img

පබිලිස්ගේ පොතේ අයිතිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

පුවත්

විදෙස්

“හෙළ රටාවට ඉවුම් පිහුම්” නමැති ග්‍රන්ථයේ කර්තෘත්වයේ අයිතිය සූපවේදී පබිලිස් සිල්වාට හිමි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) තීරණය කළේය.

මෙම තීන්දුව ලබාදෙන ලද්දේ මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ ඒ.එච්.එම්.ඩී.නවාස් යන  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි. සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සමක් සළකා බලමින් මේ තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

“ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම් ග්‍රන්ථයේ” කර්තෘත්වය තමන් සතු බවත් ඒ අනුව තමන්ට කර්තෘ භාගය හිමිවිය යුතු බවටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධර්මා සමරනායක විසින් සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගමට එරෙහිව 2005 වසරේ කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණි.

එම නඩුවේ දී කරුණු ඉදිරිපත් කළ සරසවි ප්‍රකාශන සමාගම අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, පැමිණිලිකාර සමරනායක විසින් සිදුකරන ලද්දේ අදාළ ග්‍රන්ථය සංස්කරණය කිරීම පමණක් බවත් එහි කර්තෘත්වය පබිලිස් සිල්වාට හිමිවිය යුතු බවයි. එම ග්‍රන්ථයේ සංස්කරණ කටයුතු වෙනුවෙන් ඇයට මුදල් ගෙවා ඇති බවත් අදාළ සමාගම වාණිජ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

2013 වසරේ එම නඩුවේ තීන්දුව ලබාදුන් කොළඹ වාණිජ මහාධිකරණය අදාළ ග්‍රන්ථයේ කර්තෘ අයිතිය පැමිණිලිකාර සමරනායකට හිමි බවට තීන්දු කොට බුද්ධිමය දේපළ පනත යටතේ ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකරන ලෙසත් සරසවිය ප්‍රකාශන සමාගම වෙත නියෝගයක් නිකුත් කර තිබුණි.

එම නඩු විභාගයේ දී අදාළ ග්‍රන්ථය මුද්‍රණය කිරීම රඳවා ගැනීම හා බෙදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලදී.

එම තීන්දුවට එරෙහිව සරසවි ප්‍රකාශන පුද්ගලික සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළේය.

එම අභියාචනය දීර්ඝ ලෙස විභාග කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල අදාළ ග්‍රන්ථයෙහි කර්තෘත්වය පබිලිස් සිල්වා බවට තීරණය කරන ලදී.

අදාළ වාණිජ මහාධිකරණ තීන්දුව දෝෂ සහිත බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිගමනය කර තිබුණි.

ඒ අනුව සරසවි ප්‍රකාශන සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනය පිළිගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර සරසවි ප්‍රකාශන සමාගමට රුපියල් 25,000/- ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් වගඋත්තරකාර ධර්මා සමරනායකට නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!