spot_img
spot_imgspot_img

ජනාධිපති මෛත්‍රී නොමඟ ගියේ අතුරලියේ රතන නිසා ද ? ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෙළි වූ කරුණු මෙන්න

පුවත්

විදෙස්

රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා ඇත්තේ අතුරලියේ රතන ඇතුළු බෞද්ධ භික්ෂූන් සිව් දෙනකු සහ තවත් පිරිසක් විසින් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අද (12) අනාවරණය විය.

රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරු වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ දී ය.

කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබිණි.

ඒ එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී ය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති සහකාර ලේකම් පාරතිපන් විසින් මෙම නඩුවට අදාළව අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති ලිපියක් උපුටා දැක්වීය.

ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ අතුරලියේ රතන, බද්දේගම සමිත, බලංගොඩ බුද්ධඝෝෂ, කොරපේවල පුඤ්ඤරතන යන අය විසින් විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කරන්නැයි ඉල්ලා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී වාචිකව හා ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති බව අදාළ ලිපියෙන් අනාවරණය වන බවයි.

එමෙන්ම වරදකරුගේ මව වන එස්. ජේ. එම්. ජයමහ, දකුණු පළාත් කතෝලික පදවියේ රදගුරු රේමන් වික්‍රමසිංහ, සරත් කෝන්ගහගේ, මහේෂ් මඩවල, නාලනී මනතුංග යන අය එලෙස ඉල්ලීම් කර ඇති බවත් ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේය.

එවැනි ඉල්ලීමක් කිරීමට ඔවුන්ට ඇති නෛතික බලය කුමත්දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී අධිකරණ අමාත්‍යාංශය හරහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ලබාගැනීම හා දඬුවම ලබාදුන් විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් පවා සිදුකර නොමැති බවයි.

මෙම විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් දඬුවම් ලබාදුන් කොළඹ මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් වාර්තා කැඳවීමක් සිදුකර නොමැති බව අදාළ නෛතික ලේඛන පිරික්සීමේදී පෙනී යන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ ද කියා සිටියේය.

එබැවින් මෙය අදහාගත නොහැකි ක්‍රියාවලියක් බව ද විනිසුරුවරයා සඳහන් කළේය.

මෙහිදී විනිසුරු කෝදාගොඩ යළි ප්‍රශ්න කළේ විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේ දී ජනාධිපතිවරයා නොමඟ යැවීමක් සිදුවී ඇත්ද යන්නය.

ජනාධිපතිවරයා යම් ප්‍රමාණයක නොමඟ හැරීමක් සිදුකර ඇති බව පෙනී යන්නේ යැයි ද ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කීවේය. එමෙන්ම ජනාධිපති සමාව ප්‍රදානය කිරීම එවකට තිබූ කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක නිර්දේශ හරහා සිදුවී ඇති බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේය.  

එම කමිටුව පිළිගත් නීතිමය විධිවිධානයන්ට අනුකූලව ස්ථාපිත කළ කමිටුවක් නොවන බවත් ඊට මෙවැනි නිර්දේශ නිකුත් කිරීමට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම එම කමිටුව සිය නිර්දේශ නිකුත් කිරීමේදී මෙම විත්තිකරුට මරණීය දඬුවම ලබාදුන් අභියාචනාධිකරණ තීන්දුව වැරදි ලෙස අර්ථකථනය කර ඇති අතර එය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් මෙහිදී අවධානයට ලක්කෙරිණි.

විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයිරාජා විවෘත අධිකරණයේ පෙන්වා දුන්නේ මෙම සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ලිපි ගොනුවල ලිපි සහ කරුණු එකිනෙකට පරස්පර බවය. වරදකරුවකුට සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලියේ දී අනුගමනය කළ යුතු මූලික පියවරවත් මෙහිදී අනුගමනය කර තිබේ ද යන්න ගැටලු සහගත බවද විනිසුරු තුරෙයිරාජා මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර වැඩිදුර නඩු විභාගය මේ මස 20 වනදා තෙක් කල් තැබුණි.

1 COMMENT

  1. සමාව ලබාදෙන ලෙස මැදිහත්වූ අයගේ නම් ලැයිස්තුව තුළ වංක තණ්හාධික පුද්ගලයන් ලෙස නම් දැරූ කීපදෙනෙක්ම සිටින බව පෙනීයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!