spot_img
spot_imgspot_img

“ආක්‍රමණිකයන් රිසි සේ කොල්ලකන” ආදිවාසීන්ගේ උරුමය

පුවත්

විදෙස්

මංගලනාත් ලියනාරච්චි

“අපි මේ රටේ මුල් පදිංචිකාරයෝ කියලයි, අපේ සීයලා මුත්තලා අපිට පුංචි සන්දියේ කියලා තියෙන්නේ. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමා අප අවට ඉන්න වෙනත් පිරිස් අපිව වැද්දෝ කියලා අපිව තළලා පෙළලා අපේ අයිතීන් උරුමයන් බලහත්කාරයෙන් උදුරගන්න එක. අපේ නූගත්කම දුප්පත්කම දඩමීමා කර ගෙන අපිව වෙනත් ආගම්වලට හරවගෙන අපේ ජනවර්ගය විනාශ කරන එක. අපි මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්න පාර්ලිමේන්තුවට, මානව හිමිකම් කොමිෂම් සභාවට පවා ගියා. අපි මේ රටේ ඉන්න අනිත් ජනතාවගෙන් ඉල්ලන්නේ, අපිට වෙනස් කොට සලකන්න එපා කියන එකයි.”

—————————————————-

හැම පැත්තෙන්ම ‘වැටලීමට ලක් වූ‘ සුළුතර ජන කණ්ඩායමක් වූ මුහුදු ආදිවාසීන්, ඔවුන්ට වඩා බලවත් විවිධ පාර්ශ්වවලින් දරුණු ලෙස සූරාකෑමට ලක්ව සිටති. වඩාත් අවාසනාවන්ත කාරණය නම්, ඔවුන්ට රැකවරණය සැලසීමට බැඳී සිටින රජයද ඔවුන්ගේ උරුමය කොල්ලකෑමට චූදිතයකු වී සිටීමයි. මේ අවනඩුවට වහා මැදිහත් වීම, ශිෂ්ට සමාජයේ යුතුකමකි.

———————————————-

මුහුදු ආදිවාසීන් හෙවත් ‘මුහුදු වැද්දන්‘, වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවූ, මෙරට වෙසෙන තවත් එක් සුවිශේෂි ජන කොට්ඨාශයකි. අප රටේ ශිෂ්ටාචාරයෙහි අක්මුල් ගැන කියැවෙන ජනප්‍රවාදයෙහි සඳහන් වන කුවේණිය‍ගේ දරුවන් දෙදෙනාගෙන් තමන් පැවත එන බව මුහුදු ආදිවාසීන්ගේ ද විශ්වාසයයි. දුරාතීතයේ සිටම  මේ බිමේ මුල් උරුමක්කාරයන් වූ  තම වර්ගයාගේ  සංස්කෘතික වටිනාකම් හා උරුමයන් දිනෙන් දිනම අහිමි වීමේ ශෝචනීය ඉරණමට වර්තමානයේ තමන් මුහුණ දී සිටින බව මුහුදු ආදිවාසීන් මැසිවිලි නගති.

වැද්දන්ගේ විකාශය සම්බන්ධයෙන් අප රටේ ඇති ජනප්‍රිය අදහස වන්නේ, ඉන්දියාවෙන් පිටුවහල් කරනු ලැබ මෙරටට ගොඩබට විජය කුමරුට දාව, මෙරට ස්වදේශීය යක්ෂ ගෝත්‍රික කාන්තාවක් වූ කුවේණිය බිහි කළ දරු දෙදෙනාගෙන් වැදි ජනයාගේ සම්භවය සිදු වූ බවයි. මෙම ප්‍රවාදය බැහැර නොකරන වත්මන් වැදි නායක ඌරුවරිගේ වන්නියලැත්තන් මෙරට ආදිවාසීන් යක්ෂ ගෝත්‍රයට අයත් වන බවත් ඔවුන්ගේ ආදිතමයා බලංගොඩ මානවයා බවත් ප්‍රකාශ කරයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මෙන්ම එම විශ්වවිද්‍යාලයේ ආදිවාසී ජන අධ්‍යයන කේන්ද්‍රයේ නිර්මාතෘ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි පෙන්වා දෙන්නේ, රාක්ෂ, යක්ෂ, නාග යන ගෝත්‍ර  සම්මිශ්‍රනයකින් වැදි ජනයා නිර්මාණය වී ඇති බවයි. මෙම ගෝත්‍ර ඈත අතීතයේ මධ්‍යධරණී ප්‍රදේශයේ සිට ඉන්දියාව හරහා ලක්දිවට පැමිණෙන්නට ඇති බව ඔහුගේ විශ්වාසයයි.

මහාචාර්ය නන්දදේව විජේසේකර විසින් කරන ලද පර්යේෂණවලට අනුව නැගෙනහිර වෙරළ ආශ්‍රිතව වෙසෙන ‘මුහුදු වැද්දන්‘ අන් ප්‍රදේශවල  වැද්දන්ගෙන් වෙනස් වූ ලක්ෂණ පෙන්නුම් කරන අතර, මොවුන් නැගෙනහිර වෙරළ තීරයට පැමිණියේ කිනම් කාලයකදී ද යන්න මෙතෙක් හරිහැටි තහවුරු වී නැත.

මුහුදු ආදි වාසීන්ගේ නැගෙනහිර වෙරළ ආගමනය සම්බන්ධයෙන් වත්මන් ආදිවාසී නායක වන්නියලැත්තන් කියන්නේ, මුහුදු ආදිවාසීන් යනු ආදිවාසීන්ගේ ම කොටසක් බවයි. අතීතයේ කණ්ඩායම් ලෙස ඔවුන් මහවැලි ගඟ ඔස්සේ ආහාර සොයා රට පහළට පැමිණි ගමනේ දී මොවුන් නැගෙනහිර වෙරළ තීරයේ පදිංචි වන්නට ඇති බවත්, එම ප්‍රදේශවල වැඩි වශයෙන් වාසය කරන දමිළ ජනතාව ඇසුරේ කල් ගත කිරීම හේතුවෙන් පසු කලක දී ඔවුනට වැදි භාෂාව සහ වැදි සංස්කෘතිය අමතක වී දමිළ භාෂාවට හා දමිළ සංස්කෘතියට හැඩ ගැසෙන්නට ඇති බවත් වන්නියලැත්තන්ගේ අදහසයි.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ

වාකරේ ආදිවාසී පරපුර

වර්තමානයේ මුහුදු ආදිවාසීන්ගේ නායකත්වය උසුලනුයේ, වාකරේ කුංඤන්ගල්කුලම් හි පදිංචි හැට හැවිරිදි නල්ලතම්බි වේලායුදන්ය. වේලායුදන් කියන අන්දමට මහවැලි ගඟ ඔස්සේ රට පහළට පැමිණි ආදිවාසී පවුල් හතක් ඉංග්‍රීසීන් විසින් සිය අවශ්‍යතාව මත වාකරේ පනිච්චන්කේනි වෙරළ තීරය ආශ්‍රිතව පදිංචි කර ඇත. ඔවුන්ගෙන් මුහුදු ආදිවාසීන් පැවත එන බව ඔහු කියයි.

වත්මන් මුහුදු ආදිවාසී නායක අම්බලවරිගේ නල්ලතම්බි වේලායුදන්

වර්තමානයේ මුහුදු ආදිවාසී ගම්මාන වැඩිම ප්‍රමාණයක් පැතිර ඇත්තේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර්, වෙරුගල් හා සේරුවිල ප්‍රදේශ ආශ්‍රිතවයි. මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මුහුදු ආදිවාසී ගම්මාන ප්‍රමාණය කොතෙක් දැයි හරි හැටි සංඛ්‍යාලේඛන නැත. කෙසේ වෙතත්,මඩකලපුව දිස්ත්‍රීක්කයේ පිහිටි මුළු මුහුදු ආදිවාසි ගම්මාන ප්‍රමාණය 24 ක් බව නැගෙනහිර පළාත් මුහුදු ආදිවාසී නායකයාගේ අදහසයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මූතූර්, වෙරුගල් හා සේරුවිල යන ප්‍රදේශයන්හි පිහිටි ආදිවාසී ගම්මාන ප්‍රමාණය 20 කි. එහි පවුල් සංඛ්‍යාව 1700ක් පමණ වන බව මූතුර්, වෙරුගල් හා සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇති දත්ත වලට අනුව හෙලිදරව් වේ.

අතීතයේ සිට සිය සංස්කෘතික උරුමයන්, වටිනාකම් සහ සාරධර්ම රැක ගනිමින් සරල දිවි පෙවෙතකට උරුමකම් කියමින් විකාශය වූ මුහුදු ආදිවාසීන් මේ වන විට ගෙවනුයේ, සිය ආදිවාසී අනන්‍යතාව රැක ගැනීම හා නූතන පරම්පරාවේ ආකල්ප අතර වූ තීරණාත්මක සංක්‍රාන්තික කාල පරිච්ඡේදයකය. එක පැත්තකින් අනන්‍යතාව රැක ගැනීමට පොරොව කරේ දමාගත් වැඩිහිටියන්ය. අනෙක් පසින් ස්මාට් දුරකතනය කනේ ගසාගෙන නව ලෝකය ස්පර්ෂ කරන නූතන පරම්පරාවේ තරුණ තරුණියන්ය. මේ අන්ත දෙක අතර ගමනාන්තය කෙබඳු වේද යන්න විසදුම් නැති ගැටලුවකි.

මුහුදු ආදිවාසීන් ජීවත්වන ප්‍රදේශ බොහෝ කාලයක් එල්.ටී.ටී.ඊ සංවිධානය යටතේ පැවතීම හා එම ප්‍රදේශයන්හි රෝහල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් වගකිව යුතු ආයතනවල නිලධාරීන් එක් ජන කොට්ඨාශයකට අයත්වීම සහ දේශපාලන අරමුණු  හේතුවෙන් මුහුදු ආදිවාසීන්ගේ අනන්‍යතාවට හානිකර  තත්ත්වයක් නිර්මාණය වූ බව පෙනේ. කලකට පෙර සිදු කළ ජන සංගණනයක දී මුහුදු ආදිවාසීන් විසි දහසකට වඩා වැඩි ප්‍රමාණයක් නැගෙනහිර පළාතෙන්  වාර්තා වී තිබුණද, ඉන් පසු සිදු කළ ජන සංගණනයකදී එය බොහෝ සෙයින් පහත වැටී තිබුණ බව නල්ලූර් ආදිවාසී නායක නඩරාසා කනගරත්නම් පෙන්වා දෙයි.මෙය ඇතැම් අන්‍ය ජාතික රාජ්‍ය නිලධාරීන් විසින් හිතාමතාම සිදු කරන්නක් බව හෙතෙම කියා සිටි.

අන්‍ය ජාතික ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙම ආදිවාසීන්ගේ ජාතිය ‘වේඩාර්‘ වෙනුවට දමිළ ලෙස  සදහන් කිරීම සැලසුම් සහගතව සිදු කර ඇති බවට කනගරත්නම් චෝදනා කරයි. කෙසේ වෙතත්, ලංකා පටුන, පාඨාලිපුරම්, වීරමා නගර්, සංතෝෂපුරම්, නල්ලූර් වැනි ගම්මානවල ඇතමෙකුගේ උප්පැන්න සහතිකවල තවදුරටත් ජාතිය  ‘වේඩාර්’ ලෙස සඳහන් කර තිබෙනු දැකිය හැක.

වැදි බස අහිමි වීම

මුහුදු ආදිවාසීහු වැදි පරපුරේ වුව ද, වැදි බස නොදන්නා අතර දමිළ භාෂාව වෙනස් ඌරුවකින් කතා කරති. බොහෝ විට වෙරළබඩ වෙසෙන දමිළ ජනයා ඇසුරෙන් ඔවුන් දමිළ භාෂාවට හුරුවන්නට ඇතැයි අනුමාන කළ හැක. එහෙත්, මීට වසර හතළිහකට පමණ පෙර තම ජනයා වෙනස් වූ භාෂාවක් කතා කළ බවත්, එය කාලයාගේ අවෑමෙන් අමතකව  ගොස් ඇති බවත් වෙරුගල් වට්ටාන්හි පදිංචි හැට හය හැවිරිදි කදිරගාම තම්බි තිරුනාවුපරසු කියා සිටී. එකල වැදි භාෂාව සිංහල වචන මිශ්‍ර වෙනස්  ආකාරයක භාෂාවක් බවත්, එය කතා කරන පිරිස් මේ වන විට දැකිය නොහැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

කදිරගාමතම්බි තිරුනාවුපරසු

“අපි පුංචි කාලේ අපේ සීයලා ආච්චිලා කතා කළේ සිංහල වචන මිශ්‍ර වෙනස් භාෂාවක්. ඒක දැන් මහියංගනයේ දඹානේ ඉන්න අපේ වන්නියලැත්තන් කතා කරන භාෂාවට ටිකක් සමානයි. ඒක දන්න අය සුළු පිරිසක් මීට අවුරුදු විස්සකට විතර කලින් හිටියා. නමුත්, දැන් නම් ඒ අයගෙන් වැඩි දෙනෙක් ජීවතුන් අතර නැහැ.’’

මුහුදු ආදිවාසීන් හෙවත් මුහුදු වැද්දන්ගේ ගති පැවතුම් බොහෝ දුරට දමිළ ජනතාවට සමීප නමුදු, තරමක කුලෑටි ගති පැවතුම් පෙන්වයි. කාල වර්ණ සම හා මුදු ගැසුණු කෙස් මෙන්ම උස් නොවූ සිරුර මුහුදු ආදි වාසීන්ගේ මූලික ලක්ෂණ ලෙස දැක්විය හැක. මුහුණේ රැවුල හා පපුවේ රෝම මඳ ය. හකු තරමක් විශාල බවක් පෙන්වයි. සවිමත් කකුල්ය. එහෙත්, මේ වන විට මුහුදු ආදිවාසීන් ද  වෙනත් ජන වර්ග සමග මිශ්‍රවීම හේතුවෙන් එම ජානමය ලක්ෂණ ඔවුනගෙන් ගිලිහී යමින් පවතින බවක් ද දැකිය හැක.

වෙරුගල් කෝවිලේ උරුමය

මුහුදු ආදිවාසීන්ගේ පාරම්පරික උරුමයන් හා සංස්කෘතික වටිනාකම් වෙනත් පාර්ශ්වයන් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම මුහුදු ආදිවාසීන් මුහුණ දෙන තවත් බරපතළ ගැටළුවකි. ත්‍රීකුණාමලයත්  මඩකලපුවත් වෙන් කෙරෙන වෙරුගල් ආරු ප්‍රදේශයෙහි  පිහිටි වසර 2000කට වඩා පැරණි බව කියන වෙරුගල් කෝවිල කතරගම දේවාලය තරමටම හින්දු භක්තිකයන්ගේ  ගෞරවාදරයට ලක් වූ, කතරගම දෙවියන් වැඩ සිටි බව කියන කෝවිලකි. මෙම කෝවිල අතීතයේ සිට මුහුදු ආදිවාසීන්ට අයත්වූවක් වුවද, වර්තමානයේ එහි අයිතිය තිමිලර්ලා සතුය.

තිමිලර් යනු දමිළ ජන කොට්ඨාශයේ කුලයකි. මෙම කෝවිලේ වාර්ෂික උත්සවය සෑම වසරකම සැත්තැම්බර් මාසයේ දින විසි දෙකක් පුරා පැවැත්වෙන අතර එහි දහතුන් වන දිනය වෙන් කර ඇත්තේ, මුහුදු ආදිවාසීන් වෙනුවෙනි. ඔවුන් වෙනුවෙන් එම දිනය වෙන් කිරීම පිළිබඳව ඇත්තේද, අපූරු කථාවකි.

අතීතයේ නල්ලවනාසෙට්ටි නම් වූ ආදිවාසි නායකයෙකු වෙරුගල් ප්‍රදේශයේ වාසය කර තිබේ. ඔහු ඇඟ පුරාම පැතිරුණු සුව නොවන දරුණු තුවාල සහිත කුෂ්ඨ රෝගයකින් පීඩා විදි අයෙකි. ඔහු දිනක් රෝගයේ වේදනාව දරා ගත නොහැකිව වෙරුගල් ගඟ අසබඩ වූ ගසක් යට නිදා සිටියදී හිටි හැටියේම කතරගම දෙවියන් දෘෂ්‍යමාන වී ඇත. තමා වෙනුවෙන් මෙම බිමේ කෝවිලක් ඉදිකර දෙන්නේ නම්, රෝගය සුව කර දෙන බව එහිදී කතරගම දෙවියන් නල්ලවනාසෙට්ටිට ප්‍රකාශ කර තිබේ. කෝවිලක් ඉදිකිරීමට තමා සතුව ධනයක් නොමැති බව නල්ලවනාසෙට්ටි කතරගම දෙවියන්ට කියා ඇති අතර, කතරගම දෙවියන් නල්ලවනාසෙට්ටිව ඒ ආසන්නයේ යම් ස්ථානයකට රැගෙන ගොස්, එහි තිබූ නිධානයක් පෙන්නුම් කර එයින් කෝවිල ඉදිකරන ලෙස දන්වා ඇත.

කතරගම දෙවියන්ගේ ඉල්ලීමට අනුව නල්ලවනාසෙට්ටි එම නිධානයෙන් වෙරුගල් ගඟ අසබඩ කතරගම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකර ඇති අතර, ඔහුගේ දරුණු කුෂ්ඨ රෝගයද කෙටි කලකින් සුව වූ බව කියවේ. කෙසේ වෙතත්, කෝවිල විවෘත කරන දිනයේ, නල්ලවනාසෙට්ටි කෝවිල තුළට ගොස් අතුරුදහන් වූ බවත්, නල්ලවනාසෙට්ටි තව දුරටත් කෝවිල තුළ සිටින බවත් මුහුදු ආදිවාසීන්ගේ පිළිගැනීමයි. කෝවිල කතරගම දෙවියන්ට කැපකරන දින කතරගම දෙවියන් මුහුදු ආදිවාසීන්ට කියා ඇත්තේ, මුහුදු ආදිවාසීන් කෝවිලට පැමිණෙන දිනය තෙක්, තමන් වෙරුගල් කෝවිලෙන් පිටතට වැඩම නොකරන බවයි. වෙරුගල් කෝවිලේ වාර්ෂික උත්සවය ආරම්භ වී දහතුන් වන දිනය මුහුදු ආදිවාසීන්ගේ දිනය වන අතර එතෙක්, කතරගම දෙවියන් පිටතට වැඩම නොකිරීම නොබිදෙන සම්ප්‍රදායකි.

දහතුන් වන දිනයේදී  මුහුදු ආදිවාසීන්ගේ කර මතින් පමණක්  කතරගම දෙවියන් බැහැරට ගැනීම සිදු කෙරේ. මෙහිදී මුහුදු ආදිවාසීහු සිය පාරම්පරික ඇදුම් ආයිත්තම් හා ආයුධවලින් සැරසී මේ විශේෂ දිනයට සහභාගි වෙති.

කතරගම දෙවියන් සෙලවිය හැකි අයිතිය ඇත්තේ, තම ජන වර්ගයට පමණක් බව කදිරවේලි පාල්චේනෙයි පදිංචි 91 හැවිරිදි කදිරාමන් රාජරත්නම් කියා සිටී. කතරගම දෙවියන්ගේ සොර අඹුව වූ වල්ලි අම්මා තම පරපුරේ කෙනෙකු වීම ද මෙම අයිතියට එක් කාරණයකි. කතරගම දෙවියන් වෙනුවෙන් මුහුදු ආදිවාසීන් වෙරුගල් කෝවිලේ පවත්වනු ලබන පාරම්පරික උත්සවයේ වර්තමාන නායකත්වය දරන්නේ, පාල්චේනෙයි රාජරත්නම්ය.

කදිරාමන් රාජරත්නම්

මුහුදු ආදිවාසීන් මිය ගිය ඥාතීන් හෙවත් “උත්ති ආක්කල්“ හෙවත් නෑ යකුන් ඇදහීම කාලයක සිට පවත්වාගෙන ආ සිරිතකි.ඊට අමතරව අතීතයේ මුහුදු ආදි වාසීන් මුහුදට අධිපති දෙවිවරු සේ සැලකෙන කුංචි මාප්පා,මීහච්චි අම්මාන්,පායිමත්තු තේවංගල්, කන්නිමාර් සහ ආන්ඩියන් වැනි දෙවිවරු ඇදහු බව පැරැන්නන් කියති. මීට වසර පනහකට පමණ පෙර තම ඥාතීන් කුංචි මාප්පා, නීදි අම්මාන්, මොට්ටානකාලි, කරයානගර්සාමි මෙන්ම හිරු,සද, සුළඟ මෙන්ම කාර්ටේරි සාමි වැනි  යක්කු ද දෙවිවරු සේ සළකා අදහා ඇතත්, වර්තමානයේ තම වර්ගයා කාලි අම්මාන්, මාරි අම්මාන්, මුරුගන්, පුල්ලෙයාර් වැනි හින්දු පසුබිමක් සහිත දෙවිවරු ඇදහීමට යොමු වී ඇති බව කියයි. මුහුදු ආදිවාසි ගම්මාන බොහොමයක් දමිළ ගම්මාන වලට යාබදව පිහිටීම හා දමිළ ජන සමාජය සමග නිරන්තරව මුහුවීම තුලින් තම පාරම්පරික ඇදහිලි හා විශ්වාසයන් දැඩි සංස්කෘතික කුණාටුවකට හසුව ඇති බව වර්ධන්ගේ අදහසයි.

බැහැරින් එල්ල වන අභියෝග

මුහුදු ආදිවාසී සුළු පිරිසකට සිය අනන්‍යතාව ඒ ආකාරයෙන්ම රැක ගැනීමට උවමනාව තිබුණද, වර්තමාන පරපුරේ බහුතරයක් තමන් ආදිවාසීන් යැයි කීමට මැළිකමක් දක්වන බව මූතූර් ‘කුහේනි පලංකුඩි මක්කලින් නලංකුඩි‘ සංගමයේ ලේකම් නඩරාජා වර්ධන් පෙන්වා දෙයි. මේ නිසාම ඊළඟ පරම්පරාව වන විට වසර දහස් ගණනක සිය අනන්‍යතාව අහිමිවනු ඇති බවට වර්ධන් සැක පළ කරයි.

වර්ධන්

“අපි මේ රටේ මුල් පදිංචිකාරයෝ කියලයි, අපේ සීයලා මුත්තලා අපිට පුංචි සන්දියේ කියලා තියෙන්නේ. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමා අප අවට ඉන්න වෙනත් පිරිස් අපිව වැද්දෝ කියලා අපිව තළලා පෙළලා අපේ අයිතීන් උරුමයන් බලහත්කාරයෙන් උදුරගන්න එක. අපේ නූගත්කම දුප්පත්කම දඩමීමා කර ගෙන අපිව වෙනත් ආගම්වලට හරවගෙන අපේ ජනවර්ගය විනාශ කරන එක. අපි මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්න පාර්ලිමේන්තුවට, මානව හිමිකම් කොමිෂම් සභාවට පවා ගියා. අපි මේ රටේ ඉන්න අනිත් ජනතාවගෙන් ඉල්ලන්නේ, අපිට වෙනස් කොට සලකන්න එපා කියන එකයි.”

අන්‍යාගමිකරණය මුහුදු ආදිවාසීන් වර්තමානයේ මුහුණ දෙන බරපතළම අභියෝගයයි. පසුගිය යුද ගැටුම් සමයේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම ආදිවාසීන්ගේ දරුවන් කුඩා අවධියේ ම ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි ප්‍රදේශවල පිහිටි මිෂනාරි පාසල්වලට ඇතුළත් කොට එහිම දීර්ඝ කාලයක් නේවාසිකව අධ්‍යාපන කටයුතු සිදු කිරීම හේතුවෙන් අනූව දශකයෙන් පසු ඉපදුණු දරුවන් වැඩි දෙනකු තමන් මුහුදු ආදිවාසීන් යැයි කීමට  කැමැත්තක් නොදක්වන බව මූතූර් ආදිවාසි නායක නඩරාජා කනගරත්නම්  කියා සිටී. එහි ප්‍රතිඵලය වී ඇත්තේ, කාලයක් මුළුල්ලේ මුහුදු ආදිවාසීන් විසින් මුඛ පරම්පරාගතව පවත්වාගෙන පැමිණි ආගමික හා සංස්කෘතික වටිනාකම් බොහොමයක් ඔවුන්ගෙන් ගිලිහී යෑමයි.

මූතූර් මුහුදු ආදිවාසී නායක කනගරත්නම්

“යුද ගැටුම් වෙලාවේ, එක එක රාජ්‍ය නොවන සංවිධාන අපේ ළමයි අරන් ගිහින් ක්‍රිස්තියානි ඉස්කෝලවලට තමා දැම්මේ. මේ නිසා මේ අලුත් පරම්පරාව අපේ පරණ ආගම් නෙවෙයි දැන් අදහන්නේ. එයාලා කතෝලික වෙලා. එයාලා විතරක් නෙවෙයි, ඒ පවුල්වල වැඩිහිටියොත් දැන් අදහන්නේ ඒ ආගම්. ඒ විතරක් නෙවෙයි, අපේ ආදිවාසී ගම්මාන පුරාම අමුතු අමුතු දේවස්ථාන ඉදිවෙලා. අපි ඉස්සර අදහපු දෙවිවරු ගැන, සිරිත් විරිත් ගැන කිසිම දෙයක් මේ අලුත් පරම්පරාව දන්නේ නැහැ. ගොඩක් අය විවිධ වරප්‍රසාදවලට ආගම වෙනස් කරලා. අපි අපේ ම දෙවිවරු අදහනකොට අලුත් පරම්පරාවේ අය අපිට හිනා වෙනවා. ඉතින් අපි කොහොමද මුහුදු ආදිවාසී කියන අනන්‍යතාවය රැක ගන්නේ.’’

උඩුගම් බලා පිහිනන සංගීතා

පැරැන්නන් සිය ජන වර්ගය රැක ගැනීමට බොහෝ සේ උත්සහ ගත්තද, අළුත්  පරපුර ඒ දෙස බලනුයේ, වෙනස් වු මානයකිනි. ටී.සංගීතා එම පරපුරේ උඩුගම් බලා පිහිනීමට වෙර දරන තරුණියකි. මුහුදු ආදිවාසි අනන්‍යතාවය රැක ගත් පමණින් තමන්ට ලැබෙනුයේ කවර වරප්‍රසාදයක් දැයි සංගීතා  ප්‍රශ්න කර සිටි. පල්ලිය නොවන්නට තම පරම්පරාවේ බොහොමයක් තව දුරටත් සතුන් පසුපස එලවන, මී කඩන අනෙකාට කොඩිවින හූනියම් කරමින් වින කටින ගෝත්‍රිකයන් පිරිසක් පමණක් බව ඇයගේ අදහසයි. කිසිදු හේතුවක් මත  ආපසු නොහැරෙන බව ඇය අවධාරණය කර සිටි.

ටී.සංගීතා

“අපේ පැරණි පරම්පරාවේ අයට ඕන වෙලා තියෙන්නේ, කැලයෙන් එළියට එන්න නෙවෙයි, කැලයෙන්  කැලයට යන්න. ඇයි අපි එහෙම කරන්නේ. මගේ දරුවොත් මම වගේ කැලේ ඉන්න ඕනෙද? සත්තු වගේ හිටිය අපිව මිනිස්සු කලේ පල්ලිය. අපේ ලෙඩ රෝග වලට පල්ලියෙන් කරන යාඥා වලින්  හොද සහනයක් තියෙනවා. ලෙඩ රෝග හොද වෙනවා. අපේ පරණ අය කරන්නේ, එක එක්කෙනාට කොඩිවින හූනියම් කරන එක. අපිව කව්රුත් සල්ලි දීලා ආගමට හරවා ගෙන නැහැ. අපිව වැද්දෝ කරන්න හදන අයට මම කියන්නේ, මමවත් මගේ දරුවොවත් ආයේ කැලේට නම් යන්නේ නැහැ.“

මූතූර්, නල්ලූර් මුහුදු ආදිවාසීන්ට අයත් පාරම්පරික වැවක් වූ උල්ලුකුලම් වැව මෙන්ම එම වැව් තාවුල්ලේ පිහිටා තිබු පත්තිනි අම්මාන් කෝවිල හා ළිඳ ද මේ වන විට අසල්වැසි තෝපූර් ජනයා විනාශ කර ඇති බව ආදිවාසීහු කියා සිටිති. මේ සම්බන්දයෙන් මුහුදු ආදිවාසීන් දිගින් දිගටම බලධාරීන්ට පැමිණිලි කර ඇතත්, විමර්ශන කමිටු පත් කිරීම හැර සැලකිය යුතු කිසිවක් සිදුව නැති බව කනගරත්නම් අවධාරණය කරයි.

‘අපි මේ සම්බන්දයෙන් මානව හිමිකම් කොමිෂම් සභාවට පවා පැමිණිලි කළා. නමුත්, තාමත් ගැටලුව තිබුණ තැනමයි. අපේ ජීවිත නැතිවුණාට කමක් නැහැ. ඒත්, අපේ පාරම්පරික උරුමය අපිට නැති වුණහම අපි මොනවද අපේ ඊළඟ පරම්පරාවට පෙන්නන්නේ.?‘’

රජය විසින් අන්‍යාගමිකරණයට එරෙහිව කොතෙක් වැට බැන්ද ද, මුහුදු ආදිවාසීන් අරබයා ඇත්තේ, කණගාටුදායක තත්ත්වයක් බව පාඨාලිපුරම්හි ආදිවාසියෙකු වන පොන්නම් වඩිවේල්ගේ අදහසයි. ඔහු ජීවත්වන පාඨාලිපුරම් ග්‍රාමය ඊට කදිම නිදසුනකි.

පොන්නම් වඩිවේල්

‘’අපේ ගමේ ඉන්නේ පවුල් තුන්සීයයි. හැබැයි, පල්ලි දහයක් හදලා තියෙනවා. ඒ කියන්නේ, පවුල් තිහකට එක පල්ලිය ගානේ තියෙනවා. හැබැයි, ගමේ වැඩි දෙනෙක් තාමත් අදහන්නේ, පුරාණ දෙවිවරු. මුලින්ම එන්නේ, ආධාර දෙන්න. ඊට පස්සේ නැති බැරි අයගේ ඉඩම් සල්ලිවලට අරගෙන පල්ලි හදලා සල්ලිවලට අපේ අය බාගන්නවා.‘‘ වර්තමානයේ මුහුදු ආදිවාසින් මුහුණ දී සිටින ආගමික ආක්‍රමණය සුළුපටු නොවන බව ඒත්තු ගැන්වීමට වඩිවේල්ගේ   අදහසම සෑහේ.

රජයෙන් සිදු වන අසාධාරණකම්

සිය පාරම්පරික උරුමයන් හා සංස්කෘතික වටිනාකම් නොසලකා හරින පිරිස් අතර රජය ද වන බව මූතූර් කුහේනි පලංකුඩි මක්කලින් නලංකුඩි සංගමයේ ලේකම් නඩරාජා වර්ධන් කියා සිටී. මුහුදු ආදිවාසීන් වනයට අධිපති දෙවියෙකු ලෙස සැලකෙන මුනිසාමි දෙවිඳුන් වැඩ සිටින ‍‍‍සාම්පූර්හි පිහිටි පුරාණ මුනිසාමි කෝවිල් බිම සහිත අක්කර 500ක භූමියක්  මේ වන විට රජය විසින් සූර්ය විදුලි බල ව්‍යාපෘතියක් සදහා ඉන්දියාවට බදු දී ඇති බවත්, එම කෝවිල සහිත භූමිය අධි ආරක්ෂිත කලාපයක් බවට නම් කර, තම ජනයාට එය තහනම් කලාපයක් කර ඇති බවද ඔහු පැවසුවේය

ඉන්දිය සූර්‍ය බල ව්‍යාපෘතියට වෙන් කල භූමියේ පිහිටි ‍‍‍සාම්පූර් පුරාණ මුනිසාමි කෝවිල

මුහුදු ආදිවාසීන්ගේ අසරණකම හා නූගත්කම දඩමීමා කර ගනිමින් ඇතැම් ජනයා තම ඉඩම්, ගම් බිම් පමණක් නොව තම කාන්තාවන්ද කොල්ලකමින් සිටින බවත්, ඒ සඳහා රජයේ උසස් නිලධාරීන්ගේ සහයද හිමි වන බවත් ඔවුන්ගේ චෝදනාවයි. එසේම ඇතැම් අන්‍ය ජාතික විදේශ රැකියා ඒජන්තකරුවන් තම කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ දී වැඩි වැටුපක් ලබාදීමට යැයි කියමින්, ඔවුන් ඉස්ලාම් ආගමට හරවා ගැනීම මෙන්ම ඇතැම් මුස්ලිම් ජාතිකයන් ඔවුන්ගේ  බහු විවාහ නීතියට මුවා වී ආදිවාසී කාන්තාවන් විවාහ කර ගනිමින් ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක බව මුහුදු ආදිවාසීහු චෝදනා කරති.

මුහුදු ආදිවාසි කාන්තාවන්ගේ අසරණකම හා නූගත්කම සිය වාසියට හරවා ගන්නා ඇතැම් අන්‍ය ජාතිකයන් සිය කාන්තාවන් විදේශ රැකියා වලට යොමු කරන බව කියමින් විවිධ අපයෝජවවලට ලක්කරන බව  සංතෝෂපුරම් කාන්තා සමිතියේ සභාපති කාලිරාසා පසුපති පිල්ලේ පෙන්වාදුන්නාය. එසේම අනන්‍යතාවය වෙනස් කරමින් සිදු කරන ආවාහ විවාහ කටයතු හේතුවෙන් මේ වන විට සිය කාන්තාවන් වෙනත් ආගම් වැළඳ ගැනීමේ ප්‍රවණතාවය සංවිධානාත්මක ලෙස ඉහළ ගොස් ඇති බව ඇය වැඩි දුරටත් පෙන්වා දෙන්නීය.

සංතෝෂපුරම් කාන්තා සමිතියේ සභාපති කාලිරාසා පසුපති පිල්ලේ

බලධාරීන්ගේ ප්‍රතිචාර

නැගෙනහිර පළාතට පමණක්  සුවිශේෂි වු මුහුදු ආදිවාසීන්ගේ උන්නතිය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත්  ආණ්ඩුකාර අනුරාධා යහම්පත් විශේෂ අවධානයක් යොමු කළ අයෙකි. මුහුදු ආදිවාසී ජනයාගේ අහිමි වු බව කියන නල්ලූර් ප්‍රදේශයේ කුඹුරු ඉඩම්, උල්ලුකුලම් වැව හා සංස්කෘතික උරුමයන් සම්බන්දයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක්ද පත් කර ඇති බවත්, ජංගම සේවා හා මුහුදු ආදිවාසීන් ඉලක්කර ගනිමින් විවිධ සංවර්ධන ව්‍යාපෘති මේ වන විටත්  දියත් කරමින් සිටින බවත් නැගෙනහිර ආණ්ඩුකාරවරිය කීවාය. ඇතැම් රාජ්‍ය නිලධාරීන් විසින් මුහුදු ආදිවාසීන්ට එරෙහිව සිදු කරන බව කියන අකටයුතුකම් පිළිබදව වැඩි අවධානයක් යොමු කරන බවත්, මුහුදු ආදිවාසීන්ගේ සංස්කෘතික උරුමයන් හා වටිනාකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකම හා වගකීමක් බවත්  ආණ්ඩුකාරවරිය අවධාරණය කරයි. ඇය දැන් තම තනතුරින් ඉවත්ව සිටියි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුහුදු ආදිවාසීන් වර්තමානයේ මුහුණ දී සිටින ඉඩම් ගැටලු සම්බන්දයෙන් මේ වන විටත් සිය අවධානය යොමු කර ඇති බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් බී.එච්.එන්. ජයවික්‍රම කීවේය. ඉඩම් ගැටලු පමණක් නොව ඔවුන්ගේ සංස්කෘතික උරුමයන් රැකදීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට ක්‍රමවත් වැඩ පිළිවෙළක් දියත් කළ යුතු බව දිස්ත්‍රික් ලේකම්වරයාගේ අදහසයි.

දිස්ත්‍රික් ලේකම් බී.එච්.එන්. ජයවික්‍රම

“මුහුදු ආදිවාසීන් කියන්නේ, දඹාන, රතුගල ඉන්න ආදිවාසීන් වගේම සුවිශේෂි ජන ප්‍රජාවක්. අපි ඒ ආදිවාසීන්ට දක්වන සැලකිල්ල ම මුහුදු ආදිවාසීන්ටත් දැක්විය යුතුයි. ඔවුන්ගේ ඉඩම් ගැටලු විසඳීමට මේ වන විටත්, හිටපු ආණ්ඩුකාරතුමියගේ උපදෙස් මත අප කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම රජයේ ව්‍යාපෘතිවලට වෙන් කරන ඉඩම්වල  ඔවුන්ගේ පුරාණ ආගමික ස්ථාන පිහිටා ඇත්නම්, අපි ඒ පිළිබදව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. මුහුදු ආදිවාසීන්ගේ උරුමයන් මෙන්ම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට විශේෂ වැඩ පිළිවෙළක් සැකසිය යුතු බව මාගේ විශ්වාසයයි..’‘

වෙනත් රටවල වෙසෙන ආදිවාසීන් වත්මන් සමාජයට අනුගතව ඇති අතර, ඔවුන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉහළ තත්වයන් හිමිකර ගෙන ඇත. විශේෂයෙන් ක්‍රීඩා, කලා වැනි ක්ෂේත්‍රයන්හි ඉහළට ගිය අය ගැන අප අසා ඇත. ඒ අන්දමින් මුහුදු ආදිවාසීන්ට ද  සිය අනන්‍යතාව රැක ගනිමින් සමාජයේ ඉහළ ස්ථර ස්පර්ශ කිරීමේ අවස්ථාව උදා කළ යුතුව තිබේ. ආන්තික ජන ප්‍රජාවක් වූ ඔවුන්ගේ අනන්‍යතාව සුරක්ෂිත කර දෙමින්, ඔවුන්ගේ මානව හිතවාදී, පරිසර හිතකාමී සංස්කෘතික උරුමයන් අනාගතයට රැකදීම සමාජීය යුතුකමක් මෙන්ම වගකීමකි.

මෙරට වෙසෙන වෙනත් ආදිවාසීන්ගේ අනන්‍යතාවය රැක ගැනීමට රජය දක්වන උනන්දුව මුහුදු ආදිවාසීන් කෙරෙහිද සැබෑ ලෙසම යොමු විය යුතු බවත්, ඔවුන්ගේ පාරම්පරික උරුමයන්, ඇදහිලි සහ සංස්කෘතික අංගයන් මෙන්ම ඔවුන්ගේ ජන ජීවිතයේ අංගද අනාගත පරපුර උදෙසා සංරක්ෂණය කිරීම ඉතා කඩිනමින් කළ යුතු කාර්යයක් බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ලයනල් ගුරුගේ පවසයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ලයනල් ගුරුගේ

මෙරට අධ්‍යාපන විෂය ධාරාවට ආදිවාසීන් පිළිබඳ මූලික හැඳින්වීමක් ඇතුළත් කළ යුතු බවට යෝජනාවක්ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ආදිවාසීන්ගේ අයිතිවාසිකම් සුරකීම සම්බන්ධයෙන් සකස් කරන ලද කෙටුම්පතට ඇතුළත් කර ඇති බවද, සිය ආයතනය මේ වන විටත්, නැගෙනහිර පළාතේ වෙසෙන මුහුදු ආදිවාසීන් වර්තමානයේ මුහුණ දී සිටින ගැටලු පාර්මේන්තුව දක්වා ගෙන ගොස් ඇති බවද ලයනල් ගුරුගේ කීවේය.

ඕස්ට්‍රේලියානු රජය මෙම දශකය නම් කර ඇත්තේ, ආදිවාසීන්ගෙන් සමාව අයදින දශකය ලෙසයි. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි සංවර්ධිත රටවල රාජ්‍ය නිලධාරීන් තමා හමුවට යම් කාර්යයක් ඉටු කර ගැනීමට එම රටේ ආදිවාසියෙකු පැමිණි විට හුනස්නෙන් නැගිට මුලින් ම කරනුයේ, තම ජනතාවගෙන් ආදිවාසීන්ට සිදු වූ ආක්‍රමණය හා නොපහත්කම් සම්බන්ධයෙන් සමාව අයැදීමයි. අනතුරුව ඔහු පැමිණි කාර්යය විමසා කඩිනමින් එය ඉටු කර දීමට යුහුසුලු වේ. ඒ ලෝක තත්ත්වයයි. ශ්‍රී  ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. දරිද්‍රතාවයේ පතුලටම ගිලී සිටින මෙරට මුහුදු ආදිවාසීන් වර්තමානයේ මුහුණ දී සිටින්නේ, ශිෂ්ටසම්පන්න යැයි කියා ගන්නා ජන සමාජයෙන් තම පාරම්පරික උරුමයන් සහ සංස්කෘතික වටිනාකම්  ආරක්ෂා කර ගැනීමේ භාරදූර අභියෝගයටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!