spot_img
spot_imgspot_img

පල්ලියේ ශබ්ද දූෂණයට එරෙහිව, භික්ෂූන් වහන්සේලා මාරාන්තික උපවාසයකට සැරසෙති

පුවත්

විදෙස්

නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයේ දළුව ප්‍රදේශයේ පල්ලියක මංගල්‍යයක් වෙනුවෙන් යැයි කියමින් ප්‍රදේශය පුරා මාර්ග ඔස්සේ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර තිබීමට විරෝධය දක්වමින් ප්‍රදේශයේ සංඝයාවහන්සේලා ඇතුළු පිරිසක් අද (09) උදෑසන මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව පවසයි.

ශබ්ද විකාශන යන්ත්‍ර සවිකිරීමේ දී පොලිසියෙන් නීත්‍යානුකූලව බලපත්‍රයක් ලබාගත යුතුය. ජාතික උත්සවයක් පැවැත්වෙන ස්ථානයක දී හැර වෙනත් කිසිම අවස්ථාවක දී ස්ථානයක දී ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ග පුරා සවිකිරීමට අවසරයක් නොමැත. 2005/38 මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති තීන්දුව පදනම් කරගෙන පොලිස්පතිවරයා විසින් 2031/2007 චක්‍රලේඛය නිකුත් කර ඇති අතර එහි ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර පිළිබඳ උපදෙස් සහ නීතිමය කරුණු දැක්වෙයි.

ඒ අනුනව කිසියම් පරිශ්‍රයක පැවැත්වෙන වැඩටසහනක් සඳහා ශබ්ද විකාශනය කිරීමට ඇම්ප්ලිෆයර්, හෝන්, බෆල් හෝ වෙනත් ආකාරයේ ශබ්ද උත්පාදන යන්ත්‍ර භාවිතා කරන්නේ නම් ඒ සඳහා බලත්‍රයක් ලබාගත යුතු වෙයි. එලෙස ලබාගන්නා බලපත්‍රයේ කොන්දේසි ඇත. එම‌ කොන්දේසි අනුව සියලුම ශබ්ද විකාශන යන්ත්‍ර අදාල බලපත්‍රය ලබාගත් පරිශ්‍රය ඇතුළට හරවා සවිකළ යුතු අතර ඒවා පොළොවට අංශක 45ක ආනතියකින් සවිකිරීම අනිවාර්ය වෙයි. කිසිදු ශබ්ද විකාශන යන්ත්‍රයක් පරිශ්‍රයෙන් පිටතට හරවා සවි නොකළ යුතු අතර, පොළොවට සමාන්තරව හෝ අහස දෙසට හරවා හෝ සවිකිරීමට අවසරයක් නැත. එමෙන් ම ශබ්දය විකාශය කරන කාලයේ දී මෙම ශබ්ද විකාශනය එම පරිශ්‍රය තුළට ඇසෙන තීව්‍රතාව ඩෙසිබල් 65 නොඉක්මවා තිබිය යුතු අතර පරිශ්‍රයෙන් පිටිතට කිසිසේත්ම ශබ්දය ඇසෙන පරිදි සවි කිරීමට නීතිමය අවසරයක් නැත.

ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමේ දී එම විකාශනය සඳහා තමන්ගේ අකමැත්තක් නැතැයි සවිකරනු ලබන සෑම ශබ්ද විකාශන යන්ත්‍රයක් වෙනුවෙන් ම වෙන වෙනම ප්‍රදේශවාසීන් 05 දෙනකුගේ සාක්ෂි සටහන් කරගෙන එම කරුණු ළඟම ඇති අධිකරණයට වාර්තා කර අධිකරණයෙන් අනුමැතිය ලබාගත යුතුය. ශබ්ද විකාශනය සඳහා හෝන් 50ක් සවිකරන්නේ නම් සාක්ෂිකරුවන් 250 දෙනකුගේ සාක්ෂි අවශ්‍යවන බව ශබ්ද විකාශනයට එරෙහි ජාතික එකමුතුව සංවිධානයේ ලේකම් නීතිඥ ස්වර්ණමාලී අනුරාධනායක පවසයි.

පුත්තලම මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියෝ මේ සම්බන්ධයෙන් මෙසේ කීහ.

“මේ පල්ලියේ මංගල්‍යයක් කියලා කරන ශබ්ද විකාශනය සම්පූර්ණයෙන් ම නීති විරෝධී වැඩක්. සෑම පුද්ගලයකුට ම තමන්ගේ ආගම අදහන්න අයිතියක් වගේ ම නිදහසක් තිබෙනවා. අපි පල්ලියට විරුද්ධ නැහැ. ඒ වගේම පල්ලියේ මංගල්‍යය තියනවාටත් අපි විරුද්ධ නැහැ. නමුත් මේ කරන්නේ මිනිස්සු කුපිත කිරීමක්. පල්ලියේ මංගල්‍යය තියෙනවා කියලා සතියක් විතර කාලයක් ස්පීකර් 100ක් විතර පාරවල් පුරා හයිකරලා පල්ලියේ දේවල් විකාශය කිරීම වැරදියි. නීති විරෝධීයි. අනිත් ආගමිකයන් මත එක ආගමක් බලෙන් පටවන්න හදනාව. අපි මේකට විරුද්ධව ජනාධිපතීතුමාටත් පැමිණිලි කළා. නොරොච්චෝල පොලිසියේ ස්ථානාධිපිතතුමාගෙන් ඇහුවම කියනවා. සහකාර පොලිස් අධීකාරීවරයා බලපත්‍රය දීලා තියෙන්නේ එයාට කරන්න දෙයක් නෑ කියලා. සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් ඇහුවම කියනවා, පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා බිෂොප්තුමාගේ ඉල්ලීමට අවසර දුන්නේ කියලා. දැන් අපිට ප්‍රශ්න තියෙන්නේ මේකේ වගකීම ගන්න කෙනෙක් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙන නියෝගය අනුව පොලිසිය ක්‍රියා නොකිරීමෙන් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් කරනවා. ඒ විතරක් නෙවෙයි පොලිස්පතිවරයාගේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් පොලිසිය සිය රාජකාරී පැහර හැරීමක් කරනවා. මේක සම්පූර්ණයෙන් ම වැරදියි. මේ ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත්කරන තුරු අපි මාරාන්තික උපවාසයක් කිරීමට තීරණය කළා.”

මෙම ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් විමසූ විට කල්පිටිය සහකාර පොලිස් අධිකාරී සොයිසා කියා සිටියේ ආගමික කටයුත්තක් නිසා ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලබාදුන් බවයි. නමුත් එයට විරෝධයක් එල්ල වී ඇති බවත් වැඩි විස්තර කිව නොහැකි බවත් හෙතෙම කීවේය.

පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රූපසිංහගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට හෙතෙම කීවේ ශබ්ද විකාශන යන්ත්‍ර බලත්‍ර ලබාදෙන්නේ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් බලපත්‍ර ලබාදෙන බැවින් එය තමන්ට අදාල කරුණක් නොවන බවයි. එබැවින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසන ලෙස ද ඔහු කියා සිටියේය.

පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන නාලක සිල්වාගේ මැදිහත්වීම හේතුවෙන් ශබ්ද විකාශන බලපත්‍ර ලබා දි ඇතැයි ගම්වාසීහු චෝදනා කරති. ශබ්ද විකාශන යන්ත්‍ර ලබාගැනීම සඳහා බිෂොප්වරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත්. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ආගමික නැමියාව හේතුවෙන් මේ නීති විරෝධී ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමට අවසර දී ඇති බවත් ඔවුහු චෝදනා කරති.

එම කරුණු සම්බන්ධයෙන් අපි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට කතා කළෙමු. එවිට ඔහු මෙසේ කීවේය.

“මගේ රාජකාරියේ දී මට ආගමක් අවශ්‍ය වෙන්නේ නැහැ. බිෂොප්වරයාව මම හඳුනන්නේත් නැහැ. මේක ආගමික කටයුත්තක්. ඉතින් ආගමික සංහිඳියාව වෙනුවෙන් මේ බලපත්‍රය ලබාදීම සිදුකර තිබෙනවා. කෙහොම වුණත් එයට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. මේ ගැන මම සහකාර පොලිස් අධීකාරීවරයාගෙන් සහ ස්ථානාධිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා. ඉන් පසු අධිකරණයටත් කරුණු වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ආගමික ගැටලු ඇති නොවන විදියට වැඩ කරන්න තමයි මේ කටයුතු කරන්නේ. මේ ප්‍රශ්නය දෙපාර්ශවයටම ගැටලුවක් ඇති නොවෙන ආකාරයට විසඳන්න බලාපොරොත්තු වෙනවා.”

ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලබාදීමේ දී පොලිසිය නීතියට පිටින් කටයුතු කරන බවට සෑම ප්‍රදේශයකින්ම වාර්තාවන බව ශබ්ද දූෂණයට එරෙහී ජාතික එකමුතව සංවිධානයේ ලේකම් නීතිඥ ස්වර්ණමාලි අනුරාධනායක පවසයි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!