2.5 C
New York

“දහම් පාසල් නොගිහින්, ඉස්කෝලේ එන්න එපා“ – තවලම විදුහල්පති මානව හිමිකම් උල්ලංඝනය කරයි

Published:

තවලම විද්‍යාරාජ ජාතික පාසලේ සිසුන් දහම් පාසල් නොයන්නේ නම් සඳුදා (22) සිට පාසලට ඇතුළත් කර නොගන්නා බවට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් සියලු සිසුන් වෙත දැනුම් දී තිබේ.  

මෙය සිසුන් වෙත බලහත්කාරයෙන් ආගමික මතවාදයක් ඇතුළු කිරීමට කරනු ලබන උත්සාහයකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕනෑම පුද්ගලයකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ඇති අතර එයට බලපෑම් කරන්නේ නම් එය දරුවන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වෙයි.

අමාත්‍ය විදුර වික්‍රමනායක පසුගිය දා කියා සිටියේ පාසල් සිසුන්ට දහම්පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන බවයි. නමුත් පාසල් සිසුන් සම්බන්ධයෙන් සංස්කෘතික අමාත්‍යවරයාට එවැනි තීරණයක් ගැනීමට හැකියාවක් නොමැති අතර එවැනි තීරණයක් ගතයුතු වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය මගිනි.

අප කළ විමසා බැලීමක දී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියා සිටියේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නැති බවයි. පාසලේ ආගම එක් ප්‍රධාන විෂයයක් වන අතර දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් එයට අදාලව කිසිදු චක්‍රලේඛයක් නිකුත්කර හෝ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දුන්නේය.

තවලම විද්‍යාරාජ ජාතික පාසලේ දෙමාපියන් පිරිසක් අප සමඟ කියා සිටියේ පාසලේ ඉහළ තනතුරක් දරන එක්තරා බෞද්ධ භික්ෂුවකගේ වුවමනාවට මෙය ක්‍රියාත්මක වන බවයි. දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම අනවශ්‍ය දෙයක් බවත් පාසල අවට විහාරස්ථානවල දහම් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක බව පිළිබඳ ගැටලු පවතින බවත් ඔවුහු පෙන්වා දෙති. එමෙන් ම පන්සලේ පැවැත්වෙන දහම් පාසලට නොගියායැයි කියා පාසලේ දරුවන්ගේ අධ්‍යාපනය අහිමිකිරීමට විදුහල්පතිවරයාට ඇති අයිතිය කුමක්ද යන්න ඔවුහු ප්‍රශ්න කරති.

මේ සම්බන්ධයෙන් අපි විද්‍යාරාජ ජාතික පාසලේ විදුහල්පති බී.ජී.නිශ්ශංක උදයකුමාරගෙන් විමසූ විට හෙතෙම කියා සිටියේ සිසු දරු දැරියන්ට ඉරිදා දහම් පාසලට ගොස් හාමුදුරුවන්ගෙන් ලියුමක් රැගෙන මිස පාසලට නොපැමිණෙන්න යැයි කියූ කතාව සත්‍යයක් බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින රජයේ ජාතික පාසලක දරුවන්ට දහම් පාසල් නොයන්නේ නම් පාසලට නොපැමිණෙන ලෙස දැන්වීමට විදුහල්පතිවරයාට නියෝග ලැබුණේ කෙසේද යැයි අප විමසූ විට ඔහු කියා සිටියේ එය තමන්ගේ තීරණයක් බවයි.

තම ආගම දරුවන්ට බලෙන් පැටවීමට උත්සාහ ගැනීම සහ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමිකිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නේදැයි විමසූ විට ඔහු කීවේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් අවසර නොගෙන මා සමඟ කිසිදු අදහසක් පළකිරීමට නොහැකි බවයි.

මෙවැනි නියෝගයක් පැනවීමට පෙර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් අවසර ගෙන නැහැ නේදැයි විමසූ විට ඔහු නැවත කියා සිටියේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගෙන් විමසීමකින් තොරව අදහස් ප්‍රකාශ කළ නොහැකි බවයි.

Related articles

Recent articles

spot_img