ගාල්ලේ කුඩා කොරෝනා පොකුරක සේයාවක් ?

0
2214

ගාල්ල මකුළුව ප්‍රදේශයේ නිරෝධායනය සඳහා යොමුකර සිටි පවුලක් සමඟ නිරෝධායන නීති නොතකමින් සම්බන්ධතා පැවැත්වූ 04 දෙනකු අද (08) කොරෝනා ආසාදිතයන් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මොවුන් සබඳතා පවත්වා ඇත්තේ ඊයේ (07) දිනයේ ආසාදිතයන් බවට හඳුනාගත් මව සහ දරුවන් පස් දෙනා සිටි නිවසත් සමග බව සෞඛ්‍ය අංශ පවසයි. එම නිවසේ සිටි මාළු ලොරි රථ රියදුරකු කොරෝනා ආසාදිතයකු වීම හේතුවෙන් පවුලේ සියලු දෙනා ම නිවසේ ම ස්වයං නිරෝධායනයට යොමුකර තිබිණි. ඔවුන්ගේ නිරෝධායනය අවසන් වූ විට කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූයේ එම මව සහ දරුවන් සිව්දෙනාම ආසාදිත බවයි.

ඔවුන්ගේ තොරතුරු සොයා බැලීමේ දී නිරෝධායන නීති නොතකමින් එම පවුලේ ඥාතීන් කිහිප දෙනකු හා අසල්වැසියන් කිහිප දෙනකු මේ පවුල සමග සම්බන්ධතා පවත්වා ඇතැයි අනාවරණය විය. ඒ හේතුවෙන් ඊයේ (07) දිනයේ ම ඔවුන් 06 දෙනකුගේ ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකෙරිණි. අද (08) ලැබී ඇති ප්‍රතිඵල අනුව ඉන් සිව් දෙනකු ආසාදිත බවට පත්ව තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙසේ ආසාදනය වී ඇත්තේ ආසාදිත වූ නිවැසි කාන්තාවගේ මව, පියා, සහෝදරියක් සහ එම සහෝදරියගේ සැමියා බවයි. මේ පිරිස අවට පදිංචිකරුවන් සමඟ දිගින් දිගටම සම්බන්ධතා පවත්වා ඇති බැවින් ලබන අඟහරුවාදා දිනයේ මකුළුව ප්‍රදේශයේ පවුල් ගණනාවක් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය කටයුතු යොදා තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ මකුළුව ප්‍රදේශයේ කොරෝනා අනු පොකුරක් නිර්මාණය වීම වළක්වාගැනීම සඳහා මේ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායනයට යොමුකරන බවයි. සෞඛ්‍ය අංශ එසේ කළ ද නිරෝධායනයේ සිටින්නන් මෙන්ම ඔවුන් අවට පදිංචිකරුවෝ ද තමන් ආසාදිතයන් නොවීමටත්, වසංගතය තවත් අයකුට බෝ නොකිරීමටත් වගබලා ගත යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here