spot_img
spot_imgspot_img

තෙලිජ්ජවිල මැදි විදුහලේ නියෝජ්‍ය විදුහල්පති සිසුවකුගේ කන පලයි

පුවත්

විදෙස්

තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවකුට එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් කරන ලද පහරදීමක් හේතුවෙන් එක් කනකට හානි සිදු වී කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එම පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි දරුවෙකි.

සිසුවාගේ පියා විසින් මාලිම්බඩ පොලිසියට මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (12) පැමිණල්ලක් ද සිදුකර ඇතත් මෙතෙක් පොලිසිය නීතිය ක්‍රියාත්මක කර නැත.

පාසලේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම සඳහා යැයි පවසමින් ආදි සිසුන්, ප්‍රදේශයේ දේශපාලන සහ ව්‍යාපාරික බලවතුන් මෙන්ම ඇතැම් ඉහළ රාජ්‍ය නිලධාරීන් ද නීතිය ක්‍රියාත්මක නොකර ප්‍රශ්නය ගොඩින් බේරාගැනීමට බලපෑම් කරමින් සිටින බව ද වාර්තා වේ.

නමුත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසන්නේ දරුවා‍ගේ එක් කනක කර්ණ පටහ පටලයේ 40%කට පමණ හානි සිදුව ඇති බවයි.

සිසුවකුගේ උපන්දිනය දා පන්තියේ සිසුන් එකතු වී එම සිසුවාට පාන් පිටි ගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් කරුණු විමසා සිසුන් කිහිප දෙනකුට උපදෙස් දී ඇත්තේ සිය දෙමාපියන් කැටුව පසුගිය 10 වැනි දා පාසලට පැමිණෙන ලෙසයි. පහර කෑමට ලක්වූ සිසුවාට එවැනි උපදෙසක් දී තිබී නැත. එම සිද්ධියට එම සිසුවා සම්බන්ධ වී නැති බව ද ඔහුගේ පියා පවසයි. නමුත් 10 වැනි දා උදෑසන රැස්වීම අවස්ථාවේ දී සිසුන් කිහිප දෙනකු ඉදිරියට කැඳවූ නියෝජ්‍ය විදුහල්පතිවරයා රෝහල්ගතව සිටින මෙම සිසුවා ද එම ස්ථානයට කැඳවා ඇත. ඔවුන් පේළියට සිට වූ නියෝජ්‍ය විදුහල්පතිවරයා තම අත් දෙකම භාවිතා කරමින් සිසුන්ගේ කන් දෙකටම පහර එල්ල කර ඇති බවත් තම පුතාට ද එලෙස පහර දී ඇති බවත් රෝහල්ගතව සිටින සිසුවාගේ පියා පවසයි.

මෙම පහරදීමෙන් පසු කනේ බරපතල වේදනාවක් හේතුවෙන් පන්තියට වී හඬමින් සිටි සිසුවාට තවත් ගුරුවරු උසුළු විසුළු කරමින් පවසා ඇත්තේ කෙල්ලන් ඉස්සරහා ගුටි කෑවම ඔහොම අඩන්‍න වෙනවා යනුවෙනි. නමුත් ඔවුන් මේ දරුවාගේ වේදනාව ගැන සැළකිලිමත් වී නැත. පාසල අවසන්වීමට ආසන්නව තිබිය දී දරුවා දිගින් දිගටම වේදනාවෙන් සිටීම හේතුවෙන් ඒ බව දරුවාගේ පියා දැනුම් දී තිබේ. පියා පාසලට පැමිණි වහාම පවසා ගුරුවරුන් පවසා ඇත්තේ පොඩි දඩුවමක් දුන්නා. ඒක එච්චර හිතන්න එපා. අපි මේක හෙමිහිට කතා කරලා විසඳා ගනිමු යනුවෙනි.

දරුවාගේ පියා අප සමඟ මෙසේ කීවේය.

“මම දරුවා අකුරැස්සේ වෛද්‍යවරයකුට පෙන්නුවා. දරුවාගේ කන පරීක්ෂාකරලා කිව්වා උගුර, කණ නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වන්න කියලා. එදාම මම ගාල්ලට ගිහින් විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවාම පරීක්ෂාකරලා බලා කිව්වා ක‍නේ කර්ණ පටහ පටලයෙන් 40%ක් විනාශ වෙලා සිදුරක් හැදිලා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට කරාපිටිය රෝහලට ඇතුළත් කරන්න කිව්වා. එදා රෑම අපි පුතාව ඇඩ්ම්ට් කළා. අද 13 වැනි දා තවම රෝහලේ. රෝහල් පොලිසියේන කටඋත්තරයක් ගත්තා. මම පොලිසියටත් ගිහින් පැමිණිල්ලක් දැම්මා.”

මේ සම්බන්ධයෙන් අපි තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ජයනත් මීගොඩගෙන් විමසූ විට මෙසේ කීවේය.

“සිද්ධිය ඇත්ත. ඒ ගැන අපි ඉතාමත් කණගාටුවෙනවා. ළමයින්ට දඬුවමක් කරන්න ගියපු අවස්ථාවක දී තමයි මේ දේ වෙලා තියෙන්නේ. ඇත්තමට අද රටේ සිදුවන දේවල් අනුව දරුවන්ට දඬුවම් කරන්නේ නැතිවත් බැහැ. ඒ වගේම දඩුවම් කිරීම අනුමත කරන්නත් බැහැ. පාසලේ නියෝජ්‍ය විදුහල්පති පාසලට සහ දරුවන්ට ඉතාමත් ආදරයෙන් ඉන්න කෙනෙක්. අපි මේක අනුමත කරන්නේ නැහැ. නමුත් මේ දෙපැත්තම අපි බලන්න ඕනෑ. මා මේ ගැන පොලිසිය සමඟත් කතා කළා. දරුවන්ට දඬුවම් කළාම තාත්තලා පොලිසියට යනවානම් දරුවන්ට දඬවුම් කිරීමන් ගුරුවරු ඉවත් වෙන්න වෙනවා. එතකොට මොන තත්වයක් උදාවේවිද කියන්න දන්නේ නැහැ. මා මේ දඬුවම අනුමත් කරනවා නොවෙයි.”

පාසල් සිසුන්ට මෙවැනි අමානුෂික පහරදීම් නීතියෙන් තහනම්ය. දරුවන්ට දඩුවම් කිරීමට යැයි කියමින් සදාකාලික ශ්‍රවණාබාධිත වීමේ අවදානමකට දරුවන් පත්කිරීම අනුමත කළ හැකි ද යන්න ගැටලුවකි. දැන් නීතිය ක්‍රියාත්මක විය යුතුය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!