spot_img
spot_imgspot_img

උඩදියළුම දී, වන අලියා තම පෙම්වතියගේ දිවි අහිමිකළ හැටි පෙම්වතා කියයි

පුවත්

විදෙස්

“අපිි හිතුවේ නෑ අලියා අපි ළඟට ඒවි කියලා. ඒත් අලියා ඇවිත් කූඩාරම පෑගුවා. අපි හිටපු තැනට ෆෝන් වැඩ කළේ නෑ. බඩගාගෙන ගිහින් තමයි කෝල් එකක් ගත්තේ” යැයි උඩ දියළුම දී වන අලි ප්‍රහාරයකින් මියගිය තරුෂි කවීෂාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි දුන් ධනුෂ්ක මධුශාන් කලුආරච්චි කීවේය.

මියගිය 23 හැවිරිදි තරුණිය මාතර කැකණදුර පදිංචිකාරියකි. ඇය කුරුණෑගල පුද්ගලික ආයතනයක හෙද පුහුණුව ලබමින් සිටියාය. ඇය සමඟ උඩදියළුමට ගිය පෙම්වතා වාරියපොළ පදිංචි 22 හැවිරිදි අයෙකි.

ඔවුන්‍ දෙදෙනා විසින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථානවලට ගොස් වීඩියෝ දර්ශන නිර්මාණය කර යූටියුබ් වෙත එකතුකරන බවත් දැනගන්නට ඇත.

කවීෂාගේ සිරුර සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (12) සවස හලුදුම්මුල්ල හදිසි මරණ පරීක්ෂක ඒ.ආර්.රත්නවීර විසින් සිදුකරනු ලැබීය.

එහි දී වැඩිදුරටත් සාක්ෂි දුන් ධනුෂ්ක මධුශාන් මෙසේ ද කීවේය.

“මියගොස් සිටින්නේ මගේ පෙම්වතිය. අපි දෙන්නා කුරුණෑගල ඉදලා ඊයේ හපුතලේ යාලුවෙකුගේ ගෙදරට ඇවිත් එහේ ඉදලා උඩදියළුමට ආවේ. මඟ පෙන්වන්නෙක් එක්ක ඇවිත් කූඩාරම හදාගත්තා. අපි එයාලට යන්න කිව්වා. ගාස්තුව හැටියට රුපියල් 1000.00 ක් දුන්නා. රෑ 10.00ට විතර අලියා ආවා. අපි හිතුවේ අපි ඉන්න තැනට එන එකක් නෑ කියලා. අපි සද්ද නැතිව ගුලිවෙලා හිටියා. අලියා ඇවිත් කූඩාරම පෑගුවා. එයාගේ පපුවයිි බඩයි බාලා තිබුණා. මගේ වම් අත පැත්ත පොඩිවෙලා වගේ තිබුණා. වම් කකුලත් කැඩිලා. එයා වතුර ඉල්ලුවා. අමාරුවෙන් කතා කර කර හිටියා. කකුල සනීප කරගන්න පුළුවන් වේවි නේද කියලත් ඇහුවා. මම යාලුවන්ට කතා  කරන්න සෑහෙන්න උත්සාහ ගත්තා. ඒත් සිග්නල් තිබුණේ නෑ. රෑ එයා නැතිවෙලා. මම ඊට පස්සේ බඩගාගෙන අමාරුවෙන් ගියා පාන්දර තමයි කෝල් එකක් ගන්න පුළුවන් වුණේ. උදේ හයයි තිහට විතර ගමේ අයයි. 1990 ගිලන්රථයේ අයයි ඇවිත් මාව රෝහලට අරන් ගියා.

මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය ශානක රොෂාන් පිරණ විසින්සිදුකරන ලදී. වෛද්‍යවරයාගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැළකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂකවරයා මරණය සිදුව ඇත්තේ වන අලි ප්‍රහාරය හේතුවෙන් පපුවට හා උදරයට සිදු වූ බහුවිද තුවාල හේතුවනේ බව තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!