ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ, සෙල්ලම් මිදුලක් සෑදීමට යැයි කියමින් පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ගෙන් රුපියල් 25,000.00 බැගින් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කර ඇත.
මේ නීති විරෝධී මුදල් එකතු කිරීම සිදුකරන්නේ විදුහල්පති, ප්‍රාථමික අංශයේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති පතිනියන් සහ ගුරු භවතුන්ගේ ද අනුදැනුම ඇතිව සහ ඔවුන්ගේ උපදෙස් පරිදිය.
නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලැබූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි. පසුගිය මැයි 01 වැනි දා කන්නන්ගරගේ උරුමයන් ද සහිත රිච්මන්ඩ් විද්‍යාලයේ “රිච්මන්ඩ් උරුම කෞතුකාගාරය” විවෘත උත්සවශ්‍රීයෙන් විවෘත කළේය.
නිදහස් අධ්‍යාපනයේ පියා ගැන එක් පැත්තකින් පාරම්භාන රිච්මන්ඩ් විදුහලේ වර්තමාන පාලන අධිකාරිය දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය අහිමිකරමින් පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට මැයි මස 31 වැනි දා ට පෙර රුපියල් 25,000.00 බැගින් ගෙවන ලෙස දැනුම් දී තිබේ.
එම දැනුම් දීමේ සඳහන් කර ඇත්තේ පන්තිබාර ගුරවරයා වෙත හෝ පන්ති කමිටු සාමාජික දෙමායන් වෙත මෙම රුපියන් 25,000.00 මුදල බාරදිය යුතු බවයිි.
රිච්මන්ඩ් විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සමාන්තර පන්ති 07ක් ඇති අතර එක් පන්තියක සාමාන්‍ය සිසුන් සංඛ්‍යාව 40කි. ඒ අනුව සිසුහු 280ක් සිටිති. සෙල්ලම් මිදුලක් සෑදීමට බව කියමින් එකතු කිරීමට අපේක්ෂිත මුදල ලක්ෂ 70කි. මෙම මුදල් පාසල් සංවර්ධන සමිතියේ අරමුදලට බැර කරන ලෙස ද පාසලේ දෙමාපියන් සම්බන්ධ කර ඇති වට්ස් ඇප් සමූහයකට පණිවිඩ තබා ඇත.
නමුත් දෙමාපියන් චෝදනා කරන්නේ මෙවැනි සෙල්ලම් මිදුලක් සෑදීම සම්බන්ධයෙන් සැළැස්මක් හෝ වැය ඇස්තමේන්තුවක් හෝ තමන් මෙතෙක් දැක නැති බවයි.
මේ පිළිබඳ අප රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති පී.එස්.පුෂ්පකුමාරගෙන් විමසූ විට ඔහු කියා සිටියේ සෙල්ලම් මිදුලක් සෑදීමට මුදල් එකතුකරන බව සත්‍යයක් බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේ ය.
“අනිවාර්යයෙන් ම මුදල් ගෙවන්න කියලා නම් නෑ. සල්ලි එකතුකරනවා තමයි. ඒත් මේ සල්ලි එකතු කරන්නේ අපි කියලා නෙවෙයි. දෙමාපියන්ට අවශ්‍ය නිසා. ඒ නිසා මම ඒ ගැන දන්නේ නෑ. කොහොම එකතු කරන්නේ කියලා. ප්‍රාථමික අංශය භාර විදුහල්පතිතුමාගෙන් තමයි අහන්න ඕනෑ.”
විද්‍යාලයේ ප්‍රාථමික අංශය බාර විදුහල්තිවරයා පසුගිය දා ගුරුමාරුකිරීමේ දී පැමිණි පුද්ගලයෙකි. දෙමාපියන් පවසන්නේ ඔහු පැමිණීමට පෙර ද මේ මුදල් එකතු කිරීමේ කටයුතු සැළසුම් කර එය අනිවාර්ය කර තිබූ බවයි.
කෙසේ වෙතත් දෙමාපියන් කිහිප දෙනකු දැනටමත් රුපියල් 25,000.00 බැගින් මුදල් ගෙවා තිබිණි. ඒ මුදල් ගෙවා ඇත්තේ පාසල් සංවර්ධන සමිතියේ අරමුදලටය. ඒ සඳහා රිසිට් පතක් ද ලබා දී ඇත.
මේ නිසා විදුහල්පතිවරයා පවසන්නේ පාසල් සංවර්ධන සමිතියට මුදල් පරිත්‍යාග කිරීමට ඕනෑම අයකුට හැකියාව ඇති බවයි.
එම රිසිට්පතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නිල මුද්‍රාව ඇති බැවින් අපි ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයට ඇමතුමක් ගෙන අධ්‍යක්ෂවරියගෙන් ඒ ගැන විමසූ විට ඇය කියා සිටියේ රිච්මන්ඩ් විද්‍යාලයේ සෙල්ලම් මිදුලක් සෑදීමට මුදල් එකතු කරන බවට එම කාර්යාලය දැනුම්වත් නැති බවයි. පාසල් සංවර්ධන සමිතියේ හිස් රිසිට්පත් වලට නිල මුද්‍රාව තබන බව ද මුදල් ගන්නේ කුමන කාර්යයකට ද කියා නොදන්නා බව ද ඇය කීවාය.
මේ පිළිබඳ විමසීම සඳහා අපි අධ්‍යාපන අමාත්‍යාංශයට ඇමතුමක් ගත් විට එහි සිටි ඉහළ නිලධාරියකු ප්‍රකාශ කළේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියට එක් සිසුවකුගෙන් අයකිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ රුපියල් 4000.00ක් පමණක් බවයි. වෙනත් කිසිම මුදලක් අයකළ නොහැකි බවත් සෙල්ලම් මිදුලක් ඉදිකිරීම සඳහා අනුමැතියක් ගෙන නැති බවත් එම නිලධාරියා කියා සිටියේය.
මෙවර 2023 වර්ෂය සඳහා රිච්මන්ඩ් විද්‍යාලයට සිසුන් ඇතුළත් කරගැනීමේ දී ම අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත පාසල් සංවර්ධන ගාස්තුව වූ රුපියල් 4000.00 අයකරගෙන තිබිණි. ඊට අමතරව ආදි ශිෂ්‍ය සංගමයේ ව්‍යාපෘතියක් ලෙස රුපියල් 13,000.00ක් සෑම සිසුවකුගෙන්ම එකතුකර ඔවුන්ට පාසල් බෑගයක් සහ පොත් කට්ටලයක් ලබා දී තිබිණි.
නමුත් මාස කිහිපයක් ගතවීමට පෙර එම බෑග් සියල්ල ආදි ශිෂ්‍ය සංගමය විසින්ම නැවත එකතුකරගෙන ඇත්තේ එම බෑග් භාවිතා කළ නොහැකි තත්වයට පත්වීම හේතුවෙනි.
තම දරුවා පාසලට ඇතුළත් කිරීමේ දී ආදි ශිෂ්‍ය සංමයේ ව්‍යාපෘතියක් නිසා ඔවුන් නිපදවූ බෑගයක් මිල දී ගත් දෙමාපියන්ට සිදුව අත්තේ තවත් මුදලක් වැය කර නැවත දරුවන් වෙනුවෙන් පාසල් බෑග් මිල දී ගෙන දීමටය.
මීට අමතරව පන්තිකාමරවල ඇති Smart Board සඳහා අවශ්‍ය මෘදුකාංග දැමීමට රුපියල් 4000.00ක් වැය වන බැවින් එක් පන්තියකින් රුපියල් 571.43ක මුදලක් අවශ්‍ය බව සඳහන් කරමින් වට්ස්ඇප් සමූහයකට පණිවිඩයක් නිකුත්කර තිිබේ.
එම පණිිවියේ ම දැක්වෙන්නේ විද්‍යාලයේ විදුහල්පති පී.එස්.පුෂ්පකුමාරගේ ඉල්ලීමක් මත ප්‍රාථමික අංශභබාර සහකාර විදුහල්පතිතුමාගේ කාර්යාලය ඉදිරිපිට, ඉංග්‍රීසි ඒකකය ඉදිරිපිට සහ 1 ශ්‍රේණියේ පන්ති ඉදිරිපිට මල් පෝච්චිවලින් උද්‍යාන අලංකරණ කටයුතු යෝජනා කර ඇති බවයි. ඒ සඳහා එක් පන්තියකින් මල් පෝච්චි 02ක් බැගින් සැපයීම කළ යුතු බවත් මල් පෝචචියක් රුපියල් 3,000.00ක් බැවින් ඒ සඳහා රුපියල් 6,000.00ක මුදලක් අවශ්‍ය බවත් එම පණිවිඩයේ ම දැක්වේ.
මෙම සියලු තීරණ ගනු ලබන්නේ රිච්මන්ඩ් විද්‍යාලයේ 1 වැනි ශ්‍රේණියේ පොදු කමිටුව නිම්න පත්කළ දෙමාපියන් කිහිප දෙනකු විසින් පමණක් යැයි අනෙක් දෙමාපියෝ චෝදනා කරති. එම කමිටුවේ සිටින්නන්ගෙන් වැඩි දෙනකු ආදි ශිෂ්‍යයෝය. ඔවුන් අනෙක් දෙමාපියන්ගේ මතය නොවිමසා මුදල් එකතු කිරීමේ අවශ්‍යතා පමණක් ඉදිරිපත් කරන බව ද දෙමාපියෝ චෝදනා කරති.
නිදහස් අධ්‍යාපනයේ පියා ඉගෙන ගත් රිච්ම්න්ඩ් විද්‍යාලයේ දැන් නිදහස් අධ්‍යාපනයක් නැත. එහි ඇත්තේ මුදල් ගරන ජාවාරම්ය.




