spot_img
spot_imgspot_img

පොලිස්පතිට සහ විශේෂ විමර්ෂණ අධ්‍යක්ෂට නොතීසි. උණවටුනේ සිද්ධියක් යට ගැසීමට හැදුවයි චෝදනාවක්

පුවත්

විදෙස්

ගාල්ල උණවටුනේ පිහිටි සංචාරක හෝටලයක විදේශිකයන්ගෙන් ‍මුදල් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කළ නිලධාරීන්ට සහ සාක්ෂි කරුවන්ට අයතු බලපෑම් කළේ යැයි යන චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පොලිස්පතිවරයාට සහ කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා මැයි මස 15 වැනි දින අධිකරණයට ඉදිරිපත් විය යුතුය.

මෙම නොතීසි නිකුත්කරන ලද්දේ එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ සංචාරක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභූ ප්‍රසන්න විසින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලද ‍මෝසමක් සැළකිල්ලට ගනිමිනි.

උණවටුනේ පිහිටි වෝටර්ගේට් නමැති හෝටලයක සිටි විදේශිකයන් තිදෙනකුගෙන් රුපියල් ලක්ෂ 60ක් වටිනා මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම හෝටලය පවත්වාගෙන යන පිය පුතු දෙපළක් අත්අඩංගුවට ගැණිනි.

ඔවුන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ මෙහෙයවද්දී කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා සහ පොලිස්පතිවරයා එම පරීක්ෂණ සඳහා බලපෑම් කළ බවට වාර්තා විය. මෝසමක් මගින් උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ සොරකම සම්බන්ධ විමර්ශන සිදුකළ තමන් සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වමින් කියා සිටියේ මෙම මෝසම ඉදිරිපත් කිරීමට හා නඩුව සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභූ ප්‍රසන්නට කිසිම අයිතියක් නොමැති බැවින් ඊට ඉඩ ලබා නොදෙන ලෙසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබුණේ කවර ස්ථානයකට ද ? පරීක්ෂණ මෙහෙයවූයේ කවුරුන්ද ? සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ කවුරුන්ද ? යනුවෙන් මහේස්ත්‍රාත්වරයා එම අවස්ථාවේ දී විමසා සිටියේය.

එහි දී අනාවරණය වූයේ පැමිණිල්ල ලැබී ඇත්තේ උණවටුන සංචාරක පොලිස් මුරපොළ වෙත බවයි. එහි ස්ථානාධිපති ප්‍රභූ ප්‍රසන්න විසින් අදාල කටයුතු සිදුකර ඇති බබවද අනාවරණය විය. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා මෙම මෝසම විභාගයට ගැනීමට තීරණය කළේය.

මෝසම ඉදිරිපත් කර තිබූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභූ ප්‍රසන්න අධිකරණයේ දී කියා සිටියේ තමාට එරෙහිව විමර්ශනයක් කරන  විශේෂ ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයා මෙම සිද්ධියෙහි ප්‍රධාන සැකකරුගේ නිවසට පැමිණ ඔහු ඉදිරියේ මෙම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනා කැඳවා බලපෑම්කර කටඋත්තරයක් ලබාගත් බවට සාක්ෂිකරුවන් දිවුරුම් ප්‍රකාශ ලබා දී ඇති බව කියමින් එම දිවුරුම් ප්‍රකාශද අධිකරණයට ඉදිරිපත් කළේය.

තමන්ට, කොළඹ විශේෂ  ඒකකයට පැමිණෙන ලෙස කියා තමන්ගෙන් ද කටඋත්තර ලබාගැනිමට  ක්‍රියාකල බවත් මෙම නඩුකරයට අහිතක් වන ලෙසට කටඋත්තරයන්  දිමට නොහැකි බව පවසමින් කටඋත්තරයක්  දිම පුතිප්ෂේප  කල බවත්, ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ කීවේය.
එමෙන් ම මෙම විමර්ශන කටයුතුවලට සම්බන්ධ වී සිටි පොලිස්  කොස්තාපල් වරයාද එහි කැදවා සහකාර  පොලිස් අධිකාරිවරයකු  ඔහුට බලපැම්කර ප්‍රකාශයක් ලබාගත් බවට එම කොස්තාපල්වරයා ද දිව්රුම් ප්‍රකාශ  ලබා දී ඇති බව ඔහු විසින් ප්‍රකාශ කරන ලදී.

ඉදිරිපත් වූ මෙම කරුණු සියල්ල සලකා  බැලු මහෙස්ත්‍රාත්වරයා, පොලිස්පතිවරයාට සහ කොළඹ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මැයි මස 15 වැනි දින පෙනී සිටින ලෙස නොතීසි නිකුත්කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!