spot_img
spot_imgspot_img

පාංශකූලයත් දුන්නාට පසු, මළ සිරුර කරාපිටිය රෝහලට ගෙන යයි. දොස්තර සහ රෙජිස්ට්‍රාර් වැරදි වැඩ කරලා

පුවත්

විදෙස්

රිය අනතුරක් හේතුවෙන් තුවාල ලබා මියගිය පුද්ගලයකුගේ මළ සිරුර නීති විරෝධී ලෙස ඥාතීන්ට බාරදීම හේතුවෙන් එය භූමදානය නවත්වා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ඒමේ සිද්ධියක් වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ  බුලත්ගේ ප්‍රේමරත්න නමැති 69 හැවිරිදි පුද්ගලයෙකි. පුද්ගලයකු මියගිය පසු සිදුකළ යුතු නීතිමය කටයුතු උල්ලංඝනය කරමින් ඔහුගේ මළ සිරුර භූමදානයට සූදානම් කර අවසන් ආගමික වතාවත් පවා සිදුකර තිබිය දී ඊයේ (08) අහංගම පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් සිරුර කරාපිටිය ගෙනවිත් තිබිණි. පසුව මළ සිරුර සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා, පශ්චාත් මරණ පරීක්ෂණයක්ට ද යොමුකිරීමෙන් පසු අද (09) සිරුර මිහිදන් කිරීම සඳහා නැවත ඥාතීන්ට භාර දීමට හදිසි මරණ පරීක්ෂක කමල් ගාමිණී තිලක කටයුතු කළේය.

මියගිය පුද්ගලයා පසුගිය ජනවාරි 17 වැනි දින යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී කතලුව පාලම ආසන්නයේ දී කැබ් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබිණි. අනතුර සිදුවූ මොහොතේම 1990 ගිලන් රථයකින් ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් තිබූ අතර පසුගිය 06 වැනි දා දක්වා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවූයේ ය. වෛද්‍යවරුන්ගේ වාර්තාවල සඳහන් වන්නේ ඔහුගේ ඉළ ඇට කැඩී තිබීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා තිබූ බවයි. එමෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වයේ වෙනස් කම් සහ සිහි මද ගතියක් ද තිබී ඇති බව පැවසේ. මේ හේතුවෙන් තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් රෝගියා සුව කළ නොහැකි බැවින් ඔහු රෝහලෙන් ඉවත්කර නිවසට ගෙන යන ලෙස ඥාතීන්ට පවසා ඇතත් ඊට ඥාතීන් එකඟතාව පළකර නැත. ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට තුවාලකරු හබරාදුව දිසා රෝහලට පසුගිය මාර්තු 06 වැනි දා උදෑසන මාරුකර ගිලන්රථයකින් එහි යවා තිබිණි.

එදිනම පස්වරුවේ රෝගියා මියගියේය. රෝගියා මියගිය අවස්ථාවේ දී වාට්ටුවේ සිටි වෛද්‍යවරිය මරණයට හේතුව හෘද ස්ඵන්දනය සහ ශ්වසනය නැවතීම යනුවෙන් සඳහන් කර මරණ පරීක්ෂණයකින් තොරව මළ සිරුර ඥාතීන් වෙත නිදහස් කර තිබිණි.

රුහුණ විශ්වවිද්‍යාලයේ ‍අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය යූ.සී.පී.පෙරේ‍රා පවසන්නේ රිය අනතුරකින් මියගිය පුද්ගලයකු‍ගේ මළ සිරුරක් හදිසි මරණ පරීක්ෂණයක් නොකර නිදහස් කිරීම නීති විරෝධී බවයි. මෙම පුද්ගලයා මියයන අවස්ථාව වනවිටත් අහංගම පොලිසිය විසින් අදාල රිය අනතුර සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවත්වාගෙන යාම සිදුකර තිබූ අතර තුවාලකරුවකු බරපතල තත්වයෙන් රෝහලේ සිටින බව ද අධිකරණයට වාර්තා කර තිබිණි. ඉදිරි නඩු දිනයක දී තුවාල කරු මියගිය බව අධිකරණයට දැනුම් දෙන්නේ නම් ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද හදිසි මරණ පරීක්ෂණය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පිටපත් සහිතව ඉදිරිපත් කළ යුතු වෙයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට හබරාදුව දිසා රෝහලට රෝගියා මාරුකර යවන වාර්තාවේ ද රිය අනතුරකට ලක්වූ පුද්ගලයකු බව පැහැදිළිව සඳහන් කර තිබිය දී මෙම සිරුර නිදහස් කර තිබේ.  මරණනයක් සම්බන්ධයෙන් ක්‍රියා කරනු ලබන ආකාරය අනුව එලෙස නිදහස් කිරීම වරදකි.  

මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනවිත් නැවත මරණ පරීක්ෂණයක් සිදුකිරීමේ දී අදාල වෛද්‍යවරිය කැඳවා ඒ පිළිබඳ ප්‍රශ්න කළ විට ඇය පවසා ඇත්තේ තමන් එවැනි නීතිමය කරුණක් ගැන නොදන්නා බවයි. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ. එම වෛද්‍යවරිය කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ වසර 15කට වැඩි පළපුරුද්දක් ඇති තැනැත්තියකි.

වෛද්‍යවරිය විසින් වාට්ටුවෙන් මරණය නිදහස් කිරීමේ දී භාවිතා කරන බී 33 පෝරමය රැගෙන මළ සිරුරේ අවසන් කටයුතු සිදුකිරීමට පෙර උප්පැන්න, විවාහ හා මරණ රෙජිස්ට්‍රාර් මගින් මරණ සහතිකයක් ලබා ගැනීම ද අනිවාර්ය වේ.

එම පෝරමය රැගෙන පවුලේ ඥාතීන් අදාල රෙජිස්ට්‍රාර්වරිය හමුවීමට යන විට ඇය සිට ඇත්තේ පන්සලකය. දුරකථනයෙන් ඇය සම්බන්ධ කරගත් විට ඥාතීන්ට දී ඇති උපදෙසනම් “බී 33 පෝරමය ගෙදර තියලා යන්න. මරණයේ වැඩ ටික කරගන්න. මම ගෙදර ඇවිත් ලියලා දෙන්නම්” යනුවෙනි.

ඒ අනුව මළ සිරුර මල් ශාලාවට යැවූ ඔවුන් එය අවසන් කටයුතු සඳහා සකසා එදිනම (06) නිවසට ගෙන ගොස් තිබිණි. සිරුර භූමදාන කිරීම 08 වැනි දා සවසට යොදාගෙන ඇත.

‍මේ අතර මරණය ගැන දැනගත් අහංගම පොලිසිය වහාම ක්‍රියාත්මක වී තිබිණි. මරණයක් සිදුවූ විට ඒ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයක් සිදුකිරීමේ දී අදාල කටයුතු සිදුවන්නේ පොලිසිය මාර්ගයෙනි. රිය අනතුරකට ලක්වූ පුද්ගලයකු මියගියේ නම් හදිසි මරණ පරීක්ෂණයක් අනිවාර්ය වෙයි. එවැන්නක් නොකළහොත් වගකීමේ වැඩි කොටසක් පැවරෙන්නේ පොලිසියටම ය. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ආගමික වතාවත් පවා සිදුකර භූමදානයට සූදානම් කර තිබූ සිරුර 08 වැනි දා සවස කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එනු ලැබීය.

ඒ අනුව හිදිසි මරණ පරීක්ෂණය සිදුකෙරිණි.

හදිසි මරණ පරීක්ෂක කමල් ගාමිණීතිලක ඉදිරියේ පවුලේ ඥාතීන් කියා සිටියේ අනතුර සිදුවූ අවස්ථාවේ දී ද පොලිසිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකළ බවයි. අනතුරට හේතු වූ කැබ් රථය ප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක සේවකයන් දිනයේ වැඩ අවසන් වී නිවෙස් බලා ගෙන යන කැබ් රථයකි.

එම රථයේ රියදුරා ද මරණ පරීක්ෂණය සඳහා කැඳවිණි. මරණ පරීක්ෂණයකින් තොරව නීතියට පටහැනිව සිරුර නිදහස් කළ වෛද්‍යවරිය ද සාක්ෂි සඳහා කැඳවිණි. මරණය භූමදාන කිරීම සඳහා කටයුතු කරගන්න යැයි උපදෙස් දී මරණ සහතිකය පවා ලබා නොදුන් රෙජිස්ට්‍රාර්වරිය ඒ.ජී.ඩල්සි කල්‍යාණි ද මරණ පරීක්ෂණය සඳහා කැඳවීමට ‍අහංගම පොලිසියේ නිලධාරීන් කටයුතු කළ ද ඇය පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත.

ඇයට වසර 40කට වඩා ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති බවත්, තමන් මේ මරණය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත්, සහතිකයක් ලබා දී නැති බවත් පවසමින් ඇය පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත්තේ හදිසි මරණ පරීක්ෂණයක් සඳහා තමන් කැඳවීමට කිසිවෙකුට බලයක් නැති බව පවසමිනි.

ඇය එසේ කීව ද, හදිසි මරණ පරීක්ෂණයක දී හදිසි මරණ පරීක්ෂකවරයා සැළකෙන්නේ මහේස්ත්‍රාත් බලතල ඇති අයකු ලෙසිනි. ඒ අනුව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 370(5) වගන්තිය ප්‍රකාරව හදිසි මරණ පරීක්ෂකවරයාගේ උපදෙස් මත පොලිසියට ඕනෑම පුද්ගලයකු මරණ පරීක්ෂණය සඳහා කැඳවීමේ හැකියාව ඇත.

මහාචාර්ය යූ.සී.පී.පෙරේරා පවසන්නේ රෙජිස්ට්‍රාර්වරියගේ මරණ සහිතකය නැතිව, මල් ශාලාව සිරුර එම්බාම් කිරිමෙන් ද වරදක් සිදුකර ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මහාචාර්ය පෙරේරාගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැළකිල්ලට ගත් හබරාදුව හිදිසි මරණ පරීක්ෂක කමල් ගාමිණීතිලක මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදෙමින් මළ සිරුර අද (09) ඥාතීන්ට භාරදීමට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!