spot_img
spot_imgspot_img

මන්ත්‍රීවරුන්ගේ විස්තර සැඟවීමට පාර්ලිමේන්තුව ගත් උත්සාහය වරදී – තොරතුරු පනතේ බලය තහවුරු වෙයි

පුවත්

විදෙස්

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ ප්‍රතිපාදන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ වන බවත් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ඔවුන් නීතියෙන් බැඳීසිටින බවත් අභියාචනාධිකරණය විසින් තීන්දු කර තිබේ.

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් මුදාහරින ලෙස තොරතුරු කොමිසම විසින් දුන් තීරණයක් තහවුරු කරමින් සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු මහජනතාව විසින් පත්කරන ලද පිරිසක් බවය. 

එම පිරිස මහජනතාව විසින් නඩත්තු කරන අතර ඔවුන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කිරීමට නීතියෙන් බැඳීසිටින බව තීන්දුවේ සඳහන් කර තිබේ.

එසේ වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්නොකිරීම නීතියෙන් වරදක් බව පෙන්වා දුන් විනිසුරුවරයා එම චෝදනාවට වරදකරු වන පුද්ගලයෙකුට අවුරුද්දක් නොඉක්මන සිරදඬුවමක් හෝ රුපියල් දහසක් නොඉක්මවන දඩයක් හෝ එම දඬුවම් දෙකම වුවද නියම කිරීමට මහෙස්ත්‍රාත්වරයෙකුට හැකියාව තිබෙන බවත් පෙන්වා දී ඇත.

2018 වසරේ ජුනි මස 21 වනදා මාධ්‍යවේදී චාමර සම්පත් මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කොට තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් තමන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

එහෙත් එම ඉල්ලීම පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව මාධ්‍යවේදී චාමර සම්පත් මහතා විසින් තොරතුරු කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම පැමිණිල්ල විභාග කළ තොරතුරු කොමිසම පැමිණිලිකරු ඉල්ලා සිටින තොරතුරු මුදාහරින ලෙස පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියාට නියෝග කර තිබුණි.

එම තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් අභියාචනාධිකරණය හමුවේ එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබු බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

දීර්ඝ කරුණු විභාගයකින් පසු තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ එම පෙත්සම තුළ අන්තර්ගත කරුණු පදනම් විරහිත බවය.

ඒ අනුව, වත්කම් හා බැරකම් ප්‍රකාශ මුදාහරින ලෙස තොරතුරු කොමිසම විසින් 2021 වසරේ පෙබරවාරි මස 02 වනදා දුන් නියෝගය තහවුරු කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ අභියාචනය ප්‍රතික්ෂේප කරන බව තීන්දුවේ සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!