spot_img
spot_imgspot_img

පන්සල්, පල්ලි, පාසල් නිසා වගා පාලු වෙයි. ගස්වල ගෙඩි නෑ. මී මැස්සන් වවුලන් ඇතුළු සතුන් අතුරුදන්. ආගමික උන්මාදය සාගතයකට අතවනයි? (පර්යේෂණ රැසකින් තහවරු වෙයි)

පුවත්

විදෙස්

මී මැස්සන් සහ බඹරුන් වැනි සතුන්ගේ ගහණය අඩුවීම හේතුවෙන් තෙත් කලාපයේ වගාවන්හි අස්වැන්න සීඝ්‍ර වශයෙන් අඩු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ අධ්‍යයනයක දී හෙළි වී ඇත.

නිරිත දිග තෙත් කලාපයේ ගම්මාන 600ක් කේන්ද්‍ර කරගනිමින් වසර එකහමාරක කාලයක් පුරාවට සිදුකළ සමීක්ෂණයක දී මේ බව අනාවරණය වී බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රවීන්ද්‍ර විතානච්චි පවසයි.

එම පර්යේෂණයේ දැක්වෙන්නේ දේශගුණික විපර්යාස ඇතුළු හේතු ගණනාවක් මේ සතුන්ගේ අඩුවීමට බලපා ඇති බවයි.

ශබ්ද දූෂණය මී මැස්සන්, බඹරුන් වැනි පරාගනයට සෘජුව දායකවන සතුන්ට ඉතාමත් අහිතකර ලෙස බලපාන බව ලෝකයේ රටවල් ගණනාවක සිදුකර ඇති පර්යේෂණ රැසකින් අනාවරණය වේ.

ශ්‍රී ලංකාවේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණනයෙන් නිකුත් කළ නියෝග පවා තිබිය දී පසුගිය කොරෝනා වසංගත කාලයේ දී සෑම ගම්මානයක ම ඇති වෙහෙර විහාරවල අලුයම් කාලයේ සහ සවස් කාලයේ පැයක පමණ කාලයක් පිරිත් සජ්ජායනා කිරීම ආරම්භ කළ අතර එය සිදුකර ඇත්තේ එවකට අගමැති මහින්ද රාජප්කෂගේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බව බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවසයි.

මීට අමතරව දැනට වසර ගණනාවක සිට මුස්ලිම් දේවස්ථානවල ද ආගමික වතාවත් සඳහා කැඳවීමක් දිනට කිහිප වතාවක් ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් අධික ශබ්දයෙන් සිදුකරයි. පාසල් පරිශ්‍රයන්හි ද මේ වනවිට සෑම දිනකම උදෑසන පැයක කාලයක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් ආගමික වතාවත් සිදුකිරීම් ‍වාර්තා වේ.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මේ ශබ්දය රටේ වගා පාළුවට සෘජු බලපෑමක් සිදුවන බවයි.

මී මැස්සන් ශබ්දය නිසා විනාශ වන අයුරු

මි මැස්සන් ඇතුළු සියළු බිඟුන් විශේෂ ජීවත්වන්නේ ජනපද ආකාරයෙනි. ඔවුන් එක් රැජිනක් සමඟ වැඩකරන මැස්සියන් සහ පිරිමි මැස්සන් වශයෙන් සිටින අතර එම ජනපදයේ රැජිනක් බිහි වුවහොත් මැස්සන් කණ්ඩායමක් එම රැජින සමඟ වෙනත් ස්ථානයක් සොයා පියාසර කිරීම සුලබ දසුනකි. එවැනි අවස්ථාවක දී අතීත ගැමියෝ මී මැස්සන් ජනපදයෙන් මිදී යනු දුටු වහාම යකඩයකින් යකඩයකට ගසා ශබ්දයක් උපද්දවන අතර ඒ සමඟම මී මැස්සන් අසළ ඇති ගසක සිය ජනපදය පිහිටුවා ගැනීම සඳහා ඒකරාශී වෙයි. මෙය ප්‍රායෝගිකව අපේ රටේ ගැමියෝ අත්හදා බැලා සාර්ථක වූහ.

මෙහි විද්‍යාත්මක සත්‍යයක් ඇති බව 2016 වර්ෂයේ දී නිව්යෝර්ක් හි Vassar University විසින් සිදුකළ පර්යේෂණයකින් තහවුරු  වී තිබේ.

මී මැස්සන් ඇතුළු බිඟුන් විශේෂවලට ශබ්ද දූෂණය ඉතාමත් අහිතකර බවත් හර්ට්ස් 300 සිට කිලෝ හර්ට්ස් 01 දක්වා දක්වා ශබ්දයක් හෝ ඩෙසිබල් 107 සිට 120 දක්වා වූ ශබ්ද ඔවුන්ට අහිතකර බව එම පර්යේෂණයෙන් තහවුරු වී තිබේ.

එවැනි ශබ්දයකට අතිවන අවස්ථාවල දී ඉතා ක්‍රියාශීලී මී මැස්සකු හෝ බඹරකු විනාඩි 20ක පමණ කාලයක් සිය චලනය වීම සම්පූර්ණයෙන් ම නවත්වන තරමට දුර්වල වන බව ද ඔවුන් ප්‍රකෘත්මත් වී නැවත සාමාන්‍ය හැසිරීම ආරම්භ කළ වහාම ශබ්දය ඇති වූ ප්‍රදේශයෙන් හැකිතාක් දුරට පළායන බව ද පර්යේෂකයෝ කියති. ක්ෂණික ශබ්දයක දී විනාඩි 20ක් අකර්මන්‍ය වන මී මැස්සකු විනාඩි කිහිපයක් අධික ශබ්දයට නිරාවරණය වීමෙන් මිය යා හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

අතීත ගැමියන් යකඩයකින් යකඩයකට තලා ගොඩනගන ශබ්දයෙන් මී මැස්සන් නවතා ගත්තේ මේ විද්‍යාත්මක පර්යේෂණ සිදුකරන්නට සියවස් ගණනාවකට පෙරාතුවය. නමුත් ඒ සත්‍යය දැන් විද්‍යාත්මකව සනාථ වී ඇතත් අපේ පන්සල්, පල්ලි සහ විහාරවල නීති විරෝධී ලෙස ඇතිකරන ශබ්දයෙන් ගම්මානවල වගා පාළු වෙමින් තිබේ.

මී මැස්සන් ඇතුළු කෘමි විශේෂවලට සිදුවන හානිය පිළිබඳ කරන ලද පර්යේෂණයේ ප්‍රධානියා වන මහාචාර්ය Jesse Barber, Anthropogenic Noise Changes Arthropod Abundances, ශබ්දය විස්තර කළේ “සංවේදක දූෂණය” ලෙසනි. 

ඔහු පෙන්වාදෙන්නේ කෘමීන් පරිසර පද්ධතියට අත්‍යවශ්‍ය වන බැවින් මිනිසුන් විසින් ඇති කරන ශබ්දය ඔවුන්ගේ හැසිරීම සහ ව්‍යාප්තිය වෙනස් කරන ආකාරය තේරුම් ගැනීම “අත්‍යාවශ්‍ය” බවයි.

අපගේ වන ජීවීන්ට සහ පරිසර පද්ධතියට ශබ්ද දූෂණයේ බලපෑම් තීරණය කිරීම සඳහා අධ්‍යයනයන් අඛණ්ඩව සිදුවෙමින් පවතී. මානව යටිතල ව්‍යුහයේ ව්‍යාප්තිය අනෙකුත් විශේෂයන්ට බරපතල ලෙස බලපාන “සංවේදක දූෂණය” නිර්මාණය කරන ආකාරය ඔවුන් විස්තර කරයි.

විද්‍යාත්මක පර්යේෂණ රැසක්

ශබ්ද දූෂණය යනු මිනිස් හෝ සත්ව ජීවිතයට හානිකර බලපෑමක් ඇති කරන ඕනෑම ශබ්දයකි. ශ්‍රී ලංකාවේ ශබ්ද දූෂණයේ ප්‍රධාන ප්‍රභවයන් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇත්තේ මුස්ලිම් පල්ලි, බෞද්ධ විහාරස්ථාන, මාර්ගයේ ඇති බුදුපිළිම සහ බෝධි අසළ ශබ්ද විකාශන යන්ත්‍ර, පාසල් ශබ්ද විකාශන යන්ත්‍ර සහ අධික ශබ්දයෙන් පවත්වන සාද සහ සැණකෙළි ආදියයි එමෙන්ම බස් රථ ඇතුළු වාහනවල ඇති හෝන් නාදය ද ජංගම වෙළෙඳ රථවල නීතිමය අවසරයකින් තොරව සවිකර ඇති ශබ්ද උත්පාදන උපකරණ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ශබ්ද දූෂණය කෘමීන්ට සහ කුඩා සතුන්ට බලපාන ආකාරය පිළිබඳ වැඩිදුර සොයා බැලීම සඳහා මෑත වසරවලදී විද්‍යාත්මක අධ්‍යයනයන් ගණනාවක් සම්පූර්ණ කර ඇත. අධික ඝෝෂාව මිනිසුන්ට මෙන්ම සත්ව රාජධානියටද කැළඹීමක් ඇති කරන ආකාරය පෙන්වන ආකර්ෂණීය සොයාගැනීම් කිහිපයක් තිබේ.

කුරුල්ලන්ට සිදුවන බලපෑම

කැනඩාවේ ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ශබ්ද දූෂණයෙන් කුරුල්ලන්ගේ සංසර්ගය ඇණහිටින බවයි. එය අනාගතයේ  කුරුල්ලන්ගේ ගහනය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කළ හැකි ගැටලුවකි. 

ඝෝෂාකාරී ශබ්දය කුරුල්ලන්ට එකිනෙකාගේ නාද ඇසීමට බාධාවක් බව අධ්‍යයනයේ නිගමනය විය. විශේෂයෙන් ම අලුයම, උදෑසන කුරුල්ලන් සිය දිනය ආරම්භ කරන මොහොතේත්, යළි කැදලි සහ වාසස්ථාන සඳහා පැමිණෙන සවස් කාලයේත් ඇති අධික ශබ්දය ඔවුන්ට දැඩි හානියක් බව පර්යේෂකයෝ තහවරු කරගෙන ඇත.

ගැහැණු සතෙකු ආකර්ෂණය කර ගැනීම සඳහා නංවන ශබ්දයේ දී සහ සංසර්ග ක්‍රියාවලියේ දී පිරිමි කුරුල්ලෙකුගේ ගීතය ඉතා වැදගත් වේ. බාහිර ශබ්ද සාධක පිරිමියා කුරුල්ලාගේ නාදය  විකෘති කරන්නේ නම්, ඔහු හවුල්කරුවෙකු ආකර්ෂණය කර නොගත හැකිය.

වනාන්තරයේ නිස්කලංක ප්‍රදේශවල ජීවත් වන පක්ෂීන්ගේ 92% සාර්ථකත්ව අනුපාතය හා සසඳන විට, අධික ශබ්දයක් අසල ජීවත් වන පක්ෂීන් යුගල බවට පත්වීමේ කිරීමේ අනුපාතය 77% ක් පමණක් බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. පර්යේෂකයන් පැවසුවේ ශබ්ද දූෂණය වර්ධනය වීමත් සමඟ කුරුල්ලන්ගේ වාසස්ථාන සඳහා නිස්කලංක ස්ථාන අඩු වන අතර මෙය ඔවුන්ගේ ගහනය අඩුවීමට ප්‍රධාන හේතුවක් බවයි.

එම වාර්තාවේ නිගමනය වන්නේ මිනිසුන් ශබ්ද දූෂණය අවම කිරීමට පියවර ගන්නේ නම් තත්ත්වය සමනය කළ හැකි බවයි. 

ඉඩාහෝ හි බොයිස් ප්‍රාන්ත විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයක් මගින් සංඛ්‍යාව අඩුවෙමින් පවතින මාර්ග අසල ජීවත් වන පක්ෂීන්ට ශබ්ද දූෂණයේ බලපෑම් සොයා බැලීය. 2013 වර්ෂයේ දී කරන ලද මෙම අධ්‍යයන සතුන්ට ශබ්දයේ ප්‍රතිවිපාක අහිතකර ලෙස බලපාන බවට හඳුනාගත් ප්‍රථම අධ්‍යයනයයි.

දිනපතා කුරුළු සමීක්ෂණ සිදු කරන අතරතුර, පර්යේෂකයන් ඉඩාහෝ කුරුළු නිරීක්ෂණාගාරය අසල ගස්වල ස්පීකර සවිකර ශබ්දයක් ඇතිකරන ලදී. වරින් වර මෙම ශබ්දය නිකුත්කරමින් පක්ෂින්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් ඔවුන් කියා සිටියේ පක්ෂි ගහනය 25% කින් පමණ අඩු වූ බවයි. සමහර විශේෂයන් එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම මඟ හැර ගොස් තිබිණි.

කුරුල්ලන්ගේ හැසිරීම් වෙනස් වීමට මිනිසා විසින් ඇතිකරන ප්‍රධානතම සාධකය වන්නේ ශබ්ද දූෂණය බව පර්යේෂණයෙන් නිගමනය විය. වනජීවී කළමනාකරුවන්ට ඔවුන්ගේ සංරක්ෂණ ප්‍රයත්නයන් සහ කුරුල්ලන්ගේ වාසස්ථාන අනාගත කළමනාකරණය සඳහා සහාය වීම සඳහා ශබ්දයේ බලපෑම් අවබෝධ කර ගැනීම මෙම සමීක්ෂණයේ අරමුණ විය.

එක්සත් ජනපද ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පාරිසරික දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරන ලද අධ්‍යයනයන් මගින් ඝෝෂාකාරී මාර්ගවලින් කුරුල්ලන් සංක්‍රමණය වීම “අධිවේගී බලපෑම” ලෙස නම් කර ඇත. වනාන්තර කුරුල්ලන් විශේෂ 43 ක් පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ ඔවුන්ගෙන් 60% ක් මාර්ගයට ආසන්න සංඛ්‍යාවෙන් අඩු වී ඇති බවයි.

අවට ඇති අභිජනන යුගල ගණනට ද බලපෑ “එකම වැදගත් සාධකය” ශබ්දයයි. පාරේ මීටර් 400 ක් ඇතුළත අභිජනන ජෝඩු සිටියේ නැතැයි පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ.

මෙලෙස ශබ්ද දූෂණය වැඩිවන විට,  විද්‍යාඥයින් බිය වන්නේ පසුව ඇති වන ඝෝෂාව නිසා කුරුල්ලන්ගේ ස්වාභාවික වාසස්ථාන තවදුරටත් අඩු වන අතර, ඔවුන් බෝ කිරීමට ස්ථාන අඩු කර අවසානයේ ඔවුන්ගේ ගහනය අඩු වනු ඇති බවයි.

සතුන් කාණ්ඩ රැසකට අහිතකර ලෙස බලපායි

මෙම ශබ්ද දූෂණය ඉතාමත් අහිතරක ලෙස බලපාන තවත් සතුන් කාණ්ඩයක් වන්නේ නිශාචර පක්ෂීන්ය. ක්ෂීරපායීන්, බකමූණන්, බස්සන් වැනි සතුන් ආහාර සොයා යන්නේ ඉතාමත් සංකීර්ණ ලෙස පරිනාමය වී ඇති සිය කන්වලට ග්‍රහණය කරගන්නා ශබ්දය ඔස්සේය. විද්‍යාඥයන් පවසන්නේ ස්වභාවික පරිසරයට ඩෙසිබල් 01ක ශබ්දය වැඩිවීමක් හේතුවෙන් වවුලන් ඇතුළු නිශාචර සතුන්ගේ සාර්ථකත්වය 8%කින් අඩු වන බවයි.

ශ්‍රී ලංකාවේ පන්සල්, පල්ලි වල වැඩිම ශබ්දයක් නිකුත් කරනු ලබන්නේ මෙවැනි සතුන් ආහාර සොයා සිය සංචරණය ආරම්භ කරන වේලාවේ දී ය. ඉන් පසු නැවත ඔවුන් තම වාසස්ථාන කරා එන අලුයම සහ උදය කාලයේ යළි ශබ්දය ඇති කරයි. මෙය ශ්‍රී ලංකාවේ වවුලන් ඇතුළු නිශාචර සතුන්ගේ පැවැත්මට අතිශය හානිකරය.

වවුලන්ට සිදුවන බලපෑම

වවුලන් යනු මෙරට කෙසෙල් ඇතුළු බෝග රැසක පරාගනයට වැඩිම දායකත්වයක් දරන සතුන් විශේෂයකි. පන්සල්වල ආගමික ප්‍රචාරය ‍විශාල වශයෙන් ආරම්භ වී ගත වූ වසර දෙකක පමණ කාලයේ දී මෙරට වවුල් ගහණ ඝනත්වය ද විශාල ලෙස පහත වැටී ඇති බව දැනටමත් අධ්‍යයනයන් මගින් තහවුරු කරගෙන තිබේ.

ඇතැම් වවුලන් විශේෂ සිය එක් ගමන් වාරයක දී මදුරුවන් 3000ක් පමණ කා දමන බව පර්යේෂකයෝ කියති. වවුලන්ගේ ගහනය අඩුවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ගම්බද ප්‍රදේශවල පවා දැන් මදුරු උවදුරු දැඩිව වර්ධනය වී තිබේ. ඒ අනුව පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මදුරුවන්ගේ වර්ධනයට ද ආගමික ස්ථානවලින් සිදුකරන ඝෝෂාකාරී ශබ්දය හේතුවක් වන බවයි.

අදෘශ්‍යමාන අනතුරක්

ශබ්ද දූෂණය යනු මිනිසා ඇතුළු සියලු ජීවීන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට බලපාන අදෘශ්‍යමාන අනතුරකි. මිනිස් හෝ සත්ව ජීවීන්ගේ ක්‍රියාකාරකම් කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරන ඕනෑම අනවශ්‍ය හෝ බාධාකාරී ශබ්දයක් ශබ්ද දූෂණයක් ලෙස හැඳින්වෙයි. එය අදෘශ්‍යමාන අනතුරක් විය හැකි නමුත් එය අපගේ එදිනෙදා ජීවිතයේදී බහුලව දක්නට ලැබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ශබ්දය පරිසර දූෂණයේ භයානකම ආකාරයක් බවයි. අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ අධික ශබ්දය නිසා මී මැස්සන් වැනි බිඟුන් වර්ග අකර්මන්‍ය වී විනාශ වන බවයි. දළඹුවන්ගේ හදවත් වේගයෙන් ගැහෙන බවත් ඔවුන්ට සිය ජීවන චක්‍රය සම්පූර්ණ කරගත නොහැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. කුරුල්ලන්ට පැටවුන් අඩු වීමට හේතු වන බවත් පෙන්වා දී ඇත. ශබ්ද දූෂණය නිසා සතුන්ට සංචාලනය, ආහාර සොයා ගැනීම, සංසර්ගය සහ විලෝපිකයන් වළක්වා ගැනීම සඳහා ශබ්දය භාවිතා කිරීමට අපහසු වේ, බොහෝ සතුන්ගේ පැවැත්මට ශබ්ද දූෂණය දැඩි විනාශකාරී වෙයි.

Queen’s University Belfast විසින් ‘Biology Letters’ නමින් ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක් මගින් ශබ්ද දූෂණය හෝ මිනිසා විසින් සාදන ලද ඝෝෂාව වනජීවීන්ට ඇති කළ හැකි හානිය පිළිබඳව විස්තර ඉදිරිපත් කර ඇත.

මෙම අධ්‍යයනයේදී, විශේෂ සියයකට වඩා විශ්ලේෂණය කර කාණ්ඩ හතකට බෙදා ඇත: උභයජීවීන්, ආත්‍රපෝඩාවන්, පක්ෂීන්, මාළු, ක්ෂීරපායින්, මොලුස්කාවන් සහ උරගයින් වශයෙනි. එම අධ්‍යයනය පදනම් වී ඇත්තේ ශබ්දයට නිරාවරණය වීමට පෙර සහ පසුව සතුන්ගේ හැසිරීම් වල විවිධ පැති වාර්තා කර ඇති පර්යේෂණ මත ය.

ප්‍රතිඵල මගින් ශබ්ද දූෂණය විශේෂ කාණ්ඩ හතටම බලපාන බවට සාක්ෂි සොයාගෙන ඇති අතර, විවිධ කණ්ඩායම් ශබ්දයට ප්‍රතිචාර දැක්වීමේදී වෙනස් නොවූහ.

ක්වීන්ස් විශ්ව විද්‍යාලයේ බෙල්ෆාස්ට් හි ආචාර්ය කුන්ක් පැවසුවේ, “අපි නිතරම කතා කරන්නේ දේශගුණික විපර්යාස, රසායනික දූෂණය, ප්ලාස්ටික් දූෂණය සහ වාසස්ථාන විනාශය ගැනයි. නමුත් ශබ්දය, විශේෂයෙන් නාගරික ප්‍රදේශවල ඇත්ත වශයෙන්ම සතුන්ට අහිතකර බලපෑමක් ඇති කළ හැකියි. මේ ගැන අපි දැඩිව අවධානය යොමුකළ යුතුමයි.” යනුවෙනි.

ශබ්ද දූෂණය වන අදෘශ්‍යමාන සතුරා පරාජය කිරීමට අප සැමට කාර්යභාරයක් ඇති අතර, මිනිසුන් පමණක් නොව අපගේ වන සතුන් තවදුරටත් හානිවලින් ආරක්ෂා කර ගැනීමට අප අවදියෙන් සිටිය යුතුය.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශය

කොරෝන වසංගතයෙන් අත්මිදීම සඳහා බෞද්ධ විහාරස්ථානවල පිරිත් සජ්ජායනා කරන්න යැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් උපදෙස් පිළිබඳ බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුමගෙන් අප වරක් කළ විමසීමක දී ඔහු මෙසේ කීවේය.

“අපි කිසිම අවස්ථාවක දී ලවුඩ්ස්පීකර් හෝ වෙනත් ශබ්ද උත්පාදන යන්ත්‍ර භාවිතා කරලා පිරිත් ‍සජ්ජායනා හෝ වෙනත් ආගමික වැඩසටහන් විකාශය කරන්න කියලා උපදෙස් දීලා නෑ. කොරෝනා වසංගත කාලයේ දී අගමැති කාර්යාලයේ ඉල්ලීමකට අනුව සියලු විහාරස්ථානවලට දැනුම් දුන්නා පිරිත් සජ්ජායනයක් කරන්න කියලා. ඒක කිව්වේ සතියක කාලයක් සඳහා පමණයි. ඒකත් සජ්ජායනා කරන්න ඕනෑ ‍භික්ෂූන් වහන්සේලා භෞතිකව මිසක් කැසට් යන්ත්‍රවලින් කරන්න කියලා කිව්වේ නෑ. මේ ශබ්ද දූෂණ ක්‍රියාවලියට අපි දෙපාර්තමේන්තුවක් වශයෙන් විරුද්ධයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!