spot_img
spot_imgspot_img

පොලිස් වෙඩි පහරින් මැරුණු සැකකරුට පුද්ගලික මුදලින් වන්දි ගෙවන්න යැයි නියෝගයක්

පුවත්

විදෙස්

සැකකරුවකු පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාම හේතුවෙන් එම පුද්ගලයාගේ බිරිඳට පුද්ගලික මුදලින් වන්දි ගෙවන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකට නියෝග කළේය.

මෙම මරණය සිදුව ඇත්තේ 2008 වර්ෂයේ දී ය. එවකට හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සිය පුද්ගලික මුදලින්,  මියගිය පුද්ගලයාගේ බිරිඳට රුපියල් 475,000.00ක වන්දියක් ගෙවිය යුතු බවට එම නියෝගයේ සඳහන් වෙයි.

පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත්තේ එන්.මොහොමඩ්.ඉර්ෆාන් නමැති අයෙකි. ඔහුගේ බිරිඳවන එම්.ආර්.ෆාතිමා ෂර්මිලා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදුකරන ලදී.

ගාමිණී අමරසේරක සහ කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟතාව සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

සැකකරු මියයාම  හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 13(4) විධිවිධාන මගින් සහතික කරදී ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තීරණය කෙරිණි. ඒ අනුව කොම්පඤ්ඤවීදියේ එවකට හිටපු ස්ථානාධිපති වරයා සහ පොලිස් පරීක්ෂක කේ.එන්.සී.පී.කළුආරච්චි රුපියල් ලක්ෂ 02 බැගින් ද එවකට එම පොලිසියේ සේවය කළ පොලිස් සැරයන් 31118 ඩබ්ලිව්.ජී.නිශාන්ත, පොලිස් සැරයන් 30342 කරුණාතිලක,  පොලිස් කොස්තාපල් 5004 සිද්ධික් රුපියල් 25,000.00 බැගින් ද වන්දි ගෙවිය යුතු බවට නියෝග කෙරිණි. මීට අමතරව රුපියල් 250,000.00ක මුදලක් මියගිය පුද්ගලයාගේ බිරිඳට වන්දි ලෙස ගෙවන්න යැයි රජයට ද නියෝග කෙරිණි.

මීට අමතරව අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පළා යාමට තැත්කළ බැවින් පොලිස් වෙඩි පහරින් මරණයට පත්වූවා යැයි කියන සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන්න යැයි ද පොලිස්පතිවරයාට නියෝග කරන ලදී. එම නියෝගය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මාර්තු මස 24 වැනි දින අධිකරණයට වාර්තා කරන්න යැයි ද දැනුම් දෙනු ලැබීය.

පැමිණිලිකාරිය සඳහන් කර තිබුණේ ජීව බෝම්බයක් සන්තකයේ තබාගැනීම සහ කොල්ලකෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් 2008 වර්ෂයේ සැප්තැම්බර් 02 වැනි දා දහවල් 1.00ට පමණ තම සැමියා අත්අඩංගුවට ගත් බවයි සඟවා ඇති ආයුධ පෙන්වීම සඳහා බව කියමින් පොලිසිය විසින් තම සැමියා මාළිගාවත්ත සහ කොටහේන ප්‍රදේශවලට රැගෙන ගොස් ඇති අතර පසුව කොළඹ, ගෑස් පහ ප්‍රදේශයේ දී වෙඩි තබා මරා දමා ඇති බවට ආරංචි වූ බවයි. ඒ අනුව තමන් එහි යනවිට අංක 32-8466 දරණ පොලිස් ජීප් රථයේ සැමියාගේ දේහය තිබෙන දුටු බව ද ඇය සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණවල දී පොලිසිය සඳහන් කර ඇත්තේ තම සැමියා පොලිස් වාහනයකින් රැගෙන යමින් සිටිය දී  සැරයන්වරයකු අත තිබූ ගිනි අවියක් උදුරාගෙන තවත් සැරයන්වරයකුට වෙඩි තැබීමට උත්සාහ ගනිද්දී සිය ආත්මාරක්ෂාව සඳහා කරුණාතිලක නමැති සැරයන්වරයා සැයාට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතැයි සඳහන් කෙරුණු බවයි.

නඩු තීන්දුවේ සඳහන් වන්නේ සැකකරු මියයන අවස්ථාවේ මාංචු දමා සිට ඇති බවයි. ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් 08 දෙනකු ජීප් රථය තුළ සිටි බව ද අනාවරණය වී ඇත. එබැවින් කරුණාතිලක නම් නිලධාරියා භාවිතා කර ඇත්තේ ආත්මාරක්ෂාව පිළිබඳ අයිතිය ද යන්න පිළිබඳ බරපතල සැකයක් ඇතිවන බව ද ඔහු වෙඩි තබා ඇත්තේ ආත්මාරක්ෂාවට යන්න පිළිගත නොහැකියැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ආරක්ෂාව සහතික කිරීම පොලිසියේ රාජකාරියක් වන බවත් එවකට ‍කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරයා එම වගකීම ඉටුකර තිබේ ද යන්න ගැටලුවක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර ඇත්තේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවිය. පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන ඊට ගරුකර ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ද ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි. එබැවින් නීතියේ ආධිපත්‍යය දැඩි ලෙස අභියෝගයට ලක්වන මෙවැනි සිද්ධීන් වැළලැක්වීමට පියවර ගත යුතු යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.

වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් ඇතුළු නිලධාරීන් පිරිසක් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටියහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!