spot_img
spot_imgspot_img

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිට බරපතළ චෝදනාවක් එල්ල වෙයි

පුවත්

විදෙස්

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සිය නිල රථය සඳහා මාස හයක දී ගෙවිය යුතු මුදලට අමතරව වැඩිපුර රුපියල් 873,000.00 ක මුදලක් වැඩිපුර මුදලක් වාහනය ලබාගත් ආයතනයට නැතිව වෙනත් ආයතනයට ගෙවා ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

සභාපතිවරයා විසින් පරිහරණය කරන නිල රථය ලබාගෙන ඇත්තේ රුපියල් 375,000.00ක මාසික කුලී පදනම යටතේය. එය බෙන්ස් වර්ගයේ අති සුඛෝපභෝගී රථයකි. 2021 දෙසැම්බර් මස 07 වැනි දා සිට 2022 මැයි 31 දක්වා එ් සඳහා ගෙවිය යුතු මුදල 2,187,475.00 ක් ලෙස සඳහන් කරමින් ගෙවීම් වවුචරයක් ද නිකුත් කර තිබේ. එසේ වුව ද කොමිෂන් සභාවේ බැංකු ගිණුමෙන් ඒ සඳහා ගෙවා ඇති මුදල 3,061,165.00කි. ඒ අනුව වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් 873,690.00කි.

මෙම විගණන වාර්තාවේ දැක්වෙන්නේ එම වාහනය කුලී පදනමට ලබාගත් දින පටන් 2022 ජනවාරි 25 වැනි දා දක්වා වෙනත් ආයතනයක් සතුව තිබී ඇති බවයි. පසුව කොමිසම ගිවිසුම් ගත වූ සමාගම වෙත මේ වාහනය පවරා ඇති බව ද විගණන වාර්තාවේ දැක්වේ. කොමිසමේ කුලී මුදල් වාහනය අයිති සමාගම වෙත ‍නොගෙවා වාහනයේ අයිතිය ඇතැයි තහවුරු කර ගත නොහැකි වූ පුද්ගලකුට ගෙවීම් කර ඇතැයි ද වාර්තා වේ.

මෙහි තවත් ගැටලුවක් වන්නේ රාජ්‍ය ආයතනවල මෙවැනි ගෙවීම් නිශ්චිත පුද්ගලයකුගේ හෝ ආයතනයක නමට රේඛනය කරන ලද චෙක්පත් මගින් සිදුකළ යුතු වුව ද මේ මුදල් ගෙවා ඇත්තේ එලෙස නොව මුදල් ලෙස වීමයි. එසේම ඒ වෙනුවෙන් නිකුත් කළ ඉන්වොයිස් පත්‍රයේ සේවා සැපයුම්කරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හා ඉල්ලුම්කරුගේ අත්සන, වාහන කුලී ගෙවිය යුතු කාල පරිච්ඡේදය, හා ගාස්තුව සඳහන් කර නැතැයි ද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන් ම එම තොරතුරු පසුව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පරිගණකයක් ඇසුරෙන් සකසා ඇති බව ද නිරීක්ෂණය වන්නේ යැයි ද විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම ආයතනයෙන් ම එම වාහනය ම ලබාගැනීම සඳහා කොමිසම 2022  ජුනි 08 දින ලැබු ලංසුවක් අනුව කොන්ත්‍රාත් ගිවිසුමකට එළැඹ ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. එහෙත් එම ගිවිසුම අනුව කොන්ත්‍රාත්කරුගේ ආයතනයේ ලියාපදිංචි අංකයක් නොතිබුණ බවද , අධ්‍යක්ෂකවරයෙක් ලෙස අත්සනක් යොදා තිබුණද ඔහුගේ නමක් හැඳුනුම්පත් අංකයක් පවා සඳහන් නොවු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අද (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන් මාධ්‍යවේදීන් විමසූ විට ඔහු කියා සිටියේ තමන් වරදක් කර නැති බවයි. වාහනයට මුදල් ගෙවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමට කිසියම් පුද්ගලයකු පැමිණිලි කර ඇති බව ද ඒ ගැන අල්ලස් ‍හෝ දූෂණ කොමිසම ක්‍රියාමාර්ග ගනු ඇති බව ද හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!