ජනශක්ති සමාගමේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කිරීම ඔහුගේ සමීපතමයකුගේ සැළැස්මකට අනුව සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාපර්තමේන්තුව පවසන්නේ බොරැල්ලට යනවා යැයි කියා ඔහු හදිසියේ ම නිවසින් පිටත්වීමත්, කෙළින්ම බොරැල්ල කනත්තට පැමිණීම මෙන් ම දුරකථන ඇමතුම් විශ්ලේෂණයෙන් මතුව ඇති කරුණු මෙම සැකයට හේතුවක් වී තිබේ.
ෂාෆ්ටරගේ මරණයට පෙර සහ පසු පුද්ගලයන් කිහිප දෙනකුගේ හැසිරීම් පිළිබඳව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමසිල්ලෙන් පසුවන අතර ඔවුන්ගේ ද දුරකථන ඇමතුම් විශ්ලේෂණය කිරීමට ද අවධානය යොමුව තිබේ.
බොරැල්ල සුසානභූමියේ මෝටර් රථය නතර කර තිබූ ස්ථානය සහ නිවසේ සිට ඔහු එය කෙලින්ම සුසානභූමියට පදවාගෙන ආ ආකාරය ගැන නිරීක්ෂණය කිරීමේ දී ද ඔහු මීට පෙර සුසානභූමියේ එම ස්ථානයට අවස්ථා කිහිපයක් ම පැමිණ ඇතැයි පරීක්ෂණ කණ්ඩායම සැකකරයි.
විමර්ශන කණ්ඩායම පවසන්නේ බොරැල්ල කනත්තට ඔහු ගෙන්වාගත් පුද්ගලයා හෝ ඔහු සමඟ කනත්තට ගිය පුද්ගලයකු ෂාෆ්ටර් ඝාතනය කිරීමට කලින්ම සැළසුම් කර තිබෙන්නට ඇති බවයි.
දිනේෂ් ෂාෆ්ටර් එදිින නිවසින් පිටව ගොස් ඇත්තේ තනිවමය. නමුත් කෙනෙකු හමුවීමට සුසාන භූමියට පැමිණෙනවා යැයි කියන්නේ අසාමාන්‍ය සිද්ධියකි. රියදුරකු සමඟ නොපැමිණීමෙන් පෙනී යන්නේ ෂාෆ්ටර් ඉතාමත් සමීප පුද්ගලයකු හමුවිමේ බලාපොරොත්තුවෙන් යන්නට ඇති බවයි. මේ යන අතරතුර යම් කිසිවෙකු ඔහුගේ රථයට ගොඩවූවානම් හෝ සුසානභූමියේ දී හමුවූ පුද්ගලයා ෂාෆ්ටර්ගේ ඝාතකයා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඔහුට මේ හිරිහැරය සිදුව තිබෙන්නේ රියදුරු අසුනේ දී ය. පොලිසිය පවසන්නේ එයින් පැහැදිලි වන්නේ ද ෂාෆ්ටර් ම මෙම රථය පදවාගෙන ආ බවයි. ෂාෆ්‍ටර්ගේ ගෙල සිරකර තිබූ වයරය ද අලුත්ම වයරයක් වන අතර එය බිම තිබී අහුලාගත් එකක් ද නොවේ. එය භාවිතා කර ඇත්තේ ද මෙවැනි ඝාතනයක් සඳහා ඒ ආකාරයේ වයරක් වඩාත් සුදුසු යැයි අවබෝධයක් ඇති අයකු මේ ඝාතකයා විය යුතුය. එයින් පැහැදිලියි දිනේෂ් ෂාෆ්ටර් ගෙන්වාගෙන තියෙන්නේ ඔහු ඝාතනය කිරීමේ සැළැස්ම අනුවමයි. මෙය හදිසි කෝපය නිසා සිදුවූ ඝාතනයක් නෙවෙයි. යනුවෙන් පරීක්සණ මෙහෙයවන කණ්ඩායම පවසයි.
පරීක්ෂණ කණ්ඩායම පවසන්නේ ඝාතනය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණය වී ඇති බැවින් ඉදිරි දින කිහිපයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන බවයි.
ෂාෆ්ටර්ගේ රථයේ තිබූ ඇඟිලි සළකුණු වාර්තාවක් ද අද (20) ලැබීමට නියමිතය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ටානි ෂාෆ්ටර්ගෙන් ඊයේ (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.