මහනුවර හිඳගල රජ මහා විහාරයේ දී වයස අවුරුදු 17ක හිමිනමකට බලහත්කාරයෙන් වස පොවා ඇතැයි පොලිසිය පවසයි.
හිමියන්ට වස පොවා පැරසිටමෝල් පෙති දෙකක් ද ගිල්වීමෙන් බරපතළ තත්වයෙන් පසු වූ හිමියන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඊයේ (18) ඇතුළත් කර තිබිණි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අත්තරගම ධම්මරතන නමැති හිමි නමකි.
හිඳගල රජමහා විහාරාධිවාසී ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියන් පවසන්නේ විහාර භූමියට දින කිහිපයක් පැමිණි නන්නාදුනන පුද්ගලයකු විසින් මෙලෙස හිමියන්ට වස පොවා ඇති බවයි.
එම පුද්ගලයා වස බෝතලයක් අතේ තබාගෙන විහාරස්ථානයේ රැඳී සිටිමින් එය පානය කරන බවට තර්ජනය කිරීම හේතුවෙන් මෙම ධම්මරතන හිමි ගොස් ඔහුට එසේ නොකරන ලෙසත් විහාර භූමියෙන් ඉවත්ව යන ලෙසත් දැනුම් දී ඇත.
ඔහුට එවැනි උපදෙසක් දී ආපසු තමන් සිටි තැනට පැමිණෙමින් සිටි ධම්මරතන හිමිගේ පිටුපසින් ආ එම පුද්ගලයා හිමියන්ගේ ගෙලට පිහියක් තබා වස බෝතලය බලහත්කාරයෙන් පොවා තිබෙන බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
විෂ ශරීරගත වීමෙන් පසු ධම්මරතන හිමි රෝහල්ගත කරන විට සිහිසුන් තත්වයෙන් සිටි බව ද විහාරස්ථානයේ හිමිවරු කියති.