ගාල්ල, වක්වැල්ල, සේරියගොඩ ප්‍රදේශයේ සංවර්ධනය කරන ඉඩමක් හේතුවෙන් සේරියගොඩ මාර්ගයේ ගමන් කිරීමට පවා අපහසු වී ඇති බව ගම්වාසීහු පවසති. මෙම ගැටලුව වසරක පමණ කාලයක් පවතින බවත් වාර්ෂා කාලවල දී මාර්ගයට සෝදාගෙන එන මඩ දැන් අවස්ථා කිහිපයක් ම ඉවත් කළ ද ගැටලුවට ස්ථිර විසඳුමක් නොදෙන බවත් කියති.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අක්කර ගණනාවක මෙම ඉඩම සංවර්ධනය කර විකිණීමට ගන්නා උත්සාහය හේතුවෙන් ජලවහන පද්ධතියට බාධා ඇතිවී දැන් මාර්ගවලට මඩ සහ පස් විශාල වශයෙන් එකතුවන බවයි. ඇතැම් අවස්ථාවල දී එම ඉඩමේ එළි පෙහෙළි කරන ලද බෑවුම ඔස්සේ වැස්සත් සමඟ විශාල ජල ධහරාවක් ගලා එන බවත් එමගින් නිවාසවලට පවා හානි සිදුවනු ඇතැයි බියක් පවතින බවයි.
ඊයේ (17) සවස ඇති වූ ධාරානිපාත වර්ෂාවක් හේතුවෙන් රොන්මඩ සේරියගොඩ මාර්ගයේ එක් ස්ථානයකට පැමිණ මාර්ගයේ ගමන් කිරීමට අපහසු තත්වයක් උදා වී තිබිණි. එවැනි අවස්ථාවල දී ඉඩම සංවර්ධනය කරනු ලබන සමාගම එම පස් ඉවත්කිරීම මීට පෙර ද සිදුකර තිබිණි. නමුත් දිගින් දිගටම මෙම ගැටලුව ඇතිවන බවත් ඒ සඳහා ස්ථිර විසඳුමක් අවශ්‍යබවත් කියින් ගැමියෝ මාර්ගය වසා උද්ඝෝෂණයකට සැරසුනහ.
එම අවස්ථාවේ දී එහි පැමිණි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ පෝද්දල පොලිසියේ ස්ථානාධිපති ඩබ්ලිව්. ලලිත් ද සිල්වා මහතා ප්‍රදේශවාසීන් සහ ඉඩම සංවර්ධනය කරන සමාගමේ නියෝජිතයන් කැඳවා ඒ සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කළහ.
ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් වුව ද සංවර්ධනය කටයුතු සිදුකළ යුතු වන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය අතිවය. බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් අබේකෝන් මහතා කියාසිටියේ ඉඩම සංවර්ධනය කිරීමට අවසර ලබාදී ඇතත්, සම්පූර්ණ ගැටලු විසඳන තුරු ඉඩම විකිණීමට අවසර නොදෙන බවයි.
මෙම ස්ථානයට පැමිණ සිටි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික ඉංජිනේරුවරිය පැවසුවේ සංවර්ධන කටයුතු සිදුකිරීමේ දී නාගරික සංවර්ධන අධිකාරියේ නිර්දේශ අනුව වරලත් ඉංජිනේරුවකුගේ අධීක්ෂණයෙන් සියලු කටයුතු සිදුවන බවයි. නමුත් මේ සාකච්ඡාව සඳහා එවැනි වරලත් ඉංජිනේරුවරයකු පැමිණ සිටියේ නැත.
තාක්ෂණික නිලධාරීවරයා, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ පොලිස් ස්ථානාධිපතිවරයාගේ තීරණය වූයේ මාර්ගයට පැමිණෙන ජලය මාර්ගය හරහා ඉදිකරන බෝක්කුවක් සහ තවත් අතුරු මාර්ගයකින් අසළ ඇති කුඹුරට බස්සවා, එම කුඹුරේ පිටවානක් සකස් කර කුඹුර අයිනෙන් වෙනත් ප්‍රදේශයකට ගෙන යාමයි.
ගැමියන් එයට එකඟ වී සියලු දෙනා අත්සන් කර ලිපියක් දිය යුතු බවත්, ඉන් පසු නැවත ප්‍රශ්න ඇතිකර නොගත යුතු බවත් සභාපති දිල්රුක් අබේකෝන් මහතා කීවේය.
ඉඩම සංවර්ධන කටයුතු කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන අමිල නුවන් මහතා කියා සිටියේ කුඹුර දක්වා කොන්ක්‍රීට් කාණුවක් සකස්කර දිය හැකි බවයි. නමුත් කුඹුර අයිනෙන් ජලය බැස යාමට බැකෝ යන්ත්‍රයකින් කාණුවක් සකසා දීමට හැකියාව ඇතත් එය කොන්ක්‍රීට් යොදා සැකසීම ගැටලුවක් බව ද හෙතෙම කීවේය.
එමෙන්ම මෙවැනි කාණුවක් ඉදිකිරීම සඳහා අවශ්‍ය සියලු අවසර ලිඛිතව ප්‍රාදේශීය සභාවෙන් ලබාදෙන ලෙස ද හෙතෙම ඉල්ලීමක් කළේය.
මෙම සාකච්ඡාවලින් පසු ඉක්මනින් කාණුවක් සාදා ජලය නිසි පරිදි බැස යාමට සළස්වන බවට පොරොන්දුවීමෙන් පසු ගැටලුව නිරාකරණය වූ අතර ඒ වනවිටත් මාර්ගයට එකතු වී තිබූ මඩ තට්ටුව අදාල සමාගම විසින් සේවකයන් සහ බැකෝ යන්ත්‍රයක් යොදා ඉවත්කිරීම සිදුකෙරිණි.