spot_img
spot_imgspot_img

CID වෙත මහේස්ත්‍රාත්ගෙන් දෝස්මුරයක්. ඩයනාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි

පුවත්

විදෙස්

බලවත් පුද්ගලයන්ට එරෙහි පරීක්ෂණ අතහැර දැමීමට කටයුතු කරන ආකාරය තමන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට පවා පෙනෙන්නේ යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (17) වැනි දා විවෘත අධිකරණයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා කරමින් කීවේය.

මහේස්ත්‍රාත්වරයා මේ බව කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහි නඩුවක් අද කැඳවූ අවස්ථාවේ දී ය.

ඩයනා ගමගේට පනවා ඇති විදේශ ගමන් තහනම ද මහේස්ත්‍රාත්වරයා විසින් ලබන 15 වැනි දා දක්වා දීර්ඝ කරන ලදී.

ඇයගේ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාජ ඒවා බව සඳහන් කරමින් ගොනුකර තිබූ පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේ දී එම නියෝග නිකුත් කෙරිණි.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න තම සේවාදායිකාවට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට විරෝධය දැක්වූ පැමිණිලිකාර ඕෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න කියා සිටියේ

“සංචාරක රාජ්‍ය ඇමතිනිය නිසා රටින් පළා යන එකක් නැහැ කියා පිළිගන්න බැහැ. ජනාධිපතිවරයාත් පළාගිය රටක් මේක. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක රාමවික්‍රම ඩයනා ගමගේ නැමැත්තිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වශයෙන් සඳහන් කර තිබෙනවා. ඇය එම කාරණය වසන්කර විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලබාගෙන තිබෙන බවත් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා. ඩයනා ගමගේ නමැත්තියගේ උප්පැන්නය සහ ජාතික හැඳුනුම්පත් ද ව්‍යාජ බවට විමර්ශන වලින් කරුණු අනාවරණය වී තිබෙනවා”. යනුනේ කිවේය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඩයනා ගමගේ නමැත්තියට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇති නිසා ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

“පොලීසිය මේ විමර්ශනය හරියට නොකරන නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම. බලවත් අයට විරුද්ධව පරීක්ෂණයක් ආවම ඒක අතහැර දානවා. ඒක මට හොඳට පේනවා. මට විතරක් නෙවෙයි සාමාන්‍ය මිනිසුන්ටත් පේනවා බොරුවක් කරන බව. නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙන්න ඕන. පරීක්ෂණ යටපත් කරන්න බෑ,” යනුවෙන් චෝදනා කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සහ ප්‍රකාශවල පිටපත් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!