spot_img
spot_imgspot_img

දකුණේ රාජ්‍ය සේවා කොමිසම විභාග වංචා කළ හැටි මෙන්න. තොරතුරු කොමිසමටත් බොරු කියලා

පුවත්

විදෙස්

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 (MN-1) III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවාගැනීමේ විවෘත තරඟ විභායේ 2020 වර්ෂයේ ප්‍රතිඵල ලේඛන සැකසීමේ දී බරපතල වංචාවක් කර ඇති බව තොරතුරු දැනගැනීමේ පනත අනුව අප කරන ලද විමර්ශනයක දී අනාවරණය වෙයි.

එම විභාගයේ ප්‍රතිඵල ලේඛන 2021 ‍මාර්තු මස 24 වැනි දා නිකුත් කර තිබූ අතර නැවත තවත් ප්‍රතිඵල ලේඛනයක් එම දිනය ම සඳහන් කරමින් 2021 මැයි 17 වැනි දින නිකුත් කර තිබීම හේතුවෙන් විභාග වංචාවක් සිදුව ඇති බවට මතු වූ සැකයක් මත විභාගය සම්බන්ධයෙන් තොරතුරු රැසක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටියෙමු.

එහෙත් දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සාවද්‍ය හේතු දක්වමින් එම තොරතුරු දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඒ පිළිබඳ තොරතුරු කොමිෂන් සභාවට පැමිණිලි කළ අතර එම කොමිසම නියෝග කළේ අප ඉල්ලා ඇති සියලු තොරතුරු ලබා දෙන ලෙසයි.

තොරතුරු කොමිසම විසින් ලබාදුන් නියෝගය අනුව අපි අද (16) දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසමේ කාර්යාලයට ගොස් ඉහත විභාගය සම්බන්ධ ලේඛන පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම ලේඛන භාරව සිටි නිලධාරිනියක් ඊට බාධා කළාය. ඇය දිගින් දිගටම කියා සිටියේ අපගේ ජංගම දුරකථන ඉවතින් තබා පැමිණිය යුතු බව සහ එම ලේඛන බලමින් කිසිදු සටහනක් තබා ගැනීමට ඉඩ දිය නොහැකි බවයි.

අවසානයේ නැවත තොරතුරු කොමිසමට ඒ විරෝධය ගැන දැනුම් දී දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන්ට තොරතුරු පනත ගැන පැහැදිළි කිරීම් ලබාදීමට ද අපට සිදුවිය.

තොරතුරු කොමිසම නැවත පළාත් රාජ්‍ය සේවා කොමිසමට දැනුම් දුන්නේ එම ලේඛන පරීක්ෂා කිරීමේ දී අවශ්‍ය සටහන් තබා ගැනීමට අපට හිමිකමක් ඇති බවයි. ඒ අනුව තොරතුරු පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබිණි.

මෙම විභාගය පැවැත්වීමෙන් පසු අප කරන ලද විමසීමක දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථිරව ම කියා සිටියේ විභාගයේ උත්තර පත්තර නැවත පරීක්ෂා කිරීමට කිසිම හැකියාවක් නොමැති බවයි. ලිඛිත ඉල්ලීමක් කළ ද ඊට අවස්ථාවක් නැතැයි ද කොමිෂන් සභාව දැනුම් දුන්නේය. (පටිගත කරන ලද හඬ පට අප සතුව තිබේ)

නමුත් කොමිෂන් සභාවේ ලේකම් ගාමිණී වීරවික්‍රම අපට කීවේ එක් විභාග අපේක්ෂිකාවගේ ඉල්ලීමක් මත ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ බවයි. එම සමීක්ෂණයේ දී ඇය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වූ බව ද ඔහු කීවේය. ඒ අනුව දෙවැනි ප්‍රතිඵල ලේඛනයක් සැකසූ බව ද ලේකම්වරයා අපට කීවේය.

අප මෙම ප්‍රතිඵල සමීක්ෂණය පිළිබඳ විස්තර ඉල්ලූ විට ඒ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබිණි.

අද (14) ලේඛන පරීක්ෂා කිරීමේ දී අපට පෙනී ගියේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එවැනි ප්‍රතිඵල නැවත පරීක්ෂණයක් සිදු නොකර විභාග ප්‍රතිඵල වෙනස් කර ඇති බවයි.

මෙය සම්පූර්ණයෙන් ම විභාග මගඩියකි. හිතා මතා වංචා සහගත  ලෙස ප්‍රතිඵල වෙනස් කිරීමකි. එය ආරම්භ වන්නේ  වෙබ් අඩවියේ ප්‍රතිඵල ලේඛන පළ කිරීමෙනි. වෙබ් අඩවියේ පාලක පුවරුව පරීක්ෂා කිරීමට අපට අවස්ථාව ලැබිණි

WordPress භාවිතාකරමින් www.psc.sp.gov.lk වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ. 2021 මාර්තු 24 වැනි දිනැති පළමු ප්‍රතිඵල ලේඛනය මුල්වර නිකුත් කර ඇත්තේ මාර්තු 29 වැනි දා ය. දෙවැනි ප්‍රතිඵල ලේඛනය 2021 මැයි 17 වැනි දින පළකර ඇත්තේ පළමු ප්‍රතිඵල ලේඛනය මකා දමමිනි. නමුත් ඔවුන් පැහැදිලි විභාග වංචාවක් සිදුකරන බැවින් එම ප්‍රතිඵල ලේඛන අත්සන් තබා ඇැත්තේ 2021 මාර්තු මස 24 වැනි දිනැතිවය. ලේකම්වරයා පවසන පරිදි පසුව ප්‍රතිඵල සමීක්ෂණයක් සිදුකළේ නම් ප්‍රතිඵල ලේඛනය මුලින්ම ප්‍රසිද්ධියට පත්කළ මාර්තු මස 27 වැනි දිනටත් පෙර නැවත දෙවැනි ලේඛනයකට අත්සන් තැබීම පුදුම සහගත දෙයකි. මේ නිලධාරීන් සිදුකරන්නේ බරපතල වංචාවකි.

විවෘත තරඟ විභාගයක ප්‍රතිඵල ලේඛනයක් නැවත සමීක්ෂණය කිරීමට හෝ නැතිනම් එය වෙනස් කිරීමට හෝ කිසිදු නිලධාරියකුට තනි මතයට සිදුකළ නොහැක. ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ නොහැකියැයි කියූ විභාගයක එක් අපේක්ෂිකාවකගේ වුවමනාවට එම විභාගය නැවත සමීක්ෂණය කළා නම් නැවත සමීක්ෂණය කළ නිලධාරීන් සිටිය යුතුය.

මේ සම්බන්ධයෙන් අප ලේඛන ඉල්ලා තිබිණි. ඒ පහත සඳහන් පරිදිය.

  1. නැවත පරීක්ෂණය සඳහා කැඳවන ලද පරීක්ෂණ මණ්ඩලයේ නම් සහ තනතුරු ලේඛනයක්
  2. එම පරීක්ෂණ මණ්ඩලය සඳහා යවන ලද  කැඳවීම් ලිපිවල පිටපත්
  3. ඔවුන් පැමිණීම පිළිබඳ දැක්වෙන අත්සන් ලේඛනයේ පිටපතක්
  4. නැවත සමීක්සණය කරන ලද සමීක්ෂණ මණ්ඩලයට ගෙවීම් කරන ලද වවුචර්වල පිටපතක්

මෙම තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු කොමිසම දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසමට නියෝග කළ විට දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරී සකාර ලේකම්, එච්.එම්.එස්.ආර්.කරුණාරත්න අභියාචනය අතරතුර කියා සිටියේ එම නැවත පරීක්ෂණය සිදුකළ නිලධාරීන්ගේ අනන්‍යතාව හෙළිකිරීමට නොහැකි බවයි. එබැවින් එම තොරතුරු ලබාදිය නොහැකි බවයි.

නමුුත් තොරතුරු කොමිස‍ම එම තොරතුරු ද අපවෙත ලබා දෙන්න යැයි නියෝග කළේය.

අද ලේඛන පරීක්ෂා කිරීමට ගිය විට එවැනි කිසදු ලේඛනයක් දකුණු පළාත්  රාජ්‍ය සේවා කොමිෂන් සභාව  සතුව තිබුණේ නැත. එම ලේඛන ඉල්ලූ විට ඔවුන් කියා සිටියේ එවැනි නැවත පරීක්ෂණයක් සිදු නොකළ බවයි. එබැවින් එවැනි ලේඛන පෙන්විය නොහැකි බව ද එහි සිටි කාර්යාල සේවික‍ාවෝ තහවුරු කළහ.

එසේ නම් නැවත පරීක්ෂණය පැවැත්වීමේ ලේඛන රහස්‍යභාවය හෙළි කිරීමට නොහැකි බැවින් දීමට නොහැකියැයි තොරතුරු නිලධාරීවරයා කියා ඇත්තේ මුසාවකි. ඔහු එදා තොරතුරු කොමිසම හමුවේ ද අසත්‍ය කරුණු දක්වමින් මේ විභාග මගඩිය සඟවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදී තිබේ.

පළමු ප්‍රතිඵල ලේඛනයේ 24 වැනි යා ලෙස සිටි අපේක්ෂිිකාව දෙවැනි ප්‍රතිඵල ලේඛනයේ 01 වැනියා වූයේ නැවත ප්‍රතිඵල පරීක්ණයකින් අනතුරුව යැයි කීව ද එවැනි පරීක්ෂණයක් සිදුව නැත.

එසේ නම් මේ ප්‍රතිඵල වෙනස් වූ‍යේ කෙසේ ද ?

රටේ පවත්නා නීතිය අනුව මේ ප්‍රතිඵල මගඩියට අභියෝග කළ හැකි එක් පුදගලයකු සිටියි. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමු ප්‍රතිඵල ලේඛනය අනුව ප්‍රථමයා ලෙස නම සඳහන්ව දෙවැනි ප්‍රතිඵල ලේඛනයේ දෙවැනියා වූ අපේක්ෂිකාව පමණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක් පුරප්පාඩුවක් සඳහා පැවැත්වූ මේ තරඟ විභාගයෙන් තම ප්‍රතිඵල වංචා සහගත ලෙස වෙනස් කර තමන් අයිතීන් අහිමිකර ඇතැයි ඇයට අධිකරණයට යාමට හැකියාව තිබිණි.

අප තොරතුරු ඉල්ලීම කළ වහා දකුණු පළාත් සභාවෙන් ඇයට ද පත්වීමක් ලැබිණි. ප්‍රතිඵල මගඩිය වසා ගැනීමට දෙදෙනාටම පත්වීම දී නිහඬ කිරීම සිදුව ඇත.

නමුත් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යනු ජනතාවට ලැබුණු ඉතාමත් ශක්තිමත් අයිතිවාසිකමකි. මෙවැනි මගඩි සඟවාගැනීමට රාජ්‍ය නිලධාරීන්ට හැකියාවක් නැති බව අපි නැවත සිහිපත් කරන්නෙමු.

මේ සම්බන්ධයෙන් මීට පෙර පළ කළ පුවත් පහතින්

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම විභාග මගඩියක

“දෙන්න බෑ කියූ තොරතුරු දෙන්න” යැයි දකුණේ රාජ්‍ය සේවා කොමිසමට නියෝග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!