ගාල්ල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක වින්දිතයකු බවට පත්ව සිටින මහින්ද විද්‍යාලයීය සිසුවාගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අද (28) විදයාලයීය නියෝජ්‍ය විදුහල්පතිවරයාට දැනුම් දුන්නේය.
ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මෙම දැනුම් දීම කරන ලද්දේ විදුහල්පති අතුල විජේවර්ධන වෙනුවට එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු වින්දිත සිසුවා සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.
පාසල් සිසුන් කිහිප දෙනකු අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක දී වින්දිතයකු බවට පත්ව සිටින අදාල සිසුවා අධිකරණයේ අධීක්ෂණය යටතේ පරිවාස දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් නැවත භාරකරුවන් යටතට පත්කර සාමාන්‍ය පරිදි සමාජගත කර ඇතත් මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන එම සිසුවාට යළි පාසලට පැමිණීම සඳහා අවස්ථාව ලබා දී තිබුණේ නැත.
මේ හේතුවෙන් දරුවාගේ අධ්‍යාපන අයිතිය මාස තුනකට ආසන්න කාලයක් අහිමි වී ඇතැයි නීතිඥ අජිත් කුමාර විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අද (28) මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා අධිකරණයට කැඳවා තිබිණි.
අධිකරණයට කැඳවා තිබුණ ද විදුහල්පතිවරයා නොපැමිණ එම සිසුවා වින්දිතයකු බව හඳුනාගැනීමෙන් පසු මහින්ද විද්‍යාලයට ඇතුළත් කර නොගැනීම පිළිබඳ වාර්තාවක් සහිතව නියෝජ්‍ය විදුහල්පතිවරයකු එවා තිබිණි. මීට පෙර අවස්ථාවක දී ද අතුල විජේවර්ධන විදුහල්පතිවරයා අධිකරණය මඟ හැර ඔහු වෙනුවට නියෝජ්‍ය විදුහල්පතිවරයකු එවා තිබිණි.
එම නියෝජ්‍ය විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වූයේ වින්දිත පාසල් සිසුවා සමාජ මාධ්‍ය භාවිතයෙන් කරන ලද කටයුතු කිහියක් සම්බන්ධයෙනි.
එම අවස්ථාවේ දී කරුණු දැක්වූ පාසල් සිසුවා වෙනුවෙන් පෙනී සිටි අජිත් කුමාර, ප්‍රසන්ත ද සිල්වා සහ ඒ.කේ.ඩී. දර්ශන යන නීතිඥවරු පෙන්වාදුන්නේ පරිවාස දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂවරයා ද මෙම සිසුවාට පෙර පරිදි මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සළසා දෙන ලෙස විදුහල්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි.
මෙහි දී ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සජීවනී පතිරණ කියා සිටියේ මෙම දරුවා අධිකරණයේ සහ පරිවාස දෙපාර්තමේන්තුව යටතේ එහි පූර්ණ අධීක්ෂණයෙන් සිටින දරුවකු බැවින් වහාම ඔහුගේ අධ්‍යාපන අයිතිය තහවරු කළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් නියෝගයක් කිරීම අවශ්‍ය නොවන බවත් දරුවාගේ අධ්‍යාපන අයිතිය තහවුරු කර නොවැම්බර් මස 11 වැනි දින ඒ බව අධිකරණයට වාර්තා කරන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.