අපරාධමය වරදක වින්දිතයකු වූ දරුවකුගෙන් ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන අමානුෂික ලෙස පළිගනිමින් සිටින බව නීතිඥවරු පිරිසක් චෝදනා කරති.
දරුවන් පිරිසකට පිටස්තර පුද්ගලයකු විසින් කරනු ලැබූ අපයෝජනයක් සම්බන්ධයෙන් ගාල්ල අධිකරණයේ විභාගවන නඩුව අතරතුර එම පාසල් සිසුවා පරිවාසභාරයට පත්කර ඇත. ඉන් අනතුරුව පරිවාස නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ දරුවා ඔහුගේ භාරකරු වන සීයා වෙත යොමුකර ඇත්තේ අධිකරණය විසිනි.
අධිකරණය දන්වා ඇත්තේ මෙම දරුවා ඇතුළු එම සිද්ධියේ වින්දියතයන් වූ සියලු දරුවන් විශේෂ අවධානයක් යොමු කරමින් සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදිය යුතු බවයි. ඒ අනුව එම අපරාධමය සිදුවීමේ වින්දිතයන් බවට පත්වූ දරුවන් සියලු දෙනා මේ වනවිට සාමාන්‍ය පරිදි තමන් ඊට පෙර ඉගෙනුම ලැබූ පාසල්වල අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇත.
එසේ වුව ද මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවකු පාසට භාර ගැනීම විදුහල්පති අතුල විජේවර්ධන විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටියි. මේ හේතුවෙන් අපරාධමය වරදක වින්දිතයකු වූ දරුවකු නැවත පීඩාවට පත්කිරීමටම අදාල විදුහල්පතිවරයා කටයුතු කර ඇතැයි මානව හිමිකම් සංසදයේ ක්‍රියාකාරී සාමාජික නීතිඥ අජිත් කුමාර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ විදුහල්පතිවරයා දරුවාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන අතරම තවදුරටත් ඔහු පීඩාවට පත්කරන බවයි. එමෙන්ම අධිකරණය විසින් පරිවාසයට ලබා දී ඇති නියෝගය අනුව එම දරුවා නැවත පෙර පරිදි පාසල් යාම අත්‍යාවශ්‍ය බව දැන දැනත් විදුහල්පතිවරයා අධිකරණ නියෝග නොතකා අත්තනෝමතිකව කටයුතු කරමින් අධිකරණයට අපහාස කරන බව ද නීතිඥ අජිත් කුමාර පෙන්වා දෙයි.
ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් තම දරුවාට අධ්‍යාපන අවස්ථාව අහිමිකර ඇතැයි දරුවාගේ භාරකරු වන ඔහුගේ සීයා විසින් පරිවාස දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසු පරිවාස දෙපාර්තමේන්තුව දරුවාට මහින්ද විද්‍යාලයේ තවදුරටත් ඉගෙනුමට අවස්ථාව දෙන ලෙස විදුහල්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත. එයට පිළිතුරු වශයෙන් විදුහල්පතිවරයා විසින් පරිවාස දෙපාර්තමේන්තුවට ලිපියක් යොමුකරමින් පවසා ඇත්තේ පරිවාස දෙපාර්තමේන්තුවේ නියෝග ඉටු කිරීමට තමන් වැනි අධ්‍යාපනඥයන් බැඳී නොසිටින බවයි.
මේ සම්බන්ධයෙන් දරුවාගේ භාරකරු විසින් ජාතික පාසල් අධ්යක්ෂ වෙත ද ලිඛිතව දැනුම් දී ඇති අතර ජාතික පාසල් අධ්යක්ෂ කිත්සිරි ලියනගමගේ විසින් ද මේ දරුවා පාසලට ඇතුළත් කරගන්නා ලෙස ලිඛිත දැනුම් දීමක් කර ඇත. එහි සඳහන් කර ඇත්තේ පරිවාස දෙපාර්තමේන්තුවෙන් විදුහල්පතිවරයාට 2022-09-08 සහ 2022-09-21 දිනැතිව දැනුම් දී ඇති පරිදි දරුවා පාසලෙහි ඉගෙනුම ලැබූ පන්තියට ම ඇතුළත් කරගන්නා ලෙසයි. එහි පිටපත් පරිවාස දෙපාර්තමේන්තුවට සහ දරුවාගේ සීයාට ද යොමුකර තිබේ.
එම දැනුම් දීමට අනුව දරුවා රැගෙන සීයා පාසලට ගිය විට විදුහල්පති අතුල විජේවර්ධන ප්‍රකාශ කර ඇත්තේ “විදුහල්පති පන්නමු” යැයි එම දරුවා විසින් සමාජ මාධ්‍යයක සටහනක් තබා ඇති බැවින් එම දරුවා නැවත පාසලට භාර ගැනීමට තමන්ට නොහැකි බවයි.
නීතිඥ අජිත් කුමාර පවසන්නේ මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන අධිකරණ නියෝගයක් මත සිටින දරුවකුට අධ්‍යාපන අයිතිය අහිමිකරමින් සිදුකරන මෙම අත්තනෝමතික කටයුත්ත සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම කරුණ සම්බන්ධයෙන් විමසීමට අප මහින්ද විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්ත ද ඔහු දුරකථන ඇමතුම් සඳහා ප්‍රතිචාර දක්වන්නේ නැත. මෙම පුවත සම්බන්ධයෙන් මහින්ද විද්‍යාලයේ විදුහල්පති හෝ විදුහල් ප්‍රජාව අගතියට පත්වන්නේ යැයි හැඟෙන්නේ නම් ඔවුන්ගේ කරුණු දැක්වීම් මේ හා සමාන ඉඩක් ලබා දෙමින් පළකිරීමට අප කටයුතු කිරීමට බැඳී සිටින බව ද සඳහන් කරන්නෙමු.