ගාල්ලේ නරාවල ප්‍රදේශයේ ඇති තේ කර්මාන්තශාලාවක් සඳහා ඉදිරිපත් වූ ගැනුම් කරුවකුට එහි තක්සේරු වටිනාකම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙන් ම අඩු කර පෙන්වීමේ දූෂණ ක්‍රියාවක් සිදු වෙමින් පවතින බව rata.lk වෙත හෙළිදරව් වෙයි.
මෙම තේ කර්මාන්තශාලාව මිල දී ගැනීම සඳහා ඉදිරිපත් වූ ගැනුම්කරුවා ඒ සඳහා දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙන් තක්සේරුවක් ඉල්ලා තිබිණි. මිල දී ගැනීමේ දී ඔප්පුව ලිවීමට පෙර මම තක්සේරුව ඉල්ලා ඇත්තේ නිශ්චිත මුද්දර ගාස්තු ගෙවා පසුව ඇතිවිය හැකි ගැටලුවලින් මිදීමට අපේක්ෂා කරන බව පවසමිනි.
ඒ අනුව එය පරීක්ෂා කර බැලූ නිලධාරීන් මේ දේපළ රුපියල් කෝටි 36ක වටිනාකමකට ආසන්න බවට වාර්තාවක් නිකුත් කර තිබිණි.
මේ මුදල පිළිබඳ දැන ගත් අදාළ ව්‍යාපාරිකයා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ හමු වී ඇති අතර ඔහුගෙන් ඉල්ලා ඇත්තේ තමන් රැකියා අවස්ථා සිය ගණනක් බිහි කරන බැවින් තමන්ගේ තක්සේරු මුදල අඩු කර දෙන ලෙසයි.
ආණ්ඩුකාරවරයාට කරන ලද ඉල්ලීමෙන් පසු ඒ පිළිබඳ ආණ්ඩුකාරවරයා විසින් දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රංජිත් සූරසේන වෙත අභියාචනයක් බාර දී ඇත.
එම අභියාචනය බාරදීමත් සමඟම වෙන කිසිම දෙයකට උනන්දු නොවන තරමේ දැඩි උනන්දුවක් පෙන්වමින් එම තේ කර්මාන්තශාලාවේ තක්සේරු මුදල අඩු කර දී ව්‍යාපාරිකයා රජයට ගෙවිය යුතු මුදල අඩු කිරීමට කොමසාරිස්වරයා දැඩි උනන්දුවක දක්වන බව පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ම සේවකයෝ චෝදනා කරති.
මේ සඳහා ලහි ලහියේ තවත් කමිටුවක් පත් කළ කොමසාරිස්වරයා ඒ සඳහා මීට පෙර තක්සේරුව සිදු කළ කණ්ඩායමේ සාමාජිකයකු ද ඊට පත්කර ඇත. දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණි ව්‍යාපාරිකයාගේ වාහනයෙන් ම එහි නිලධාරීන් නව තක්සේරුව සඳහා යැවීමට ද දකුණු පළාත් ආදායම් කොමසාරිස්වරයා කටයුතු කර තිබේ. කාර්යාලයේ වාහනය ගරාජයක අලුත්වැඩියාවකට යොමු කර ඇති දිනයක ඔවුන් එලෙස ව්‍යාපාරිකයාගේ වාහනයෙන් යැවීමට තරම් කොමසාරිස්වරයා උනන්දු වූයේ මූල්‍යමය ගනුදෙනු හේතුවෙන් යැයි ද මේ වන විට ඔහුගේ කාර්යාලය තුළ ම කතා බහට ලක්වෙමින් ඇත.
කෙසේ වෙතත් කොමසාරිස්වරයාගේ නියෝගය වී ඇත්තේ මේ දේපළ රුපියල් කෝටි 27කට පමණ තක්සේරු විය යුතු බවයිි. ඒ අනුව නව කමිටුව එම දේපළ රුපියල් කෝටි 27ක් සහ ලක්ෂ 90කට ඇස්තමේන්තු කර තිබේ. නමුත් තක්සේරු නිලධාරීන් පවසන්නේ දේපළ තක්සේරුවක් කළ විට පසුව සිදු කරන අභියාචනාවක දී එම අභියාචනය සාධාරණ නම් තක්සේරු මුදල අඩු කරන්නේ 10%ක් වැනි ප්‍රමාණයකින් බවයි. එසේ නම් මෙය අඩු කළ යුතුව ඇත්තේ කෝටි 3.6කිනි. එවිට තක්සේරු මුදල රුපියල් කෝටි 32.4ක් විය යුතු ය.
කෙසේ වෙතත් ආණ්ඩුකාර විලී ගමගේ විසින් ලබා දී ඇති උපදෙස් මත පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ බලපෑමෙන් නව තක්සේරුව රුපියල් කෝටි 27.9ක් බවට පත්ව ඇත.
දේපළ මිල දී ගැනීමේ දී ඒ සඳහා මුද්දර ගාස්තු ලෙස රජයට ගෙවිය යුතු මුදල 4%කි. ඒ අනුව මීට පෙර කරන ලද රුපියල් කෝටි 36ක තක්සේරුව අනුව අදාළ ව්‍යාපාරිකයා රජයට රුපියල් ලක්ෂ 144ක් ගෙවිය යුතු ය.
ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීමෙන් කොමසාරිස්වරයා තම ආසනයේ තක්සේරු නිලධාරීන්ට බලපෑම් කරමින් සිදුකර ඇති නව තක්සේරුව රුපියල් කෝටි 27.9 කි. ඒ අනුව අදාල ව්‍යාපාරිකයා රජයට ගෙවිය යුතු මුද්දර ගාස්තුව ලක්ෂ 111.6ක් ලෙස අඩුවෙයි. ආණ්ඩුකාර විලී ගමගේ සහ දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රංජිත් සූරසේන දෙදෙනාගේ මැදිහත් වීමෙන් රජයට අහිමි වන ආදායම රුපියල් ලක්ෂ 32.4කි.
දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත් වීමෙන් කොමසාරිස් රංජිත් සූරසේනගේ මෙහෙයවීමෙන් මෙවැනි ආදායමක් රජයට අහිමි කරන බවට ඉදිරිපත් වූ පෙත්සමක් අනුව ඒ සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
එසේ වුව ද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණය අවසන් වීමටත් පෙර ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා විසින් ඔහුගේ බලපෑම මත ඉදිරිපත් කරන ලද නව තක්සේරුව ව්‍යාපාරිකයා අතට ලබා දී තිබේ. මෙලෙස නව තක්සේරුව පරීක්ෂණය අවසන් වීමටත් පෙර ව්‍යාපාරිකයාට ලබා දුන්නේ කවර හේතුවක් නිසා දැයි ප්‍රශ්න කළ විට කොමසාරිස් සූරසේන පවසා ඇත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුව එසේ නව තක්සේරුව ලබා නො දෙන්න යැයි ලිඛිත ව දැනුම් නො දුන් නිසා එසේ තක්සේරුව ලබා දී ඇති බවයි.
නමුත් විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ බව ලිඛිත ව දැනුම් නො දුන්න ද ප්‍රස්තුත කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවතිද්දී කොමසාරිස්වරයා කටයුතු කරන ආකාරය අත යට ගනුදෙනු හේතුවෙන් සිදුවන්නක් ද යන්න පිළිබඳ බරපතල සැකයක් පවතින බවයි.
දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ම නිලධාරීන් පවසන්නේ දෙවනුව කරන ලද ව්‍යාජ තක්සේරුවට එම කමිටුවේ සිටි නිලධාරියකු සිය ලිඛිත විරෝධය දක්වා තිබිය දී එම තක්සේරුව ව්‍යාපාරිකයාට ලබා දී ඇති බවයි. මෙතෙක් පැවති සම්ප්‍රදාය වන්නේ අභියාචනයක් සලකා බලා නැත කරනු ලබන තක්සේරුවක දී අදාල අභියාචනා කමිටුවේ සිටින තිදෙනාම එකඟ නො වන්නේ නම් එම තකසේරුව ඉදිරිපත් නො කිරීමයි. නමුත් ලක්ෂ ගණනක් රජයට ආදායම් අහිමිවන මේ ගනුදෙනුව සම්බන්ධයෙන් කොමසාරිස්වරයාට ඇති දැඩි උනන්දුව මත ඒ සියලු කරුණු නො සලකා හරිමින් අදාළ තක්සේරුව ලබා දී ඇත.
මේ පිළිබඳ අපි දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රංජිත් සූරසේන හමු වී ඒ පිළිබඳ විමසූ විට ඔහු කීවේ තමන් නීතියට අනුව කටයුතු කරන බවයි.
“මම මෙතැන දී කිසිම වරදක් කරලා නෑ. කලින් තක්සේරුවක් කරා. ඉන් පස්සේ ඒ ව්‍යාපාරිකයා අභියාචනයක් ඉදිරිපත් කළා. අභියාචනා කමිටුවක් දැමීම සිදු කෙරෙනවා. මම දන්නේ නෑ තවමත් ඒකේ නව තක්සේරු මුදල කොපමණද කියලා විගණන පරීක්ෂණයක් කෙරෙන බව ඇත්ත. ඒකේ ප්‍රතිඵලයත් දන්නේ නැහැ. අපි වැඩ කරන්නේ නීතියට අනුව.”
ඔහු කිසිවක් නො දන්නා අයුරින් කතා කළ ද අප ඔහුගේ කාර්යාලයට ගොස් හමු වන අවස්ථාව වන විටත් අදාළ ව්‍යාපාරිකයාට දෙවැනි තක්සේරුව රුපියල් කෝටි 27.9ක් ලෙසට දැනුම් දී අවසන් වී තිබිණි.
ඔහු එසේ කීව ද ඔහුගේ ම කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ කෝටි 36කට ඇස්තමේන්තු කළ එම දේපළ කෝටි 27ක සීමාවක් දක්වා අඩු කිරීමට කොමසාරිස්වරයා දැඩි බලපෑමක් කළ බවයි. එමෙන් ම ආණ්ඩුකාරවරයාගේ වැඩක් යැයි කියමින් එම අඩු කිරීම් සදහා උපදෙස් ලබා දුන් බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ ගැන විමසූ විට රංජිත් සූරසේන කොමසාරිස්වරයා අප සමඟ කීවේ ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් කිසිම බලපෑමක් කර නැති බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමට අප ආණ්ඩුකාරවරයා ඇමතීමට උත්සාහ ගත්ත ද එය ව්‍යර්ථ විය. ආණ්ඩුකාර විලී ගමගේ ගේ කාර්යාලයට ඇමතුමක් ගත්විට එහි නිලධාරීන් කියා සිටියේ ජංගම දුරකථන අංකය ලබාදිය නොහැකි බවයි. එම ජංගම දුරකථනය සඳහා රජයේ දීමනාවක් ගෙවන්නේ වුව ද ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ එය ඔහුගේ පුද්ගලික අංකයක් බැවින් රාජ්‍ය නිලධාරීන්ටවත් එය නොදෙන බව ද එම කාර්යාලය පවසයි.
මේ හේතුවෙන් ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ලේකම්වරයාට ඇමතුමක් ගෙන අවශ්‍ය කරුණු පැහැදිළිකිරීමක් කෙළමු. එවිට ඔහු කියා සිටියේ ආණ්ඩුකාරවරයාගෙන් විමසා ඒ පිළිබඳ දැනුම් දෙන බවයි. ඔහුගෙන් විමසීම් සිදුකර පැයකට පසු ඔහුට ඇමතුමක් ගත්ත ද ඒ වනවිට ඔහුට ද මේ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් නොලැබුණු බව කීවේය. මේ ලිපිය ප්‍රකාශයට පත්කරන්නේ ඊටත් පැය එකහමාරකට පසුව ඔහුගෙන් තොරතුරක් ලැබෙන තුරු කාලය ගත කිරීමෙන් අනතුරුවය.
ආණ්ඩුකාරවරයා හෝ මේ ප්‍රවෘථ්තිය සම්බන්ධයෙන් අගතියට පත්වන වෙනත් පාර්ශවයක් විසින් හෝ කරනු ලබන පැහදැළිිකිරීම් ඉදිරි අවස්ථාවක දී මේ හා සමාන ඉඩක් ලබා දී පළ කිරීමට අපි බැඳී සිටින බව ද සිහිපත් කරන්නෙමු.
සබැඳි පුවත්
ලක්ෂ 20ක් අල්ලස් ඉල්ලා වැරදුන නිගධාරීන් රකින්න මෙවැනි පුවත් දැමීම මාධ්‍ය සදාචාරයද?
හිතවත් මහත්මයාණනි,
දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්තියට ඔබ අදහස් පළකර තිබුණා. ඊට ස්තූතියි. අපිනම් ලක්ෂ 20ක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් දන්නේ නැහැ. එවැනි පුවතක් ඔබතුමා දන්නවානම් කරුණා කර අපිට ඒ ගැන විස්තර ලබාදෙන්න. එය පළ කිරීමට අපිට හැකියාව තිබෙනවා
සංස්කාරක
මෙම පුවත නිවරදි කිරීමට කාලය පැමිණ ඇත. අල්ලස් දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර ඇත. ඒසේම ජාතික විගණන කාර්යාලයේ – ගාල්ල විසින් රජයේ ප්‍රධාන තක්සේරුකරු මඟින් ඉල්ලා සිටි තක්සේරු වාර්තාව ලැබී ඇති අතර ඒහි සඳහන් වටිනාකම සංශෝධිත කොටි 27ටද වඩා අඩුවටිනාකමක් බවද දැනගැනීමට ඇත.
ඔබ නිවැරදි පුවත් වාර්තා කරයි නම්, මේ පිළිබඳව, අල්ලස් දෙපාර්තමේන්තුව, දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, දකුණු පළාත් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව, ගාල්ල ජාතික විගණන කාර්යාලය සහ තල්ගස්යාය තේ කර්මාන්තශාලාවේ හිමිකරුවන් විමසා වැරදි පුවතක් ප්‍රචරය කිරීමට දැක්වු කඩිනම් භාවයම ඒම ප්‍රවෘත්තිය නිවැරදි කිරීමට ද දක්වනු ඇතැයි ඇතැයි බලා පොරොත්ත වෙමි.
කෝටි 25ට දෙන්නට මම ඉල්ලුවේ විස්සයී ලොක්කා
ඔප්පුව ලියුමට යාළුවට දෙන්නයි මම හැඳුවේ ලොක්කා
දෙන්නට බෑ කිව්වම මට මල පැන්නා ලොක්කා
ඒකයි මම 35කට වැඩිකරලා දුන්නේ ලොක්කා
ඒක අඩුකරලා මට කෙලියි කියලා මට හිතුනා ලොක්කා
ඒ්කයි මම විගනනයට පෙත්සම ගැහු වේ ලොක්කා
දාන්නට නිවුස් ගුලි ඇබරුවේ ඒකයි ලොක්කා
මම ලොක්කයි කියලා සිතාගෙන හිටියේ ලොක්කා
උඩ පද දැක්කම ගලේ පැහැරුව බලලා මතක් වුනි දෙයියෝ
මගේ රෙද්ද බිම වැටෙයිදෝ කියලා බයයි මගේ දෙයියෝ
නිව්ස් එකවත් මකලා දාපං මගේ සංස්කාරක දෙයියෝ
ඒ්ක බැරිනම් උඩ පද ටික මකපන් සංස්කාරක දෙයියෝ