පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසයෙන් පසු ඕනෑම වේලාවක විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවන බැවින් හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේ වුව ද පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වැඩි දෙනකු ඊට එකඟ නැත. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් ජනාධිපතිවරයා තෝරා පත්කරගන්නා අවස්ථාවේ දී ඔවුන්ගේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දීමේ එක් කොන්දේසියක් වූයේ ද හදිසි මැතිවරණයක් නොපවත්වා පාර්ලිමේන්තුවේ සම්පූර්ණ නිල කාලය අවසන් කළ යුතු බවයි.
නමුත්, වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කිසිම අවස්ථාවක දී පොදු එකඟතාවකට පැමිණීමට අසමත්වීම හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා නැවත මන්ත්‍රීවරුන් පත්කරගැනීමට ජනතාවට අවස්ථාවක් ලබා දීම වඩාත් සුදුසු බව දේශපාලනයේ ඉහළම මට්ටමේ දී සාකච්ඡාවට ලක්වෙමින් තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් දේශපාලන අර්බුදය විසඳා ගැනීමට ඉදිරිපත් කරන ලද යෝජනා ද මේ දක්වාම නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නැත. සිවිල් සංවිධාන, ආගමික නායකයන් ඇතුළු බහුතරයකගේ ඉල්ලීම වී ඇත්තේ ද පොදු එකඟතාවකට එළැඹ කෙටි කාලීන ජාතික ආණ්ඩුවක් පිහිටුවා නිශ්චිත කාලසීමාවක දී මැතිවරණයකට යාම සුදුසු බවයි.
නමුත් පාර්ලිමේන්තුවේ වත්මන් මන්ත්‍රීවරු බහුතරයක් එවැනි එකඟතාවකට සූදානම් බවක් ද පෙනෙන්නට නැත.
මෙවැනි තත්වයක් හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් යාම කෙරෙහි අවධානය යොමු වී තිබේ.